ගරු ජනාධිපති තුමාගේ ක්ෂනික හා පෞද්ගලික අවාධානය සඳහා
Posted on April 17th, 2024

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක      මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-1994)

සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ්‍රී ලන්කා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදි ජනරජයේ                             2024 ක්වූ අප්‍රේල් 14.

ගරු ජනාධිපති, රනිල් වික්‍රමසින්හ මැතිතුමා වෙතය.

ගරු ජනාධිපති තුමනි,

1815 ආරම්භවූ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී, මේ රට  ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ බලය සහිත පූර්ණ නිදහස ළබාගත්තේ 1972 මැයි 22 දාය. එසේම 1948 සිට වසර 24 කට පසු සෝල්බරී ව්‍යවස්ථාවේ තිබුණු අධිරාජ්‍යවාධී යදම්වලින් මේ රට මිදුනේත් එදිනය. 1972 සිට 1977 දක්වාම  හත් වසරක්, එවකට පැවති සිරිමා බණ්ඩාරනායක රජය විසින් ජනරජ දිනය, මැයි 22 දින මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

එහෙත් 1977 දී බලයට පත්වූ රජය යළිත් යටත් විජිත වාදී වහල් මානසිකත්වය වැළඳ ගනිමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වන්තියෙන් නැවතත් පෙබ 4 ම ජාතික දිනය” වෂයෙන් ව්‍යවස්ථාගතකොට, 1948 දී ලැබුණායයි කියන නිදහසක් සමරමින්, නිදහස් දිනය උත්සවත්ශ්‍රීයෙන් සැමරීම යළිත් ආරම්භ කළේය. මේ අන්දමින් 1972 කේදී ලබාගත් ජාතික අභිමාණය වලලා දැමුවේ වසර 6 ක් ඇතුලත රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කිරීමේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ සමඟම මැයි 22 ජනරජ දිනය පැවැත්වීමද නතර කරණලදී. මේ වූ කලී සමාව දිය නොහැකි දේශපාලන කුහකකමකි. රටට හා ජාතියට කරණලද නින්දාවකි.එසේම ලජ්ජා විරහිතව රට ජාතිය පාවා දීමකි. එහෙත් එම රජයද ජනරජය යන නාමය හා ජනාධිපති  තනතුරද වෙනස් නොකොට දිගටම භාවිතා කිරීම ගැන අපි සතුටු වෙමු.

1972 මැයි 22 ජනරජ ව්‍යවස්ථාව යනු මේ රටේ වසර 2566 ක දේශපාල ඉතිහාශයේ ඉතා වැදගත් අයිතිහාසික ලේඛණයකි. එසේම එය ලන්කා ඉතිහාසයේ රාජ්‍ය විචාරණය පිලිබඳ රන් අකුරෙන් ලියා තැබිය යුතු පුස්ථකයකි.මහාවන්ශයේ සුවිෂේශී පරිච්චේධයකි.මන්ද 1815 ආරම්භවූ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් වසර 157 කට (ලන්කා ඉතිහාසයේ දීර්ගතම විදේශ පාලනය) පසු මේ රට සැබෑ නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ එදින වන බැවිනි.

1948 බ්‍රිතාන්‍යයෙන් මේ රටට නිදහස ලැබුණා කීම අයිතිහාසික බොරුවකි.මන්ද 1948 ඇත්තවෂයෙන්ම සිදුවූයේ එන්ගලන්තයේ සුද්දන් විසින් ඔවුන්ගේ රාජ්‍ය විචාරණය අනුව, එන්ගලන්තය වෙනුවෙන් මේ රට පාලනය කිරීම සඳහා අසරුවන් මාරු කිරීම පමණි. ඔවුන් උරුමකොට දී ගිය දේශපාලන ආයතනවල නම්,පාලකයින්ගේ තනතුරු, පාර්ලිමෙන්තුවේ වැඩ කටයුතු ක්‍රියාත්මක් වූ ආකාරය, ඒ සඳහා යොදාගත් භාෂාව, නීති රීති හා සම්ප්‍රදායන් සියල්ලම 1972 මැයි 22 වන තුරුම භාවිතා වූයේ එන්ගලතයේ පිලිවෙලටමය.

1972 කේ සිදු වූ වෙනසත් සමඟම ලක් රජය, ශ්‍රී ලන්කා ජනරජය විය. පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව විය. අග්‍ර ආණ්ඩුකාරයා ජනාධිපති වීය. රජයක මූලික අන්ග තුනවන ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ යන තුනම ලන්කා  රජය යටතට පත්විය. ජන රජය ස්වෛරී විය. ස්වෛරී බලය ලක්වැසියන් අතට පත්විය.ඒ අනුව 1972 වන තුරුම පැවති බ්‍රතාන්‍ය අධිරාජ්‍යයේ බලපෑමද අවසන් විය.  බ්‍රතාන්‍ය රජයට තිබුණු ව්‍යවස්ථාමය බැඳීම් සියල්ලගෙන් පූර්ණ නිදහස ලැබුණේද ඉන් පසුවය.1972 දී මේ රට ස්වාධීන ස්වෛරී අභිමානවත් රාජ්‍යයක් වූයේ ඒ අයුරිනි.

 1948 නිදහසක් ලැබූ බව කිවද  ඉහතින් දැක්වූ පරිදි ඇත්ත වෂයෙන්ම පූර්ණ නිදහස් රටක් බවට මේ රට පත්වූයේ 1972 මැයි 22 දාය.

1948 පෙබ් 4 වන දින එවැනි ආශ්චර්‍යක් සිදු වී නැත. එදින සිදුවූ එකම දෙය නම් 1815 මාර්තු 2 දා සිට අපගේ රට යටත්කොටගෙන සිටි බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ රිජු පාලනය ඉවත්කොටගෙන ඔවුන් විසින්ම තෝරාගත්, ඔවුන්ගේම නියෝජිතයින්වූ කළුසුද්දන් පිරිසකට, ඔවුන්ගේම පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා භාරදී මේ රටේ රට වැසියන්  සින්හල, දෙමළ, මුස්ලිම් ජාති වෂයෙන් බෙදා, බහුජාතික, බහුආගමික සහ බහුවාර්ගික වෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන්ම බෙදා, මේ රට අවුල් ජාලයක් කොට මේ රටෙන් ශාරීරිකව පිටවී යාම පමණි. ඔවුන්ගේ නිර්වචනයේ හැටියට උඩරට සින්හලයින් සහ පහත රට සින්හලයින්ද ජාති දෙකකි.

1972 න් පසු දැන් අපි නිදහස්, නිවහල් ස්වාධීන රටකි.එම නිසා තවදුරටත් යටත් විජිත වැසියන් වශයෙන් හා නිවටුන් මෙන් ක්‍රියා නොකොට අධිරාජ්‍යවාදී වහල් මානසිකත්වයෙන් දැන්වත් මිදී මේ වසරේ සිට හෝ, යලිත් මැයි 22 ජාතික ජනරජ දිනය සහ නිදහස් දිනය වෂයෙන් නම්කොට ලබන මැයි මස 22 දිනට එම ජාතික උත්සවය පවත්වන මෙන් මම ඔබ තුමාගෙන් දේශප්‍රේමයෙන් හා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 

එසේ කීරීමෙන් 1978 සිට අවුරුදු 46 ක් පුරා මේ දක්වා සිටි සියළුම රාජ්‍ය නායකයින් විසින්  සිදුකළ වරදක් නිවැරැදි කිරීමේ සම්පූර්ණ ජනතා ගෞරවය සහ ප්‍රශන්සාව අනිවාර්‍යෙන්ම ඔබතුමාට හිමිවණු ඇත. තවද එවැනි ජනතා අභිලාෂයක් මේ අවස්ථාවේදි ඉටුකිරීම ඔබ තුමාගේ ඉදිරි වැඩ කටයුතුවලටද ආශිර්වාදයක් වණු නොඅණුමානය. අනිවාර්‍යෙන්ම එය සියළුම ජාති හිතෛෂි දේෂප්‍රේමින්ගේ ගෞරවයටද හේතුවණු ඇත.

ඒ සමඟම 1978 ව්‍යවස්ථාවේ අන්ක 8 යටතේ මේ රටේ ජාතික දිනය වශයෙන් ව්‍යවස්ථාගතකොට ඇති පෙබ 4 පරිච්චින්න කොට ඒ වෙනුවට පොසොන් දෙපෝය මේ රටේ සහ ජාතියේ ජාතික දිනය වශයෙන් නම්කොට ව්‍යවස්ථා ගතකරණ මෙන්ද මම ඔබ තුමාගෙන් ඉල්ලාසිටිමි. මා එසේ ඉල්ලා සිටිණුයේ මේ රටේ සින්හල බෞද්ධ ජාතියේ උපත සිදුවූයේ, කිතු වසින් පෙර 307 වන වසේ එදින සිදුවූ අසිරිමත් මහින්දාගමනයත් සමඟ බැවිනි.එසේ කළහොත් පොසොන් දෙපෝය මේ රටේ ජාතික දිනය වෂයෙන් ප්‍රකාශකළ රාජ්‍ය නායකයා වෂයෙන් ඔබ තුමා ඉතිහාස ගතවණු ඇත.

මෙම යෝජනා දෙකම මැයි දින රැළියේදී ජාතියට ප්‍රකාශ කරන මෙන්ද මම යෝජනා කරමි. එවිට ඉන් පළමුවැන්න මැයි 22 දිනත් දෙවැන්න ජූනි 21 සහ 22ත් ක්‍රියාත්මක් කොට මාස 2 ක් වැනි කෙටි කාලයක් තුල ඔබ තුමාගේ මුළු දේශපාලන ජීවිත කාලය තුලම ලබා ගැනීමට නොහැකිවූ අති විශාල සින්හල බෞද්ධ ප්‍රසාධයක් ඔබතුමාට ලබාගත හැකිවනවා නියතයි.

නව වසරේ ඔබ තුමාගේ සියළු ප්‍රාර්ථනා සඵලවේවායිද ප්‍රාර්ථනා කරමි!

මෙයට විස්වාශිවූ,

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක      මැතිනියගේ හිටපු ලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-1994)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress