ගෝලිය ඒකාබද්ධ ජාතික සංවිධාන මඟින් කරනු ලබන ආයාචනයයි
Posted on April 17th, 2024

ගෝලිය ඒකාබද්ධ ජාතික සංවිධාන

ශ්‍රී ලකාවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ මවු භාෂා
භාවිතයේ වැදගත්කම පිළිබඳව සැලකිිමත් වී නැති බැවින් අපගේ
අනාගත පරපුරේ දැනුම් උකහාගැනීමේ හැකියාව සහ
ආත්මාභිමානය ප්‍රවර්ධනය පිළිබඳව සිදුවිය හැකි අඩාල වීම සහ,
එ් ඔස්සේ සිංහල භාෂාව මළ භාෂාවක් බවට තල්ලු වී යාමේ
ඇති දැඩි අවදානම

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් සැප්තැම්බර් 23 දාතමින් ඉදිරිපත් කරනු
ලැබ ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හා ඒ සඳහා වූ ධවල
පත්‍රිකාව තුළ පාසල් අධ්‍යාපන මාධ්‍යය ඉංගිරිසියට හැරවීම සඳහා
යෝජනා කරනු ලැබ ඇති අතර මාතෘ භාෂාවන්ගෙන් අධ්‍යාපනය
ලැබීමේ වැදගත්කම අමතක කර ඇති බව පෙනී යයි. මේ අතර,
විපක්ෂ නායක සංජිත් ප්‍රේමදාස මහතා ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර
ඇත්තේ අධ්‍යාපනයේ මුල් වසරවලදී පටන් ඉංගිරිසි මාධ්‍යයෙන්
සියලු පාසල්වල අධ්‍යාපනය ලබා දීමට තම රජයක් තුළ පියවර
ගන්නා බවයි. ශ්‍රී ලාංකික ජනතාව අතර බහුතරයක මවුබස වන
සිංහල භාෂාව අධ්‍යාපන මාධ්‍යයෙන් ඉවත් කිරීම පිණිස දැරෙන බව
පෙනෙන මෙම ප්‍රයත්නය පිළිබඳව සහ එවැනි පිළිවෙතකින් ජනනය
විය හැකි බව පෙනෙන ජාතිකමය අවදානම් පිළිබඳව පහත අත්සන්
කරන අප සංවිධානයන් හි සුවිශේෂී අවධානය යොමු වී ඇත.
එක්සත් ජාතීන් ගේ සංවිධානය සහ යුනෙස්කෝ පවා පිළිගෙන ඇති
අධ්‍යාපන මූලධර්මයක් වන්නේ මූලික වසර වලදී පටන් මවු
භාෂාවෙන් දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබා දිය යුතු බවයි. ඒ
මූලධර්මය පහත දැක්වෙන ප්‍රකාශයෙන් මනාව පිළිබිඹු වෙයි :
ගුණාත්මක අධ්‍යාපනයක් සහ සමාජ අන්තර්ග්‍රහණය තහවුරු කිරීම සඳහා මවු
භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම ඉතා තීරණාත්මක සාධකයක් බව පර්යේෂණ
ප්‍රතිඵල වලින් පෙන්නුම් කෙරෙයි. තව ද, මාතෘ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමෙන්
ඉගෙනුම් ප්‍රතිඵල මෙන් ම අධ්‍යයන කාර්යසාධනය ද ඉහළ නැංවෙන බව ද ඒ
පර්යේෂණවලින් නිරීක්ෂණය වෙයි. ප්‍රාථමික පාසල්වල මේ සාධකය වඩාත් වැදගත්
වන්නේ දැනුම් හිදැස් වළැක්වීම පිණිස සහ දැනුම ලබා ගැනීමේ මෙන්ම වටහාගැනීමේ
වේගය ඉහළ නැංවීම උදෙසා වැදගත් පිටිවහලක් මාතෘ භාෂාවෙන් අධ්‍යාපනය ලබා
දීමෙන් ලැබෙන බැවිනි. මේ සියල්ලටමත් වඩා සුවිශේෂී මෙහෙවර වන්නේ සමාජයේ
පූර්ණ වශයෙන් ක්‍රියාකාරී වීමට අවශ්‍ය බලගැන්වීම මවු භාෂාවෙන් ලැබ ගන්නා
අධ්‍යාපනය ඔස්සේ සියලු සිසුනට ලැබීමයි. ඒ තුළින් අන්‍යෝන්‍ය අවබෝධය සහ

එකිනෙකාට ගරු කිරීම ප්‍රවර්ධනය කෙරෙයි. තව ද, ලෝකයේ ඇති සෑම භාෂාවක් තුළම
කා වැද්දී ඇති සංස්කෘතික හා පෞරාණික උරඅමයන් හි වත්කම් සංරක්ෂණයට ද ඒ තුළින්
මඟ පෑදෙයි. එ සේ වුව ද, වඩ වඩාත් අවදානම්කාරී වේගයෙන් භාෂාවන් අතුරුදහන්වීමේ
ප්‍රවණතාව නිසා මේ වන විට භාෂා බහුත්වය අභියෝගයට ලත් වී ඇත. යම් භාෂාවක්
අතුරුදහන් වන්නේ නම් එසේ වන්නේ සමස්ත සංස්කෘතික හා බුද්ධිමය උරුම පද්ධතියක් ඒ
සමඟම අභාවයට යවමිනි.”
අපගේ දුවා දරුවන්ට ඉංගිරිසි භාෂාව හැසිරවීමේ ප්‍රවීණත්වයක්
ලබා දිය යුතු බවට විවාදයක් නැත. ඊට අමතරව, දෙමළ දරුවන්ට
සිංහල හා සිංහල දරුවන්ට දෙමළ වැහැරීමේ හැකියාව ද, වෙනත්
විදේශ භාෂා ඉගෙනගැනීමේ අවස්ථා ද ලබා දීම වැදගත් ය.
විශේෂයෙන් ඉංගිරිසි භාෂා ප්‍රවීණත්වය සැලකීමේ දී, පාසලේ අවම
වශයෙන් වසර නවයක් හෝ දහයක් පුරාවට අනිවාර්ය විෂයක්
ලෙස ඉංගිරිසි ඉගැන්වුව ද ඒ භාෂාවේ ප්‍රවීණත්වය දරුවන්ට ලබා
දීමට අපේ පාසල් අධ්‍යාපන පද්ධතිය සමත් වී නැති නම් ඒ කවර
දුර්වලතා නිසා දැයි සොයා බලා ඒවාට පිළියම් යෙදීම
අධ්‍යාපනඥයන් ගේ හා ප්‍රතිපත්ති තීරකයන් ගේ වගකීමකි. එසේ
නොකර, ඉංගිරිසි භාෂා ව්‍යවහාර හැකියාව දියුණු කිරීමට සිතා
විෂය ඉගැන්වීම ඉංගිරිසි මාධ්‍යයට හැරවීමට කැස කවන්නේ නම්
එය රෝග මූලය ඇති තැනට නොව වෙනත් තැනකට ශල්‍ය
කර්මයක් කිරීමට තැත් කිරීම වැනි නිෂ්ඵල මෙන් ම විනාශකාරී
ප්‍රතිවිපාක දිය හැකි ක්‍රියාවකි.
අපි දැන් අපගේ මාතෘ භාෂාව වන සිංහල පිළිබඳව සලකා බලමු.
සිංහලය එහි නූතනයේ පවත්නා ඉහළ මට්ටමට අනුවර්තනය
වූයේ සියවස් තුනකටත් අධික කාලයක් තිස්සේ අප ගේ රට හා
ජාතිය මුහුණ පෑ විවිධ සංස්කෘතික බලපෑම් නිසි ලෙස
අන්තර්ග්‍රහණය කරමිනි. එය ඉතා ඉහළ මට්ටමේ අදහස්
පැහැදිලිකිරීමේ හැකියාවක් සඳහා අවශ්‍ය වූ පොහොසත් හා
නම්‍යශීලී ගතිලක්ෂණ සහ සාරවත් ව්‍යාකරණයක් සහිත ව්‍යක්ත
භාෂාවකි. තව ද, සංකීර්ණ වචන තාර්කිකව උච්චාරණය කිරීමට
ඉවහල් වන්නා වූ ඉතා අලංකාර අක්ෂර මාලාවක් සහිත භාෂාවන්
අතරින් එකකි.
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ පදනමට ඇති ඍජු සම්බන්ධය ලෙස
පවතින්නේ දිවයිනේ බහුතර ජනතාවක ගේ මවුබස වන සිංහල
භාෂාව වීම විශේෂ අවධානයට ලක් විය යුතු කරුණකි. එ සේ වූ
සිංහල භාෂා භාවිතය අධ්‍යාපන මාධ්‍යයෙන් ඉවත් කිරීමට කෙරෙන

යෝජනාව මවු බසට සමාජයේ ඇති වැදගත් ස්ථානය විනාශ
කරමින් අපේ අනාගත පරපුර ජාතියේ සංස්කෘතිය, කලාවන්,
සාහිත්‍යය, හා බුද්ධ ධර්මය ඉගෙනීමෙන් බැහැර කිරීමට පමණක්
නොව අප ශිෂ්ටාචාරයේ මුදුන් මුල් උදුරා දැමීමට හිතාමතා දරනු
ලබන ප්‍රයත්නයක් බව අපගේ නිරීක්ෂණයයි.
අප විසින් මතු කරන ලද මෙම අවදානම්කාරී ප්‍රවණතාව කෙරෙහි
සුවිශේෂී සහ කඩිනම් අවධානය යොමු කර සිංහල භාෂාව ප්‍රාථමික
අධ්‍යාපනයේ පටන් තෘතීයික මට්ටමේ අධ්‍යාපනය තෙක් සියලු
කටයුතුවල ඉගැන්වීම් කටයුතුවල භාෂා මාධ්‍යය ලෙස තව දුරටත්
පවත්වාගෙන යාම තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස
සිංහල කථාකරන සංවිධාන අතරින් කිහිපයක් වන අපි ගරුතර
මහා සංඝරත්නයෙන්, ජනාධිපතිවරයා, අගමැතිවරයා,
අමාත්‍යමණ්ඩලය, විපක්ෂ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීන් සහ
සියලු දේශපාලන හා සමාජ සංවිධානවලින් ඉතා අවධාරණයෙන්
ඉල්ලා සිටිමු.
අත්සන් කළේ –
ශ්‍රී ලංකාවේ සාමය, ඒකීයත්වය හා මානව හිමිකම් සඳහා වූ
සංගමය – වික්ටෝරියා
ශ්‍රී ලංකාවේ සාමය, ඒකීයත්වය හා මානව හිමිකම් සඳහා වූ
සංගමය – නිව් සවුත් වේල්ස්
ශ්‍රී ලංකාවේ සාමය, ඒකීයත්වය හා මානව හිමිකම් සඳහා වූ
සංගමය – ක්වීන්ස්ලන්ඩ්
ඔස්ට්‍රේලියාවේ සිංහල සංස්කෘතික සංගමය
සීහලේ ලෝක උරුම පදනම – ලන්ඩන්
තවලම සංවර්ධන පදනම – කොළඹ
අරණ විහාර පදනම – කොළඹ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress