ආයුර්වේද පනත ව්‍යවස්ථාවට පටහැනි බවට ගොනුකළ පෙත්සම විභාගයට
Posted on July 11th, 2023

ඒ.ජේ.ඒ. අබේනායක දිවයින

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආයුර්වේද පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතා විසින් ගොනුකළ විශේෂ පෙත්සම ලබන 19 වැනිදා එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට දින නියම කර තිබේ.

ආයුර්වේද විෂය ප්‍රධාන වශයෙන් පළාත් සභාවලට අයත් විෂයයක් වන නමුත් පළාත් සභාවල නිසි අනුමැතියකින් තොරව එම පනත් කෙටුම්පත ඉදිරිපත් කොට ඇති බවත් එමගින් ප්‍රධාන කොට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154.උ.3 ව්‍යවස්ථාවට පටහැනිව ආයුර්වේද, සිද්ධ, යුනානි සහ ඔසු උයන් සම්බන්ධ නීති යෝජනා කර ඇති බව පෙත්සම්කාර වෛද්‍යවරයා සිය පෙත්සම් මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

එබැවින් එම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති වගන්ති අටක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 9, 10, 11, 12.1, 14 සහ 154.උ.3 යන ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙසත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

එම පෙත්සම පාර්ලිමේන්තුවේ දී පසුගිය 05 වැනිදා කැඳවූ අවස්ථාවේදී පසුදිනම දෙවන වර කියවීම සඳහා දින නියම කර තිබූ නමුත් පෙත්සම්කාර වෛද්‍යවරයා එම පෙත්සම ගොනු කිරීම නිසා දෙවන වර කියවීම කල් දැමීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress