බෙදා හදා ගැනීම පිළිබඳ රාජ නීතිය සහ  පැරණි මූලාශ්‍ර
Posted on April 17th, 2024

මතුගම සෙනෙවිරුවන්

මෙරට ගැමි සමාජය හසුරුවන ප්‍රධානතම රැහැන නම් සාමූහිකත්වයයි.පැරණි ගැමියන් කිසි විටක සාමූහිකත්වයෙන් තොරව සංවිධාන ගත නොවූහ.ඔවුන්ගේ ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලිය වූ කුඹූරු ගොවිතැන සහ හේන් ගොවිතැන සාර්ථකත්වයට පත් කරනු ලැබූවේ එකට වැඩ කරගැනීමට තිබූ දක්ෂතාවයෙනි.මුල් කැටෑ හේන නම් වියළ් ගොවිතැනේ දී සියලුම දෙන එකතු වී මූකලානක් කොටා පුලුස්සා වටේ දඬුවැට සවි කර තමන්ගේ පංගු වෙන් කර ගත්තද හේනේ පැල් රැකීම කරන ලද්දේ සාමූහික හැඟිමකිනි. එසේම අස්වනු කපා පා ගා ගැනීම සහ බෙද‌ා හදා ගැනීම සඳහා පුද්ගලිකත්වයට වඩා සාමූහිකත්වය ඉස්මතු විය.මේ නිසා මුලු රටේම වැඩ කිරීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමින් තිබුණි. පසු කාලීනව රාජකාරිය යනුවෙන් නම් කළ අතර සියලුම රට වැසියන්ට තමන්ගේ කාර්යයක් හිමි විය. කුල වශයෙන් වෙන් කර තිබුණද ඒ ඒ අය අතර බෙදා හදා ගැනීමද අත්තමට කයියට වැඩ කිරීමද උපරිම මට්ටමින් තිබූ ආකාරය පැහැදිලි වේ.

          මේ බෙදා හදා ගැනීම ජාන වලින් පැමිණි දෙයක් නොවේ.බදු දහම වැළඳ ගැනීමෙන් පසු ඒ සාර්ධර්මයන් හි රජු පිහිටීම නිසා මෙවැනි හැදියාවක් ආරම්භ වන්නට ඇත. සතුරු ආක්‍රමණ මත රටේ අවුල් වියවුල් ඇති වූ නිසා නැවත ඒ පෙර සිරිත් පණ ගැන්වීම අවශ්‍ය විය.ඒ අනුව සකස් කරනු ලැබූ නීති සහ රීති මගින් නැවත ඒ සිරිත් ආරම්භ විය..චාරිත්‍ර සහ වාරිත්‍ර යනුවෙන් අප අතර අද ව්‍යවහාර වන්නේ එයයි. යම් නීතියක් චාරිත්‍රයක් වන්නට නම් ඒ සිරිත දිගු කාලයක් තිස්සේ ජන සමාජය විසින් භාවිත කල යුතු විය.එවිට එම පෙර සිරිත නීතියක් වුවත් නීතියක් නොවී ජන සමාජය විසින් ආරක්ෂා කරනු ලබති. බෙදා හදා ගෙන කෑම බෙදා හදා ගෙන වැඩ කිරීම සිංහල ජන සමාජයට පුරුදු පුහුණු කරන ලද්දේ එසේය.ඉරිපින්නියාව( පදවිය අසල ) ටැම් ලිපිය අනුව වාරිමාර්ග අමුණු බැන්දවීමටද පෙර සිරිත ක්‍රියාත්මක විය.එයද නීතියකින් පැමිණියකි.මේ සම්බන්ධව තිබෙන තවත් වැදගත් හොඳම උදාහරණයක් ලිඛිතව පැවතීම මේ පිළිබඳව විමර්ශනය කරන්නවුන්ට ඉතා වැදගත්ය. අනුරාධපුරයේ ඇතුලු නුවර මහාපාලි දාන ශාලාව ආසන්නයේ පවතින සතරවන මිහිඳු රජුගේ ශිලා ලේඛනය ඊට දෙස් දෙයි.

      සතරවන මහින්ද( ක්‍රි.ව.980 -996) පස්වන කාශ්‍යප රජුගේ පුත්‍රයෙකු ලෙස සැළකිය හැකිය. ඔහුගේ බිසව කාලිංග කුමරියක වූවාය. ඒ වන විට දළදා වහන්සේ සන්තකයේ පැවතීම කාලිංග දළදා පරපුරේ නොහොත් කීරවැල්ල බිසවක් සිටීම රාජ උරුමය තහවුරු කරලීමට බලවත් සාධකයක් විය.ඒ ශක්තිය නිසා මහින්ද රජු දඹදිව ආක්‍රමණය කොට තුන්වන කෘෂ්ණ රජු පරාජයට පත් කළේය.එසේම ඌරාතොට නැතිනම් කයිට්ස් දූපතට පැමිණි දෙමළ ආක්‍රමණිකයෙකු පරාජයට පත් කොට රාජ්‍ය ස්ථාවර කොට වසර දහසයක් රජකම් කලේය.මේ නිසා ඔහුට ශාසනික මෙහෙයක් කල හැකී වූ අතර දළදා වහන්සේ කෙරෙහි තිබූ භක්තිය නිසා දළදා මැදුර ප්‍රතිසංස්කරණයට ලක් කළේය. අනතුරුව ඒ ආසන්නයේ ශිලා ලේඛනයක් ද පිහිටුවන ලද්දේය. ඊට අමතරව වෙස්සගිරිය අසල සහ මිහින්තලයේ යන ස්ථාන වල පිහිටුවන ලද ශිලා ලේඛන මෙරට ශාසනික නීතිය සහ රටේ පෙර සිරිත හුවා දක්වන ප්‍රබල සාධක වෙති. අනුරාධපුර පුවරු ලිපියයයි සදහන් වන පහත සඳහන් ලිපිය මගින් කියැවෙන වැදගත් රීතින් සමාජය වෙත මුදා හැරීමට සිදු වූයේ කුමක් නිසාදැයි මේ ලිපි ය කියැවීමෙන් පසක් කරගත හැකිය.    

          ‘සිරිබර් කැත් කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් ලක්දිව් පොලොයොන පරපුරෙන් හිමි වූ සිරි සඟ්බො අබය් මහ රජ්හු තුමා සත් ලැගු සොලොස්වන හවුරුදුයෙහි මැදින් දින සන්ද් අවප් මස්හි  දස පක් දවස් සතර් පස්හි අය්වූ උකස් ගම්හි ඉසා පමුණු ගම්හි ඉසා ගිය තුවාක් දවස්හි රද් කොලට් වැලෙන්දමින් සිටි කැබැල්ලෙ හි කළැලි කුම්බුර් පෙරෙ වළන්දමින් සිටි සෙ වළදනු කොට් ඉසා සෙසු වියළ් තිබූ තුවාක් තැන් පමුණු ලදුවන් වියළ් නෙරුන් මුත් කැබලි ලදුවන් වියළ් නෙරනා කොට් ඉසා පමුණු ලදුවන් වියළ් නෙල් තැන්හි පහන් ……………………ගත් කිරි අමුණ බා  දෙ කැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා …………..මෙයට් උපන් දෙවිතයක්  ඇත ගම් වැසියන් ………………….පිරි කපා බා ගන්නා කොට් ඉසා පෙරෙ කැබලි …………………….වල් පියොව තිබූ තුවාක් තැන් වැව් බැන්දැ………………..කැරුණ් හසෙකැ බෙදා ගන්නා කොට් ඉසා ………………………….ක් ඇත ගම් වැසියන් දුට් නැස්මක් ……………………යන් බෙදා ගන්නා කොට් ඉසා මෙකුන් විය …………………………..බද් වැව් සර් වියළ් නෙළැයෙහි වැවූ ප…………ගම්වැසියන් පස් දෙනෙකු කී බා දෙ කැබලි……………….කොට් ඉසා පෙරෙ ඔත් ගස් කොලට් අ…………..වහන්සෙ හුණන්හි වැඩැ වෙන කලැ කළ ව්‍ය ………………තුනින් එකක් නියායෙන් බෙදා ගන්නා කොට් ඉසා ……………….තුවාක් දවස්හි පමුණු ලදුවනට කුඩී……………..වැටෙමින් සිටි වැට්මක් ඇත පෙරෙ …………………….කොට් ඉසා මෙකුන් අයෙළින් ඔත් නැරුළ් ත………………මහ වරක් දෙකැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා …………….කින් පකක් දෙකැබලි ලදුවන් බෙදා ගන්නාකොට් ඉසා …………….බුලත් දොඩම් කෙල් කොස් සෙසු උපො පල …………හවුරුදු පතා වත්තකට් ළිදෙකින් දෙ අකක් බැ……………න් බෙදා ගන්නා කොට් ඉසා……………….ගම් වැසියන්…………….. ඇත  කුඩීන් නොපල්වා ගම් වැසියන්…………………කැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා ………තන්හි මෙලාට්සි ලද්දකු ගන්නා කොට් ඉසා ගම් වැසියන් පස් දෙනෙකු කී දඩ් ගන්නා කොට් ඉසා දෙකැබලි ලදුවන්  වෑ මෙහෙයට් දෙ ……………….උපන් වියවුලක් ඇත මහා ලෙයක් හු ………………වරැඅරක්මෙහෙකැමියක් හු ඉසා ස………………කුසල් කැමි ලෙයක්හු ඉසා දඩ් නා ප…………………….පි කාරයක් හු ඉසා ඇතුළ්වැ මෙතුවාක් ………………..සාහා දෙනු කොට් ඉසා එකොලොස් ………………..හිමියන් වහන්සෙ  පසුවනු ප……………කැබලි ලද් කෙනකු න් විචාර කොට් ………………….ත්‍යාග කරනු කොට් ලියවා දළදා ගෙ ………………ලී කර්ම නො ඉක්ම වැ  වෙනු සන්ද් හා……………..තබනු ලදි සතර් පස්හි දෙමෙළ් ගම්බිම් ……………ඔත් ගස් කොළ්හි පෙරෙ සිරිත් සෙ ගන්නා කොට් ඉසා මෙහි පවා මත්තෙ ඔත් ගස් කොළ්හි දස පැකින් පකක් හා සතර් මහ වරක් හා ළින්දෙකින් දෙ අකක් බැගින් ගතැ යුතු

         රදළ කුලයට පරිභෝග වූ උකස් ගම් සහ පමුණු ගම් වල කැබලි වල අස්වනු පෙර සේම වැළඳීම නොහොත් පරිභෝජනය කළ යුතු යැයි මෙහි මුලටම දක්වා තිබේ.මෙම ගම්හි හේන් ගොවිතැන් ගැන දක්වා තිබෙන්නේ වියළ් යනුවෙනි.ඒවා පෙර සේම වළන්දවමින් ඒ ලැබෙන අස්වැන්න ගම් වැසියන් විසින් අඩක් වශයෙන් බෙදා ගත යුතු බව දක්වා තිබේ.ඒ ගම්වල කැලෑ එළි කොට වැව් සකස් කර ගත් කල්හි ලැබෙන ලාභයන් බෙදා ගත යුතු බව දක්වා තිබේ. එසේම ගම් වැසියන්ට යම් කරදරයක් නොහොත් නැස්මක් වුවහොත් තිබෙන තැනින් ගෙන බෙදා හදා ගැනීම අගය කර තිබේ. සැබවින්ම අදටත් මේ සිරිත ගම් වල පවතී. කරදරයකදී ඔවුන් සැම එකතු වෙයි. සැමියා නැතිවූ බිරිඳ නඩත්තුවට කුඹුරු කැබලි පවා වෙන් කරන සිරිතක් දක්නට තිබුණි. දඹුල්ල අසළ කලුන්දෑවේ එලෙස වෙන් කරන ලද කූඹුරකට සුද්දන්ගේ පාලනය යටතේ අත්වූ ඉරණම ගැන විස්තර මෑත කාලයේ දී අසන්නට හැකිය.එකල රාජ්‍ය සේවයේ සිටි දෙමල අගම්පඩි සේනාවක්ට දුන් දෙමළ ගම් බිම් වලින් පෙර සිරිත් ලෙසම එනම් දෙමළ් කූලී අය කරගන්නා ලෙසටද මෙහි දක්වා තිබේ. ඒ අනුව සතරවන මහින්ද රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන්නේ සිංහල නීතියේ වැදගත් මූලාශ්‍රයකි.

මතුගම සෙනෙවිරුවන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress