අනුරාධපුරය  කොනින්හැම්ට භාරදී මහාවිහාරය කුඩා කරමුද
Posted on February 4th, 2024

මතුගම සෙනෙවිරුවන්

         සිද්ධාර්ථ කුමාර උප්පත්තිය ලුම්මිනියේ නොව ලංකාවේ බඹරගල යයි මතයක් හදාගෙන යන පිරිසක් දැන් ඇත. එය සුලු කොට තැකිය හැකි නොවේ.ශ්‍රී මහා බෝධිය හිරිවඩුන්නේද ලංකාදීපය රුහුණු දනව්වේද තිබෙන විට මෙරට ‌ෙඑතිහාසික බෞද්ධ ඉතිහාසය  කෙප්පයක් බවට පත් කරන්නට හැකිය.එවිට බෙදුම්වාදී ප්‍රවණතාවයන්ට ලැබෙන ශක්තිය තේරුම් ගත හැකිය.විශ්ව බුද්ධලා මෙහෙයවන සංකල්ප  ව්‍යාජ අවලෝකිතේශ්වර බෝධි සතවයන් විසින් පහර දෙන පුරාණ සම්ප්‍රදායයන් මෙරට ජනයාගේ සිත් සතන් තුළ වසර දහස් ගණනක් තිස්සේ පැලපදියම් වූ සංකල්පයන්ය. ඒවා බිඳ වැට්ටවීම තුළින් ඒ මහා සංස්කෘතිය විනාශ කිරීම ඉතා පහසුවෙන් කල හැකිය.ඒ අතරට අලුතින් එකතුව තිබෙන ව්‍යාපෘතියක් තිබේ.එය සමාජ මාධ්‍යය විසින් කල ව්‍යාපෘතියක් නොවේ. 2023 ජනවාරි 08 වනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සංදේශයක් මගින් මෙයට අනුමැතිය ලබාගෙන තිබේ. ලංකාවේ වලංගු මුදලින් මිලියන 250 ක් පමණ වැය කොට කරන ව්‍යාපෘතියකි.විදේශ පුරාවිද්‍යාඥයෙකු වන රොබින් කොනින්හැම්ට භාර දීමට තිබෙන මෙම ව්‍යාපෘතිය මගින් අනුරාධපුරයේ මහා විහාර පරිශ්‍රය කැණීමට නියමිතය.   .බුදුන් වහන්සේ පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් කරන යුගයක අනුරාධපුරයේ මහා විහාර ය බිහිවීම පිළිබඳ සැබෑ තත්වය ඉස්මතු කර ගැනීම වටනා බවට විවාදයක් නැත. නුමුත් කැණීම භාර දී තිබෙන්නේ රොබින් කණින්හැම් නම් විදෙස් පුරාවිද්‍යාඥයාටයි.ලුම්මිනියේ කල කැණිමෙන් ඔහු ලෝප්‍රකට වී ඇතැයි පැවසේ..

              මිහිඳු මහ රහතන් වහන්සේ මිස්සක පව්වට වැඩම කොට ලක් බුදු සසුන ස්ථාපිත කළ පසු දේවානම්පියතිස්ස රජතුමා අලි ඇතුන් ඈදා රන් නගුලින් අනුරාධපුර මහා  සීමාව ලකුණු කළ  හැටි මහා වංශ ගත ඉතිහාසයෙන් දැන ගත හැකිය.මහා වංශයේ දැක්වෙන පරිදි පණ්ඩුකාභය රජතුමා පැරණි අනුරාධ ගමෙහි වෙසෙමින් නව අනුරාධ නාගරය නිර්මාණය කර තිබේ. මේ නගරයට අදාල වැදගත් ස්ථාන විසි අටක් ගැන සඳහන් වේ. ඒ අතරින් අභය වැව ජය වැව කාලවේල දෙවොල චිත්‍රරාජ දෙවොල වාලමුඛී නිවස්නය නීච සූසානය සැඩොල් ගම් ආදිය ගැන වෙසෙසින් සඳහන් කරයි.පූර්ව අනුරාධපුර සමයේ පැරණි අනුරාධ ගම දැනට තිබෙන පස් තට්ටු වලින් යට අඩි ගණනාවක් ගැඹුරින් පිහිටා තිබූ බව ඇතුලු නුවර කැණීමෙන් සනාථ වී ඇත. අබි අනුරදිය යනුවෙන් සඳහන් වළන් කැබැල්ලක් හමු වීමෙන් පසු ස්ඵුට වූයේ බ්‍රාහ්මී අක්ෂර වල පරිණාමය මහින්දාගමනයට ප්‍රථම සිදු වූ බවයි.

        දෙවන පෑතිස් රජු   මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි මහා සීමාව පිහිටුවාලූයේ පැරණි අනුරාධපුර නගරයේ පැරණි ස්ථානයන් අසු වන පරිද්දෙනි.මහා සීමාව කොලොම්හොයේ පහණ තොටින් ඇරඹී දක්ෂීණා වෘත්තව ගමන් ගෙන දක්ෂිණ ස්ථූපයට දකුණෙන් ගමන් කර විජයාරාම උයන පසු කර අභය වැවේ බටහිර පැත්තේ වූ කොක්ගල අසළින් උතුරට හැරී මහා සූසානයට ඇතුළු වී තිබේ.ඉන්පසු  මහා සූසානය මැදින් ගමන් කර නැගෙනහිරට බරව ගොස්  පුර දොවොල් පසු කරමින් පසු බැස නැවත දකුණු දිශාමුඛව ගමන් කර ඇත. එහිදී හමු වන්නේ දිගු ගල් විල නොහොත් දීඝ පාෂාණයයි. මෙය වත්මන් බුලන් කුලම යයි මහාචාර්ය ඒ .ඇස් හෙට්ටි ආරච්චි මහතා පවසයි. අනතුරුව කම්මාර දේවතාවගේ දොවොල් හමු වෙයි.ඉන්පසු නීච සූසානයයි. එයද පසු කළ කල්හි මස්තොටු පිරිවෙනයි.පසුව පරිභ්‍රාජකයන් සිටි තැන පියමන් කරමින් ගොස් කොලොම් නදියේ දී මහා සීමාව සම්පූර්ණ කර තිබේ.අනුරාධපුර මහා සීමාවේ එක් පාර්ශවයක් තනිකරම කොළොම් නදියෙන් ආවරණය වන්නේය.

      දේවානම් පියතිස්ස රජු ගෙන් පසුව අනුරාධපුර නගරය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ක්‍රමානුකූලව ගොඩ නැන්වෙයි.රුවන් මැලි සෑය ජය ශ්‍රී මහා බෝධිය ථූපාරාමය ජේතවනය  මිරිසවැටිය ඉසුරු මුණිය ආදී වශයෙන් සංඝාරාම උපෝසථ ශාලා දන් ගෙවල් පිරිවෙන් භෛෂජ්ජ ශාලා රජ මාළීගා වැව් අමුණු තැනවේ.නමුත් මෙරට වාසීන් තුළ බෞද්ධ සංකල්ප බිහිවන්නේ මහින්දාගමනයටත් පෙර සිටය. මහා වංශයෙන් ඊට ලැබෙන ආලෝකය මද වුවද බුදුන් වහන්සේගේ ඥාති පරම්පරාව සමග තිබූ අඛණ්ඩ සම්බන්ධතාවය මත අනුරාධපුරයත් දිවයිනේ නැගෙනහිර පළාතත් සංවර්ධනය වූ බව පැහැදිලි කරගත හැකිය.පූර්ව අනුරාධපුරයට අයත් වළන්කටු හමුවන්නේ ඒ නිසාය.අනුරාධපුර ශිෂ්ටාචාරය සතුරු ආක්‍රමණ හමුවේ බිඳ වැටීමෙන් පසුව සිංහල රාජධානිය ක්‍රමයෙන් පොලොන්නරුවටත් අනතුරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පළ කොට්ටේ සීතාවක සහ මහනුවර වශයෙන් විතැන් වීම සිදු වෙයි. මෙහිදී මහා විහාර වාසී භික්ෂුන් වහන්සේලා සිය රැකවරණය උදෙසා රජුන් සමිපයේ ද දිඹුලාගල වැනි වනපත්‍ය ආරණ්‍ය වලද අච්ඡගිරි නොහොත් වලස්ගලද පැවැතුණු බව ශාසන ඉතිහාසය දක්වයි. අවසාන වශයෙන් සෙංකඩගල මහනුවර අස්ගිරියටත්  පුෂ්පාරමයටත් වර්ධනය වී වත්මන් මහා විහාරය නිර්මාණය වෙයි.

       මිහින්තලය,  රුවන්මැලි සෑය, ජේතවනය , අභය ගිරිය, මිරිසවැටිය, දක්ඛිණ ථූපය පමණක් නොව අනුරාධපුරය වටා දිවෙන දිය අගල් වැව්, ගල් පාළම් පමණක් නොව බෝධිභාරකාර ගම් දක්වා වර්ධනය වූ සංස්කෘතියක මනා පෞරුෂය සෙවීම අත්‍යවශ්‍ය වෙයි. වෙස්සගිරියේ අශ්ව මුහුණ, තාරකා දොරටුව යයි කියන අපූර්ව සක්වළ සිතුවම මේ සියලු සංස්කෘතික බැඳීම වල හරය ශක්තිමත් කරන සංකේතයන්ය.මහා විහාර පරිශ්‍රයේ ආරාම 16ක වාස්තු ඉඳි කිරීම් පවතී.ඒවා අදටත් පෝය දවස් හිදී සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරී යයි. ආරාම නටබුන් වුවද සුණුපිරියම් කළ චෛත්‍ය අභියස සිට බවුන් වඩන පිරිසට සිය අධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගැනීමට බාධා නොවේ.ශ්‍රී මහා බෝධිය අසල සීල සමාදානයේ යෙදෙන උවසු උවැසියන් මෙන්ම රුවන්මැලි සෑයේ ද ථූපාරාම පරිශ්‍රයේද සිටින සැදැහවතුන් වෙනුවෙන් වර්තමානයේ මහා විහාරය ඇරී තිබෙන සැටි මොනවට පෑදිලි වේ.වලිසිංහ හරිස්චන්ද්‍ර උතුමා විසින් අනුරාධපුර ශුද්ධ නගරය යළි ගොඩනැගීමෙන් පසු ඇතිවූ සංස්කෘතිය මගින් වර්තමානයේ සිංහල බුද්ධාගමේ හැඩ රුව දර්ශනය වේ.

       මෙවැනි අතිශය වටිනා පරිශ්‍රයක් කැණීම සඳහා භාරදෙන්නට යන්නේ බෞද්ධ පුරාවිද්‍යාඥයෙකුට නොවේ. ඔහු අනුරාධපුර නගරය දෙවියන්වහන්සේ විසින් පාලනය කරන නගරයක් ලෙසට හුවා දක්වයි. ලුම්මිනියේ කැණීමේදී ලෝවටා ප්‍රසිද්ධ කරන ඡයාරූප වල අශෝක ස්ථම්භය ඉදිරියේ සිටින්නේ බල්ලෙකි.ලංකාවේ මෙහෙණි සස්න ගැන කියැවෙන ඔහුගේ පත්‍රිකා වල කටුමැටි ගැසූ පැළක සිටින දසසිල් ඇත්තියක ගේ චායාරූප දක්වා ඇත. මේ කොනින්හැම් මහතා ගේ බෞද්ධ සංස්කෘතික ප්‍රකාශනයයි. මේ කොනින්හැම් මහතා ශිරාන් දැරණියගල මහතා විසින් ඇතුලු නුවර කළ කැණීමකට සාභාගි කරගත් ආධුනික පුරාවිද්‍යාඥයෙකි. ඔහු එයින් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කොට ගෙන දැරණියගල මහතාටද කොකා පෙන්වා ඔහුට විරුද්ධව ලිපි ලියූ ගුණමකුවෙකි.කොනින්හැම් අනුරාධපුර ශුද්ධ නගරය හඳුන්වන්නේ තියොක්ක්‍රසි නම් ග්‍රීක වචනයකිනි. එහි අරුත දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද පාලනය කරන නගරය යන්නයි.අනුරාධපුර ආරාමයන් බෞද්ධ මූලාස්ථානයන් ඇති වීමට ප්‍රථමයෙන් ජන ඇදහීම්වල දේවතා ගෘහ නොතිබුනේ නොවේ. එහෙත් බටහිර රාජ්‍යයන් පාලනය කරන ආකාරයට දෙවියන්ගේ ආධිපත්‍ය එයට වැටී තිබුණේ නැත. කොනින්හැම් ගේ මෙම මතය ප්‍රසිද්ධියේ විවේචනය කළ ආචාර්ය සුසන්ත ගුණතිලක මහතා රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට මේ පිළිබඳ ශාස්ත්‍රීය ලිපියක් ඉදිරිපත් කර තිබේ.( Anuradhapura is no “Theocracy”Author(s): Susantha Goonatilake Source: Journal of the Royal Asiatic Society of Sri Lanka, New Series, ) ඊට අමතරව ප්‍රකට වාස්තු සහ පුරාවිද්‍යාඤයෙකු වූ මහාචාර්ය ගාමිණී විජේසූරිය මහතාද මෙම අදහස දැඩි ලෙසට විවේචනයට භාජනය කර ඇත.

        අප දන්නා පරිදි අනුරාධපුර නගරය නිර්මාණය වන්නේ පැරණි අනුරාධග්‍රාම ශිෂ්ටාචාරය මිතිනි.පණ්ඩුකාභය රජ දවස දී  යක්ෂ දෙවොල් එහි පිහිටා තිබූ අතර ඒවා පූර්ව අනුරාධපුර ශිෂ්ටාචාරයට අයත් වැදගත් සංස්කෘතීන් වෙති.නුමුත් මහින්දාගමනය මත ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය මත මේ සියලු සංස්කෘතික් අභිබවා බෞද්ධ ආරාම සංස්කෘතිය අනුරාධපුරයේ මුල් බැසගත් බව ප්‍රකටය.වසර එක් දහස් පන්සීයක් තිස්සේ වර්ධනය වූ අනුරාධපුර ශිෂ්ඨාචාරය තුළ භික්ෂූන් වහන්සේ ලා ප්‍රමුඛ ශාසනික කාර්යයන්ට මුල් තැනක් ලැබුණි. ආරාම සඳහා පිදූ ඉඩකඩම්, භික්ෂු පරිහරණයට, වස් පිංකමට මෙන්ම අරියවංශ දේශනාවට වෙන්කළ දීමනාද විය. වැව් පවා ආරාමයන්ට පූජා කරන ලදී. රජුන් ගේ ධාර්මික බව නිතරම සැළකිල්ලට ගැනිණ.දළදා වහන්සේ සන්තකයේ නොමැතිව රාජ්‍යත්වය පැතීමට නොහැකි විය.අනුරාධපුර අපර භාගය වන විට රජුන් බෝධිසත්වයෙකු මෙන් විය යුතු යැයි මතයක් ඇති විය.එම බෞද්ධ සංස්කෘතිය වැඩී වර්ධනය වී බිඳ වැටුණු යුගයන්හි දී පවා බෞද්ධ රාජ්‍යයක් වශයෙන් යලි ඔසවා තැබීමට ගත් තැත කැපී පෙනුණි. කෝට්ටේ යුගය අවසානයේ දී බිහිවුණු සෙංකඩගල රාජ්‍යයේ ඔටුණු පලන් පළමුවැනි විමලධර්ම සූරිය රජුගේ ඔටුණු මකුටයේ බුදුරුවක් දර්ශනය වූයේ මේ බෞද්ධ රාජ්‍යය පිළිබඳ දැක්වීමටයි.ඒ නිසා අනුරාධපුර නගරය දෙවියන් විසින් පාලනය කළ නගරයක් ලෙසට හුවා දැක්වීම වැරදිය.

       කිතුණු සංස්කෘතියක හැදී වැඩුණු විදේශීය පුරාවිද්‍යාඥයෙකු එසේ සිතීම පුදුමයට කරුණක් නොවේ. නමුත් පුදුමයට මෙන්ම සැකයට ලක් වන්නේ මෙරට පාලන අධිකාරිය විසින් එවැනි පුද්ගලයෙකුට මේ භාරධූර කාර්යය පැවරීමට ආරාධනා කිරීමයි. අනුරාධපුර නගරයේ  තිබෙන විවිධ ආගමිකයන් ගේ ස්ථාන ඉස්මතු කිරීම සහ ඒ මතින් බෞද්ධ රාජ්‍යය අවතක්සේරු කිරීම මෙහි උපක්‍රමය  විය හැකි යැයි සැකයක් උපදී. මීට කලකට පෙර අනුරාධපුරයෙන් සොයා ගන්නා ලදැයි සැළකෙන නෙස්ටෝරියානු කුරුසිය නිසා කතෝලික සභාව ඔවුන්ගේ ආගමේ මෙරට මූලාරම්භයට වසර දහස් ගණනක් එකතුකර ප්‍රවාද ගොඩ නන්වා ඇත. කොනින්හැම්ගේ ආගමනය මගින් අපට අනතුරු හඟවන අතර එනපොට හොඳ නැති බව නැවත නැවතත් මතක් කර දෙයි. මෙරට කීර්තිමත් පුරාවිද්‍යාඥයන් සිටියදී මේ නටන නාඩගම කුමක්දැයි මොවුන්ගෙන් ප්‍රශ්ණ කල යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress