රුසියානු බොක්සිං සම්මේලනයෙන් ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගී වීමට පුහුණුව සහ මූල්‍ය ආධාර.
Posted on July 18th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා 2023.07.18 දින  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) සභාපතිවරයා  ශ්‍රී ලංකාවේ බොක්සිං සහ අනෙකුත් ක්‍රීඩා දියුණු කිරීමට අඛණ්ඩව ගන්නා උත්සාහයන් පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට සහ ක්‍රීඩා අමාත්‍යාංශයට මෙහිදී ස්තූතිය පුද කළ අතර  රුසියානු බොක්සිං සම්මේලනය ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට සහාය වන බව සහතික කළේය.

 රුසියානු  බොක්සිං සංගමය ශ්‍රී ලංකාවේ පාසල් සඳහා බොක්සිං අත්වැසුම් විශාල තොගයක් පරිත්‍යාග කර ඇති අතර ඒවා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය හරහා බෙදා හැරීමට නියමිතව තිබේ.

 මීට අමතරව ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ඉසව්වලට සහභාගී වීමට පුහුණුව සහ මූල්‍ය ආධාර ලබා දීම සඳහා රුසියානු බොක්සිං සංගමය  සහාය වනු ඇති අතර  ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන්ට ඉන්දියාවේ කාන්තා බොක්සිං ශූරතාවලියට සහභාගී වීමට අරමුදල් සැපයීමත්  මීළඟ ජාත්‍යන්තර ශූරතාවලිය සඳහා උස්බෙකිස්තානයේ කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් පුහුණු කිරීමටත් පහසුකම් සපයනු ඇත.

ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව දියුණු කිරීමට ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ක්‍රෙම්ලෙව් මහතා ඇතුළු නියෝජිත පිරිසට මෙහිදී ස්තුතිය පුද කළේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ඇමරිකා එක්සත් ජනපදයේ IBA නිලධාරීන්, හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර Roy Jones JR සහ Barna Zsolt, RBA නිලධාරීන් වන Krishanov Alexander සහ Alisa Shcherbachenya සහ ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ සභාපති ඩයන් ගෝමස් ද මෙම රැස්වීමට සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress