ජවිපෙ ඉන්දියන් විරෝධය ඇත්තක්ද?  
Posted on February 20th, 2024

රජිත් කීර්ති තෙන්නකෝන්

ජවිපෙ ආරම්භයේ සිට අද දක්වා වසර 55 ක කාලය පුරාම, ‘ඉන්දියන් විරෝධය‘ කාලයෙන් කාලයට උඩ යට ගියේය. ඉන්දියන් විරෝධය හා එමගින් ඇති වූ සමාජ බලපෑම ගැන දත්ත පාදක විග්‍රහයක් බොහෝ දෙනාට නැත.

චීන කොමියුනිස්ට් පක්ෂයට හිතවත් මතවාදයක් දැරූ විජේවීර, ඉන්දු – චීන ගැටුම් වර්ධනයවන විට, චීනයේ පැත්ත ගත්තේය.  1967 දෙසැම්බර් ඓතිහාසික කලැත්තෑව සාකච්ඡාවෙන් පසුව, පන්ති පහට ‘ඉන්දියානු ව්‍යාප්තවාදය‘ එන්නේ එතැනිනි.  කැරළිකරුවන් 1977 සිරගෙදරින් නිදහස්වන විට ජවිපෙ ‘ඉන්දියන් ව්‍යාප්තවාදයේ සටන් පාඨය‘ වාෂ්පවී තිබුණි. ඒ බව විජේවීරගේ වචනයෙන්ම මෙසේය.

ඉන්දියානු ප්‍රශ්නය ගත්තොත් මාඕ සේතුංගෙ තර්ක එහෙම දාලා චීන-ඉන්දීය මතභේදය උඩ ෂන් පොත් ගහලා තිබුණා. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන චීන තානාපති කාර්යාලය ගහපු සිංහල පොත් තිබුණා. චීනය පැත්තෙන් ඒ තර්ක ගොඩනගල තිබුණේ. ඉන්දියානු ව්‍යාප්තවාදය කියන මතය ආවේ එතැනින්. මම (විජේවීර) ස්වයං විවේචනය කරල පස්සෙ ඒ මතයෙන් බැහැර වුණා. 

1981 සංවර්ධන සභා ඡන්දයට දිස්ත්‍රික්ක 8 කින් තරඟ කොට ඡන්ද 327,149 ක් ලැබූ සහ ජවිපෙ සභිකයින් 13 ක් තෝරා පත් කරගත් ඡන්ද ව්‍යාපාරයේ ඉන්දියන් විරෝධයක් තිබුණේම නැති තරම්ය.  

ශ්‍රී ලංකාව ඉන්දියාවේ 26 වැනි ප්‍රාන්තයක් බවට පත් කිරීමට ඉඩ නොදෙව්‘‘ ජවිපෙ සටන් පාඨය රටේ තැන තැන ප්‍රදර්ශනය වූවේ 1986 ජූනි මාසයේ දී ය.  ඒ වන විට ඉන්දියාව ලංකාවේ බෙදුම්වාදීන්ට තමිල්නාඩුවේ කඳවුරුවල පුහුණුව ද, අවි ආයුධ ද ලබා දෙමින් තිබුණි.

රෝහණ විජේවීර ප්‍රකට “දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?” (1986) කෘතියේ දැක්වෙන්නේ, ‘දකුණු ඉන්දියාවේ “මුම්මුඩ චෝල මංඩලම්” යනුවෙන් යළිපිහිටවීමට නියමිත චෝල අධිරාජ්‍යයට ලංකාවේ “උතුර” ඈඳාගැනීමේ උපායමාර්ගයක් බව ය.  

1970 තිබූ ඉන්දියන් විරෝධය, 1977 වන විට තිබුණේ නැත.  1981 නැති ඉන්දියන් විරෝධය 1986 දී පිටාර ගලා ගොස් 1987 වන විට රට ලේ විලක් බවට පත් කිරීමට හේතු විය.

1987 ජූනි 3 ඉන්දීය ගුවන් ආක්‍රමණයත්, බෝට්ටුවලින් යාපනයට ආහාර හා ඖෂධ තොගයක් එවීමෙන් පසුව ඉන්දියාව ගුවනින් පරිප්පු දැම්මා. ඊලඟට ගොඩබිමින් ඇවිත් ලංකාව ආක්‍රමණය කරනවා‘‘ යැයි ජවිපෙ අනතුරු ඇඟවීය.  රට තුල ඉන්දියන් විරෝධය ව්‍යාප්තවන විට,  ජනතාව දිනාගැනීමේ පහසුම උපක්‍රමයක් ලෙස ඉන්දියන් විරෝධය යොදා ගැනීම ජවිපෙ උපක්‍රමය විය.

ඉන්දීය සාම සාධක හමුදාවට ‘ඉන්දියන් වඳුරු හමුදාව‘ ලේබලය ගැසීම එහි ප්‍රචාරක උපක්‍රමය විය. ප්‍රේම්කුමාර් ගුණරත්නම්ගේ (ත්‍රිකුණාමලය) සන්නද්ධ ක්‍රියාකාරීත්වය, ජවිපෙ හා ඉන්දීය විරෝධය අතර ඇට සහ ඇට මිඳුළු තරම් බන්ධනයක් ගොඩනැගීය. 

සිංහල, බෞද්ධ, තඹුත්තේගම ගොවිගම අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් මන්ත්‍රීතුමන්ලා ඉන්දියාවට ගිය විට බොහෝ දෙනා සිහියට නගන්නේ ද, ජවිපෙ ක්‍රියාකාරීන්ට සමාජ මධ්‍ය යේ උසුළු විසුළු කරන්නේ ද, මාලිමාවේ උදවිය සටහන් ලියන්නේ ද, මේ දිගු මතකය නිසාය.

අනෙක් අතට, ‘අපේ ඉන්දියන් විරෝධයක් හෝ ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන භීතිකාවක් නැතැයි ජවිපෙ කියන්නේ ද මේ මතකය නිසාය.

ජනපති ආර්.ප්‍රේමදාස, 1989 ජූනි 1 දින චිත්තවිවේකාරාමයේ දී  ඉන්දියන් හමුදාව මෙරටින් ඉවත් කර ගත යුතු බව ප්‍රකාශ කළ විට, ජවිපෙ ඉන්දියන් විරෝධී සටන් පාඨයේ හුලං බැස්සේය.   

1994  න් පසුව නැවත සංවිධානය වූ ජවිපෙට 1987 තිබූ ඉන්දියන් විරෝධය තිබුණේ ම නැති තරම්ය. 1989 දෙසැම්බර්,  සෝමවංශ අමරසිංහට ලංකාවෙන් බෝට්ටුවෙන් ඉන්දියාවට පැනයන්නට ද, ඔහුගේ පවුලේ සමාජිකයින්ට ගුවන්මගින් ඉන්දියාවට යන්නට පහසුකම් සකසා දුන්නේ, මාතලේ උපන් දැන් කොටහේනේ පදිංචි හෙන්රි වික්‍රමසිංහ හෙවත් වික්‍රමසිංහම්  නොහොත් සෙල්වා ය. සෝමවංශගේ බිරිඳ හා දරුවන් ගුවනින් බොම්බායට රැගෙන ගිය සෙල්වා, යලි ලංකාවට පැමිණ සෝමවංශ ඉන්දියාවට රැගෙන ගියේ බෝට්ටුවෙනි. හමුදා නිලධාරීන්ගේ සහායයෙන් බෝට්ටුවකින් සෝමවංශ ඉන්දියාවට ගොඩබසින විට, සෙල්වා ඔහු පිළිගන්නට වෙරළේ සිටියේය. (පසුව සෙල්වා ද, සේනක සිල්වා හෙවත් ෂා හෙවත් ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ස්වාමියා ද, මේ සම්බන්ධයෙන් සිරගත විය)       

සෝමවංශ 2000 වසරේ ලංකාවට පැමිණ කළුතර පළමු රැළියේ දී, හිටපු ඉන්දීය අගමැති වී.පී.සිං ට හා ත් ඉන්දියාවට නමින් ම ස්තුති කළේය.  සෙල්වා ගේ කොටහේන නිවසටම ගොස් ඔහුට ද ස්තුති කළේය. ජවිපෙට අලුත් පනක් ලැබුණේ සෙල්වා නිසාය.  සෙල්වා එය කළේ ඉන්දියාව හරයා ය.  

දෙවැනි කැරැල්ලේ ඉන්දියන් විරෝධය

ජවිපෙ දෙවන කැරැල්ලේ දී, විරුද්ධවාදීන් 6,661 ක් මරා දමනු ලැබීය. එයින් 1,783 ක් එජාපයේ ය. එයට අමතරව, රාජ්‍ය නිලධාරින් හා සේවකයින් 485ක්, පොලිස් හා ආරක්ෂක අංක 688 ක්, සරසවි සහ පාසල් සිසුන් 187 ක්, පොලිස් පවුල් සාමාජිකයින් 92 ක්, හමුදා පවුල් සාමාජිකයින් 70 ක්, විදුහල්පතිවරු 52 ක්, ශ්‍රීලනිප සාමාජිකයින් 200 ක් පමණ්, මහජන පක්ෂයේ 141 ක්, කොමියුනිස් පක්ෂයේ 43 ක්, නසසප 24ක්, සමසමාජ 22, ජනතා සංගමය 19 කි. එය දැවැන්ත විනාශයක් විය.

එයට අමතරව ‘ඉන්දියන් වඳුරු හමුදාවේ‘ නිලධාරීන් හා සෙබළුන් 29 ක් ද ඝාතනය කළේය. 

දෙවන කැරැල්ලේ ඉන්දියන් විරෝධයේ පරිමාව, ඝාතන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 6,661 න් කුඩා පංගුවකි.  නමුත්, එහි සමාජ, ආර්ථික, දේශපාලන බලපෑම අතිමහත් විය.  

ඉන්දීය මැදිහත්වීම

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසුව, ජවිපෙ කීවේ, ලංකාවෙන් 30%ක් ද, වෙරළින් 60% ක් දෙමළ බෙදුම්වාදීන්ට අයත්වන බවයි.   1990 මාර්තු 24 ඉන්දියන් හමුදාවේ අවසන් භට කණ්ඩායම ත්‍රිකුණාමයෙන් ඉන්දියාව බලා පිටත්වන තෙක්ම ජවිපෙ මෙම ස්ථාවරය නඩත්තු කළේය.

විජිත රෝහණ විජේමුණි විසින් රජීව් ගාන්ධිට පහරදීමේ වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බාරගත්තේය.

රණසිංහ රන්දූව මුදියන්සේලාගේ අජිත් කුමාර පාර්ලිමේන්තුවේ කාමරයක දී ජනපති, අගමැති ඉලක්කර කර ගැසූ බෝම්බයෙන් කීර්ති අබේවික්‍රම මන්ත්‍රීවරයා ද, පාර්ලිමේන්තුවේ සේවක නෝබට් සේනාධීර ද  ඝාතනය කිරීමේ වගකීම ද බාර ගත්තේය.   ජවිපෙ නිවේදනයක සඳහන් වූවේ,  ‘ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂවල සියළු දෙනාම ද්‍රෝහීන්‘ බව ය.  ‘‘ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබලා හ්‍රී ලාංකික අන්තිම දේශද්‍රෝහියා ගේ බඩවැලෙන් එල්ලා මරාදමන බවට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනය කළේය.

ඉන්දීය භාණ්ඩ වර්ජනය කරන ලෙස 1989 මැයි 14 දින ජවිපෙ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.  සියළුම ඉන්දිය ව්‍යාපාරිකයින්ට ලංකාවෙන් පිටවෙන ලෙස නියෝග කළේය. 

සියළුම ඉන්දියන් භාණ්ඩ ආනයනය ද, තහනම් විය. මයිසූර් පරිප්පු, බොම්බයි ලූණු, අලෙවිය තහනම් කරන බව 1989  ජූලි 6 නුගේගොඩ පැවති ජනතා රැළියක දී ප්‍රකාශයට පත් විය.  ඉන්දියන් ඖෂධ ගෙන්වීමේ වරදට රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනි ග්ලැඩිස්ට් ජයවර්ධන මහත්මිය ඝාතනය විය.  

කෝනේෂ්වරන් දේවාලයේ මුරට සිටි ඉන්දියන් සෙබලුන් දෙදෙනාට පිහියෙන් ඇණ එක් අයෙකු ඝාතනය විය.

1989 මැයි 22 ත්‍රිමලේ ඩොල්ෆීන් ජැටිය හෙවත් ඛනිජ තෙල් ජැටියේ දී පැති බෝම්බ දෙකකින් ඉන්දීය භටයින් 6 ක් සහ මේජර්වරයෙකු ඝාතනය කළේය.  

1989 මැයි 12 කන්තලේ ත්‍රිකුණාමය පාරේ බිම් බෝම්බයක් පුපුරුවා ඉන්දියන් හමුදා මේජර්වයෙකු ඇතුළු 13 ක් මරා දැමීය.  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් එහි වගකීම බාරගනිමින් ප්‍රකාශ කළේ ‘දේශය නිදහස් කර ගැනීමේ අරගලයේ ඓතිහාසික පියවරක් ඉදිරියට තබමින් බිම් බෝම්බ තාක්ෂණය උපයෝගී කොට ගෙන සිය සංවිධානයේ නැගෙහිර පෙරමුණ බලඇණිය විසින් මෙම ප්‍රහාරය සිදු කල බවය. අවසන් ඉන්දියන් සෙබලාත් පරවා හැර මාතෘ භුමියේ උතුම් නිදහස ස්ථාපිත කරන තුරු අරගලය ඉදිරියට ගෙන යන බව ය.  

1989 ජූලි 25 ඉන්දු ලංකා ගිවිසුමේ දෙවන සංවත්සරය දිනයේ ඉන්දියන් සෙබළු 14 ඝාතනය විය. 

1987 ඔක්තෝබර් 25 ජවිපෙ මහනුවර ඉන්දීය තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

ලංකා සහ ඉන්දියන් ආණ්ඩුවල නිල දත්ත අනුව ජවිපෙ විසින් ඝාතනය කළ  ඉන්දීය සෙබළු ගණන 29 කි.  නමුත්, ඉන්දීය හමුදාවේ සෙබළුන් 63 ක් තම සංවිධානය විසින් ඝාතනය කළ බව 1989 සැප්. 05 රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජවිපෙ සැලසුම වූවේ ඉන්දියාව සමඟ සියළු ව්‍යාපාරික සබඳතා නවතා දැමීය ය.  ශ්‍රී ලංකාවේ සිටින සියළුම ඉන්දීය ව්‍යාපාරියකයින්ට රටින් පිටවන ලෙස නියෝග කර, මෙරට සිටි ඉන්දීය ව්‍යාපාරියකයින් 11 ක් දෙනෙකු ඝාතනය කළේය.  පැලවත්න සීනි කම්හලේ එස්.කේ.  බන්සාල් හා ඔහුගේ බිරිඳ (1988),  පී.බී.අම්බිච්චි සමාගමේ හිමිකරු ඉලේතම්බි ශන්මුගම්, වැල්ලවත්තේ ඉලේතම්බි සුබ්‍රමානියම්, කේ.ගුණරත්නම්, මරදානේ හෙප්තුල්ලාබෝහි සමාගමේ අධ්‍යක්ෂ සබීර් හුසේන්, කොහුවල දී ඝාතනය වූ ආර්. නාගින්ද්‍රාස්, ඩි.කේ.සුන්දරම් හා පී.නඩාර් මීරමුණි යන අය ඝාතනය වූ අය අතර විය.

එක් අතකින් ඉන්දියානු හමුදාව, ඉන්දීය ව්‍යාපාරියකයින් ඝාතනය කර ඉන්දීය භාණ්ඩ අලෙවිකර වෙළෙන්දන් පවා ඝාතනය කරන අතරම, ජවිපෙ තවත් පැත්තකින් ‘රෝ ඔත්තු සේවය සමඟ‘ සබඳතා ද පවත්වා ගත්තේය.

දෙවන කරැල්ල අවස්ථාවේ දී, ඉන්දීය තානාපති කාර්යාලයේ දකුණු කලාපයට බාර නිලධාරියා ලෙස රෝ සංවිධානයේ ගුරුජික් සිං ද, උතුරු නැගෙනහිර බාරව දෙමළ බ්‍රාහ්මණ වංශිකකයෙකු වූ එස්.අයි ශංකර් කටයුතු කළේය.  ඔවුහු රිචඩ් ද සොයිසා හරහා ඩී.එම්.ආනන්ද සමඟ සබඳතා ගොඩනගා ගත්තේය. එච්.බී.හේරත් සහ උපාලි ජයවීර රෝ සංවිධානය සමඟ සබඳතා ගොඩනගා ගත් අනෙක් ජවිපෙ නායකයින් වූවේය.  සෝමවංශ අමරසිංහ ඉන්දියාවට රැගෙන ගොස් එතනින් රැකවරණ සහිතව එංගලන්තයට යාමට අවස්ථාව සැලසුණේය.

2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ට ජනාධිපතිවරණය ජය ගැනීමට හැකියාව ලැබුණේ යන්තම් ඡන්ද 180,000 කිනි.  ජනාධිපතිවරණයේ කිසිවෙකුට සහාය නොදීමට තීරණයක කර සිටි ජවිපෙ හි සහාය මහින්ද රාජපක්ෂ වෙත ලැබුණේ ඉන්දීය මැදිහත්වීම මත බව දේශපාලනයට සම්බන්ධ කිසිවෙකුටත් රහසක් නොවේ. උතුරේ එල්ටීටීඊ ඡන්ද වර්ජනය පැවතිය ද, ජවිපෙ නොවන්නට 2005 මහින්ද රාජපක්ෂ දිනන්නේ නැත. ජවිපෙ සහාය පැවතිය ද, එල්ටීටීඊ ය නොවන්නට මහින්ද දින්නේ ද නැත.  ඒ දෙකම සිදු කර දුන්නේ ඉන්දියාවයි.

2014 මෛත්‍රීපාල සිරිසේන ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ජවිපෙ සහාය ලබාගැනීමට මලික් සමරවික්‍රම ට හැකි වූවේ ද, ඉන්දීය පහසුකම් සැලසීමේ ප්‍රතිඑලයක් ලෙසිනි. එදා ද, ඉන්දියාව උතුරු නැගෙනහිර, වතුකරය සහ ජවිපෙ යන පාර්ශවයන් ත්‍රිත්වයම මෛත්‍රීපාල ට සහායට දිනා දුන්නේය.  

කාලයෙන් කාලයට දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම ලංකා දේශපාලනයේ අලුත් දෙයක් නොවේ. එය අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි.   1987 පළමු පළාත් සභා ඡන්දය දමන පළමු 10 දෙනා ඝාතනය කිරීමටත්, ඇඟිලි කපා දමන්නට කටයුතු කළ ජවිපෙ පසුව පළාත් සභා මන්ත්‍රී ධූර ලබා ගත්තේය. ඡන්දය වර්ජනය කළ ශ්‍රීලනිප ය ද ඒ මාවතේම ගියේය.

1987 – 89 සමයේ එජාප ආධාරකරුවන් 6,661 ක් ඝාතනය කළ ජවිපෙ, 2015 ජනාධිපතිවරණයේ දී හා ඉන් පසුව යහපාලන රජය සමඟ එක්ව කටයුතු කළේය.  විජය කුමාරතුංග ඝාතනය කළ ජවිපෙ, 2004 චන්ද්‍රිකා කුමාරතුංග සමඟ හවුල් ආණ්ඩු හදා, ඇමතිකම් ද ලබාගත්තේය.

දේශපාලන ප්‍රතිපත්ති යනු සජීවී වෙනස්වන දෙයකි.  ජවිපෙ හි ඉන්දියන් ව්‍යාප්තවාදී න්‍යාය හෝ ඉන්දියන් විරෝධය හෝ පමණක් කිසිදා වෙනස් නොවිය යුතු නැත.   

විජේවීර ඉන්දියන් විරෝධයෙන් පක්ෂය අරඹා, ඒ ගැන ස්වයං විවේචනයක් සිදු කර, නැවත ඉන්දියන් විරෝධයට ප්‍රවිශ්ඨ වූවේය.

සෝමවංශ ඉන්දියන් විරෝධයකින් නායකයා බවට පත්වී, ඉන්දියාව සමඟ සැමවිටම එකට කටයුතු කළ ජවිපෙ නායකයා වූවේය. විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම කැඩී මහින්ද ලඟට ගිය යුගයේ ‘ඉන්දියන් මැදිහත්වීම‘ නමින් පැවැත්වූ දේශන මාලාව හැර සෝමවංශ ගේ නායකත්වය තුල ‘ඉන්දීය විරෝධයක්‘ නොවීය.  

අනුර කුමාර දිසානායක, සිය නායකත්ව කාලය පුරාම ත්‍රිකුණාමලයේ සාම්පූර් බලාගාරය,  මන්නාරමේ සුළං විදුලි බලාගාරය, අදානි සමූහය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය, අමුල් කිරි කර්මාන්ත සමාගම,  ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම, කටුනායක, කොළඹ හා මත්තල ගුවන්තොටුපළ කළමනාකරණය, පුල්මුඩේ ඛනිජ වැලි නිධිය වැනි ව්‍යාපෘති දැඩි ඉන්දියන් විරෝධී ස්ථාවරයක සිට විවේචණය කළේය. 

ජවිපෙ හි නායකයන් වූ විජේවීර – සෝමවංශ දෙදෙනාටත් වඩා, එක දිගට ඉන්දියන් විරෝධය නඩත්තු කළේ 1968 තඹුත්තේගම උපන් සිංහල, බෞද්ධ,  ගොවිගම අනුර කුමාර දිසානායක යි.  

අතීතය කුමක් වුවත් ජවිපෙ නව ඉන්දීය සම්බන්ධතා  ප්‍රවේශය රටක් වශයෙන් ලංකාවට අතිශයින් තීරණාත්මක ය.  ආර්ථික සමාජීය හා දේශපාලනිකව වැදගත් ය.  ලංකාවේ ආර්ථික සමෘද්ධිය රැදී පවතින්නේ ඉන්දියාවෙන් දුරස්වීමෙන් නොව, බද්ධවීම මත ය. ඉන්දියාව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවේශය ලංකා දේශපාලනයේ නව හැරවුමකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress