ප්‍රායෝගිකව ජීවිතයට මුහුණ දිය හැකි පුරවැසියන් බිහි කෙරෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
Posted on July 15th, 2024

Ministry of Defence  – Media Centre

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යටතේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීම මේ වනවිට දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඒ අනුව පසුගිය දා (ජුලි 13) මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගනයේදී පැවති මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවයට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සහභාගි විය.

එහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා, පාඩම් පොතට සීමා නොවී ප්‍රායෝගිකව ජීවිත ගොඩනගා ගැනීමට හුරුකරන අධ්‍යාපන ක්‍රමවේදයක් අප රටේ ක්‍රියාත්මක කල යුතු බවත්, ඒ ඔස්සේ රටට වැඩදායී පුරවැසියන් බිහිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ප්‍රකාශ කලේය. එමෙන්ම ප්‍රබල මූල්‍ය ස්ථාවරත්වයක් සහිත රටවල පවා ක්‍රියාත්මක නොවන, අප රටේ සිසු දරුවන්ට මහඟු දායාදයක් වන නිදහස් අධ්‍යාපනය තුලින් එහි උපරිම ප්‍රථිපල ලබාගැනීම අප කාගේත් වගකීම බවද අවධාරණය කලේය.

එමෙන්ම අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගනිමින්, රජය මගින් ක්‍රියාත්මක ‘කඳුකර දශකය’ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දඹුල්ල හා මාතලේ දිස්ත්‍රික්ක සඳහා ලබාදී ඇති අරමුදල් වලින් 85%කට වැඩි ප්‍රමාණයක් පාසල් වල සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් භාවිතා කෙරෙන බවද, එම සංවර්ධන ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන” යටතේ 2024 වසර සඳහා ශිෂ්‍යත්ව එක්ලක්‍ෂ දහසය දහසක් ප්‍රදානය කිරීමට නියමිතය. ඒ අනුව අ.පො.ස (උසස් පෙළ) හදාරන සිසුන් 6000කට මසකට රුපියල් 6000ක් බැගින් මාස 24ක කාලයක් දක්වා ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 824ක් වෙන් කර ඇති අතර, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය හදාරන සිසුන් 100,000කට මසකට රුපියල් 3000ක් බැගින් මාස 12ක් දක්වා ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 3600ක මුදලක් ද වෙන් කොට ඇත.

ඊට අමතරව පිරිවෙන් සහ ශීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් සහ ශීල මාතා වහන්සේලාට මෙන්ම ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 288ක් වෙන් කර ඇත. තවද, අ.පො.ස (උසස් පෙළ) සඳහා විෂයක් ලෙස තොරතුරු තාක්‍ෂණය හදාරන සිසුන් වෙනුවෙන් නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල එක්ව පිරිනමන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 720ක් වෙන් කර තිබේ. ඒ අනුව දැනට පවතින ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා පාසල් සිසුන් වෙනුවෙන් තවත් රුපියල් මිලියන 5000ක් වෙන් කෙරේ.

මේ අනුව මාතලේ දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහනෙහි පළමු අදියර යටතේ ශිෂ්‍යත්වලාභීන් 3114ක් වෙත සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානය සිදුකළ අතර, අනෙකුත් සිසු දරුවන් වෙත ඉදිරියේදී කඩිනමින් එම ශිෂ්‍යත්ව ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress