කුරුන්දි විහාර පුරාවිද්‍යා රක්ෂිතයට අදාළ නඩුවේ දී මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කලාපය පක්ෂග්‍රාහී… ජාතිවාදී, ආගම්වාදී ගැටුම් නිර්මාණය විය හැකියි – ජයන්ත සමරවීරගෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්
Posted on August 21st, 2023

Lanka Lead News

ඓතිහාසික මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිතය තුළ ප්‍රතිසංස්කරණ කටයුතුවලට යම් දේශපාලන සබඳතා සහිත පිරිසක් විසින් බාධා එල්ල කිරීම නිසා ඒ මගින් ගැටුමක් ඇති විය හැකි බවට පොලීසිය විසින් පවරන ලද නඩුවට අදාළව මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කලාපය ඉතා පක්ෂග්‍රාහී සහ අත්තනෝමතික බවත් එමගින් අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීම මෙන්ම ඒ තුළින් ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇවිලවීමට ඉඩ සැලසසෙන බවත් අවධාරණය කරමින් ජාතික උරුමයන් සුරැකීම උදෙසා පාර්ලිමේන්තු සංසදයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද(21) කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉහත කරුණු අවධාරණය කරමින් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත පැමිණිල්ල පහත පරිදි වේ.

ලේකම්තුමා
අධිකරණ සේවා කොමිසම,

ගරු මහත්මයාණෙනි,

මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ පක්ෂග්‍රාහී සහ අපරික්ෂාකාරී ක්‍රියාකලාපය මගින් අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීම මෙන්ම ඒ තුළින් ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇවිලවීමට ඉඩ සැලසීම පිළිබඳ පැමිණිල්ල
(නඩු අංක-AR/673/18)

ඓතිහාසික මුලතිව් කුරුන්දි විහාරය ආශ්‍රිත පුරාවිද්‍යා රක්ෂිතය තුළ ප්‍රතිසංස්කරණ කටයුතුවලට යම් දේශපාලන සබඳතා සහිත පිරිසක් විසින් බාධා එල්ල කිරීම නිසා ඒ මගින් ගැටුමක් ඇති විය හැකි බවට පොලීසිය විසින් පවරන ලද නඩුවට අදාළව මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කලාපය ඉතා පක්ෂග්‍රාහී සහ අත්තනෝමතික බවට පොදු මහජනයා තුළ ප්‍රබල මතයක් ඇති වී තිබේ. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ ඒ වනවිට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ සිදු කෙරෙමින් පැවති චෛත්‍ය ප්‍රතිසංස්කරණ අත්හිටුවීමට සහ එම චෛත්‍යය කඩා ඉවත් කරන ලෙස පොලිසියට නියෝග කිරීම ය. පුරාවිද්‍යා ආඥා පනත අනුව මහේස්ත්‍රාත්වරයාට එවැනි බලයක් නැති අතර එතුමා විසින් එවැනි නියෝගයක් ලබාදීමට පෙර අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳව පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් සහ පොලිසියෙන් වැඩිදුර වාර්තාවක් කැඳවීමට ද ක්‍රියාකර නැත.

එම නියෝගයට අදාළව නීතිපතිවරයා විසින් සිදු කළ පැහැදිලි කිරීම අනුව මහේස්ත්‍රාත්වරයා තමා විසින් ලබා දුන් නියෝගය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. ඊට අදාළව එතුමා විසින් ඉදිරිපත් කරන පැහැදිලි කිරීම් මගින් එතුමාගේ අපරික්ෂාකාරී සහ පක්ෂග්‍රාහී ක්‍රියා ක්‍රියාකලාපය තවදුරටත් පැහැදිලි වේ. මෙම තත්ත්වය තුළ අධිකරණය පිළිබඳව මහජන විශ්වාසය සහ ගෞරවය බිඳ වැටෙන බව මහජනයා විසින් පළ කරන අදහස්වලින් ඉතා හොඳින් පැහැදිලි වේ.

ඊට අමතරව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේදී ඉංග්‍රීසි භාෂාව මගින් එය සිදු කිරීම හෝ පරිවර්තකයකු යොදා ගැනීමට මහේස්ත්‍රාත්වරයා විසින් ඉඩ ලබා නොදීම නිසා එක් පාර්ශ්වයකට බලවත් අගතියක් සිදු වන අතර යුක්තිය පසිඳලීමට බාධාවක් ඇති වන බව ඔබතුමා පිළිගන්නවා ඇත. උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල රාජ්‍ය භාෂාව ලෙස පිළිනොගන්නා තත්ත්වයක් යටතේ සිංහල ජනතාවට සිදු වන අසාධාරණය යම් පමණකට හෝ නිවැරදි කිරීම සඳහා ව්‍යවස්ථාව අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් නිසි පියවර නොගැනීම නිසා තත්ත්වය වඩා බරපතළ වේ. එසේම පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තම වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම නිසා මහේස්ත්‍රාත්වරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයට පහසුකම් සැලසී ඇත.

මේ තත්ත්වය මගින් අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීම නිසා මහජනයා නීතියට පිටින් ක්‍රියාකිරීමේ භයානක තත්ත්වයක් මතුවිය හැක. අදාළ ගැටුම නිර්මාණය කරන බලවේගවල එක් යම් යටි අරමුණක් විය හැක්කේ එවැනි ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇවිලවීම බවට ඉතා සාධාරණව සැක පහළ කිරීම සඳහා පසුගිය කාලයේ දී බොහෝ සාක්ෂි ඉදිරිපත් විය.

ඒ නිසා මහජන නියෝජිතයෙකු ලෙස මා ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම මහේස්ත්‍රාත්වරයාගේ ක්‍රියා ක්‍රියාකලාපය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සහ අදාළ නඩු කටයුත්ත වෙනත් මහේස්ත්‍රාත්වරයකු යටතට පත් කිරීම මගින් අධිකරණ පද්ධතියේ ගෞරවය සහ විශ්වාසනීයත්වය ආරක්ෂා කරන ලෙසය. මෙම නඩුවට අදාළ ලේඛන 4ක් මෙම ලිපිය සමග අමුණා ඇති බව කරුණාවෙන් සලකන්න.

මේ වගට

ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රී
2023-08-21

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress