සැක කටයුතු දිවිනසාගැනීම හා ඩොලර් මිලියන 2.5ක වංචාව: කුමන්ත්‍රණ න්‍යාය, පශ්චාත් මරණ පරීක්ෂණ හා මහජන අවිශ්වාසය
Posted on May 9th, 2026
(සේන තෝරදෙනිය විසින් “Alleged Suicide and the $ 2.5 Million Scam: Conspiracies, Autopsies and Public Distrust” නමින් ඉංගිරිසියෙන් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය: පරිවර්තනය ශ්‍රීමත් පුංචිහේවා විසිනි.)
හැඳින්වීම
ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක සයිබර් වංචාවට සම්බන්ධ බව කියන භාණ්ඩාගාරයේ සහකාර අධ්යක්ෂවරයෙකුගේ සැක කටයුතු සියදිවි නසාගැනීම, කුමන්ත්‍රණ න්‍යායන්ගේ කුණාටුවක හඹා යාමක් ඇතිකොට තිබේ. සති දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම න්‍යායන් මහජන කක්ෂයේ පුළුල්ව සංසරණය වෙමින්, සමාජ මාධ්‍ය මගින් දිනපතා උළුප්පා දක්වමින් සහ විපක්ෂ දේශපාලන පක්ෂවල විවේචන මගින් තහවුරු කරමින් පවතී.
පාලක පක්ෂයේ බලපුළුවන්කාරයින් විසින් තමාගේ ස්ව-කැමැත්තට තෝරා පත්කර ගත් බව කියන ප්‍රාදේශීය අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO) සිව් දෙනෙකු විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණය හෝ අධිකරණ පශ්චාත් මරණ පරීක්ෂණය, සැකය තවදුරටත් තීව්ර කර ඇත. විපක්ෂ දේශපාලනඥයින් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා කරන්නේ මෙම JMO වරුන් සිව් දෙනාම එක්කෝ ජවිපෙ ක්‍රියාධරයන් (cadres) හෝ NPP අනුගාමිකයන් (sympathizers) බවයි. මණ්ඩලයේ සාමාජිකයින් පැය 24 ක් ඇතුළත තම වාර්තාව ඉදිරිපත් කළේ, තමන්ට බුද්ධිය ප්රදානය කළ ගණ දෙවියන්ගේ දිව්‍යමය ප්‍රඥාවෙන් (ගණදෙවි නුවණින්) මඟ පෙන්වනු ලැබූ නිසා විය යුතුය.
වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් තම දේශපාලන ස්වාමිවරුන් සතුටු කිරීමට කතාවක් වියා ඇත්තේ, ග්‍රීක මිථ්‍යාවේ එන පරිදි රෙදි විවීමේ තරගයක් විනිශ්චය කළ දේවතාවිය වන ඇතීනා ගේ දරුවන් මෙනි. ඔවුන්ගේ සුදුසුකම්, පුහුණුව සහ අත්දැකීම් සම්බන්ධයෙන් බරපතල සැකයන් මතු වී ඇත. සැකයන් සංසිඳුවනවා වෙනුවට, ඔවුන්ගේ නිගමන ගින්නට ගිතෙල් දැමීමක් හා සමාන වී ඇත. මරණකරුගේ තුවාල, මරණකරු විසින්ම සිදුකරගත්, ස්වයං-සිද්ධ ඒවා බවත්, මරණයට හේතුව සියදිවි නසාගැනීම බවත් ඔවුන් නිගමනය කොට ඇත. එය වෝහාරික (අධිකරණ) වෛද්‍ය විද්‍යාවේ මූලික මූලධර්ම උල්ලංඝනය කරන බව පවසමින්, බහුතරයක් ජනතාව එම කතාව මුළුමණින්ම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම පසුබිම මධ්‍යයේ, නීතිඥ, හිටපු යහපාලනවාදියෙකු, ජනාධිපති සිරිසේන ගේ සම්බන්ධීකරණ නිලධාරි මෙන්ම, මෙරට අපකීර්තියට පත් ජර්මානු බර්ගොෆ් පදනම (Berghof Foundation) වැනි රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානියෙකු හා දිනන දකුණේ” සාමාජිකයෙකු වන ශිරාල් ලක්තිලක, මාධ්‍ය හමුවකදී මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. පුවත්පත් වාර්තාවකට අනුව ඔහු තර්ක කොට ඇත්තේ, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, මරණය සියදිවි නසාගැනීමක් ලෙස ප්‍රකාශ කළද, මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් මගින්, මියගිය අයගේ මානසික තත්ත්වය සහ තත්වයන් පිළිබඳව ගැඹුරු ආලෝචනාවන්- අවබෝධයක් ලබා ගත හැකි බවයි.
ජාත්‍යන්තරව පිළිගත් අධිකරණ වෛද්‍ය විශේෂඥයින් විසින් අලුතින්ම භෞතික පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා වෙනුවට, මේ අවස්ථාවේදී මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා සිටීම සහමුලින්ම අතාර්කික වේ. එය ප්‍රායෝගික එකකට වඩා ශාස්ත්‍රීය හා මතුපිටින් විසිතුරු අංගරාග තැවරීමකි. කාටත් තේරෙන බසින් කියන්නේ නම් මළමිනියකට සැන් පවුඩර් දමන අභ්‍යාසයකි. පවතින දේශපාලන වාතාවරණය යටතේ මෙය , අවධානය න්‍යායාත්මකව වෙනතකට යොමු කිරීමේ උපක්‍රමයක් ලෙස – ආණ්ඩුව මත එල්ල වන විපක්ෂයේ පීඩනය හරවා යැවීමේ උත්සාහයක් ලෙස – මෙම ලේඛකයා දකී. ශ්‍රී ලංකාවට භෞතික පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය විශේෂඥ දැනුමක් නොමැති නම්, ඔහු විදේශයන්ගෙන් විශේෂඥයින්ට ආරාධනා කරන ලෙස යෝජනා කළ යුතුය.
මගේ මතය අනුව, මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයා, මුදල් ලේකම්, මහ බැංකු අධිපති සහ අනෙකුත් බලධාරීන්ට එරෙහිව නොනවතින අරගලයක් දිගටම කරගෙන යන, මෙම වංචාව මුලින්ම හෙළි කළ Free Lawyers ” සංවිධානයට හිමිවන ගව්රවය ඔවුන්ගෙන් උදුරාගෙන එය තමන් වෙතට ඇද ගැනීමේ – ඔවුන්ගේ ජයග්‍රහණ දියාරු කිරීමේ – උත්සාහයක් මිස අන් කිසිවක් නොවේ. මෙය, මෙම යෝජනාවේ පවත්නා අවස්ථාවාදය සහ Free Lawyers” සංවිධානයේ ප්‍රතිපත්තිගරුක ස්ථාවරය අතර වෙනස වැඩිමනත්ව හඬ නඟා කියයි.
මෙම තත්වය තුළ, ක්‍රියාවට නැංවිය නොහැකි න්‍යාය විකුණන වෙළෙන්දන් සමඟ එක්ව සිටිනවාට වඩා යක්ෂයා සමඟ වුවද කඳවුරු බැඳීමට අප සූදානම් බව පාඨකයින්ට මතක් කර දෙනු කැමැත්තෙමු.
එහෙත් මහජනතාවගෙන් බොහෝ දෙනෙක් මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණය යන සංකල්පය පිළිබඳවම කිසිවක් නොදනිති. අපගේ සගයින්, මිතුරන් සහ පාඨකයින් බොහොමයක් අපෙන් එහි තේරුම පැහැදිලි කරන මෙන් ඉල්ලා ඇත. ඊට පෙර මම මෙසේ විශද කරමි: මම නීතිඥයෙක් හෝ වෛද්‍ය වෘත්තිකයෙක් හෝ මනෝ විශ්ලේෂකයෙක් හෝ නොවෙමි. අඩු තරමින්සියදිවි නසාගැනීම් වැළැක්වීමේ අත්දැකීම් ඇති සමාජ සේවකයෙක්හෝ නොවෙමි. මෙහි මගේ සිතාබැලීම් පදනම් වී ඇත්තේ, මා උකහාගෙන ඇති පොදු දැනුම, මගේ සාමාන්‍ය ලේඛන ක්ෂේත්රයෙන් ඔබ්බට ගිය තර්කනය මතය. වඩාත් විද්‍යාත්මක පර්යාවලෝකනයක් ලබා ගැනීමට, මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයේ න්‍යායාත්මක අංශ ගැන ආලෝචනා ලබා ගැනීමට සහ එහි ක්‍රමවේදය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මම AI උපදෙස් පැතුවෙමි. මා එමගින් සොයා ගත්තේ එම ක්‍රමවේදයන් සමාජ විද්‍යා පර්යේෂණවලදී යොදා ගන්නා ඒවාට බොහෝ දුරට සමාන වන බවයි. එය මට හුරුපුරුදු විෂයපථයක් පමණක් නොව, පර්යේෂණ ක්‍රමවේදය ඉගැන්වීමේ හා පර්යේෂණ අධ්‍යයනවල ප්‍රායෝගික අත්දැකීම් ලබා ගත් ක්ෂේත්රයකි.
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු කුමක්ද?
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු, මරණයට පෙර මියගිය පුද්ගලයෙකුගේ මානසික තත්ත්වය, චර්යාවන් සහ තත්වයන් ප්‍රතිනිර්මාණය කිරීමට භාවිතා කරන පශ්චාත් මරණ පරීක්ෂණ ක්රමයකි. එය බොහෝ විට භාවිතා කරනු ලබන්නේ මරණයට හේතුව අවිනිශ්චිත අවස්ථාවලදී, සාමාන්‍යයෙන් මරණය සියදිවි නසාගැනීමක්ද, අනතුරක්ද හෝ වෙනත් ආකාරයක එකක්ද යන්න පැහැදිලි කර ගැනීමට හෝ මරණය සියදිවි නසාගැනීමක් යයි සැක කළත්, නිශ්චිතව තහවුරු කර නොගත් අවස්ථාවලදී ය. යෙදුමෙන් ගම්‍ය වන පරිදි එය ශරීරයේ භෞතික පරීක්ෂණයක් නොවේ. එය, පුද්ගලයා මියගිය පසුව, වාර්තා වලින් සහ ඥාතීන් හා මිතුරන්, සහ මා එයට එකතු කරන, ආයතනයේ එකට සේවය කළ සගයන්, ඔහුගේ යටත් නිලධාරීන් සහ ඉහළ නිලධාරීන් හෝ තරමක් සංකීර්ණ අවස්ථාවලදී පිටස්තර පාර්ශ්වකරුවන් සමඟ කරන සම්මුඛ සාකච්ඡා වලින් තොරතුරු රැස් කිරීමෙන් සිදු කරනු ලැබේ. එබැවින්, එය වෛද්‍ය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තීරණාත්මක අයුරින් වෙනස් වේ.
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක අරමුණ වන්නේ මියගිය අයගේ මනෝවිද්‍යාත්මක පැතිකඩ ප්‍රතිනිර්මාණය කිරීමයි; මරණය සිදුවූයේ ඇයිද යන්න පිළිබඳව ආලෝචනා ලබා දීමයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේදී මෙම සංකල්පය බොහෝ දුරට නුහුරු නුපුරුදු එකක් වේ. එය මතභේදාත්මක වූ භෞතික පශ්චාත් මරණ පරීක්ෂණයකට විකල්පයක් නොවේ –එමගින් අධිකරණ වෛද්‍ය විද්‍යාව විතර්කණයට – විවාදයට – ලක් කළ නොහැක. එහි විෂය පථය, ක්‍රමවේදය, වාසි ප්‍රයෝජන හෝ සීමාවන් පිළිබඳව මහජනතාවට කිසිදු දැනුමක් නැත. මරණයේ මානව සහ මනෝවිද්‍යාත්මක මානයන් ආමන්ත්‍රණය කිරීමෙන් එයට කළ හැක්කේ භෞතික පශ්චාත් මරණ පරීක්ෂණයකට අනුපූරක වීම පමණි.
සියදිවි නසාගැනීම් විමර්ශනය කිරීම (2008) හැරෙන්නට, ශ්‍රී ලංකාවේ මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ අධ්‍යයනයන් සිදු කර ඇති බවට වාර්තා වී නොමැත. ඉහත සඳහන් කළ අධ්‍යයනයෙන් නිගමනය වූයේ මත්පැන් අනිසි ලෙස භාවිතය සහ ගෘහස්ථ හිංසනය සියදිවි නසාගැනීම් සඳහා දායක වූ ප්‍රධාන සාධක බවයි. එහෙත් දස දහස් ගණනින් දිවිනසා ගනිද්දී විසි තිස් ගණනක නියැඳියක් ලබාදෙන නිගමන සත්‍යයට බොහෝ ඈතය.
ශ්‍රී ලංකාවේ දියේ ගිලී මියයන මරණවල රටාවන් සහ තත්වයන් පරීක්ෂා කිරීමට තම පර්යේෂණ කැප කළ වෛද්‍යවරයෙකු ගැන මෙම ලේඛකයාට මතකය.
මෙම ලේඛකයා ඔහුගේ සම්මානීය නවකතාව වන බණ්ඩාර මැරූ උන්” (2014) ලියන විට, මෙම දියේ ගිලීමේ රටා අධ්‍යයනය කළේය. එම නවකතාවේ කතානායකයා– ජාත්‍යන්තරව කීර්තිමත් චිත්‍ර ශිල්පියෙක් – මහවැලි ගඟේ අබිරහස් ලෙස ගිලී මිය යයි. දියේ ගිලී මියයන මරණ පිළිබඳ පර්යේෂකයෙකුද වන, පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන අධිකරණ වෛද්‍ය නිලධාරියා, කලාකරුවා විසින් ලියන ලද, දැනට සොයාගත නොහැකි නවකතාවක පිටපතක් සොයා ගැනීමට අභීත උත්සාහයක් දරයි. ඔහුගේ සෙවීම සාර්ථක වන්නේ චිත්‍ර ශිල්පියාට එම කෘතියේ දෙවන කොටස සම්පූර්ණ කිරීමට අනුප්‍රාණය ලබා දුන් තිමිර කුළඟන හෙවත් අබිරහසක් වූ Dark Lady ගේ ආධාරයෙනි.
මෙම සෙවීම මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයකට සමාන වේද, එය අධිකරණ වෛද්‍ය විමර්ශනයක්ද, නැතහොත් සාහිත්‍යමය ප්‍රතිනිර්මාණයක්ද, නැතහොත් කලාත්මක ස්මෘතියේ ප්රතිසාධනයක්ද යන්න අවිනිශ්චිතය.
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක සොයාගැනීම් සහ නිගමන, වෙනත් ඕනෑම සමාජ විද්‍යා පර්යේෂණයක ඒවා මෙන්, පහසුවෙන් ප්‍රතික්ෂේප කළ හැකිය. එය මූලාශ්රවල පවත්නා විශ්වසනීයත්වයේ අඩුව, භාවිතා කරන ක්‍රමවේද, වාර්තාකරණය ආදිය නිසා සිදුවන්නකි. සම්මුඛ සාකච්ඡාවට ලක්වන්නන් සිදුවූ සිදුවීම් අමතක කිරීම හෝ ඒවා වැරදි ලෙස අර්ථකථනය කිරීම, සංවේදී තොරතුරු හෙළි නොකිරීම සිදුවිය හැකිය.
විශේෂඥයෙකු නොවන අයෙකු විසින් මතු කරන මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් වටා ඇති මූලික ප්‍රශ්න
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාව පිළිතුරු වලට වඩා ප්‍රශ්න මතු කරයි. එවැන්නක් බැරෑරුම් ලෙස ආරම්භ කිරීමට පෙර, මූලික කරුණු කිහිපයක් විසඳා ගත යුතුය:
1. කවුරුන් විසින් එය කරනු ලබන්නේද? යෝජිත විමර්ශකයින්ට අධිකරණ මනෝවිද්‍යාව සහ මනෝචිකිත්සාව පිළිබඳ අවශ්‍ය සුදුසුකම්, විශේෂඥ දැනුම සහ අත්දැකීම් තිබේද?
2. බලධාරීන් එයට අවසර දෙනු ඇත්ද? ජනාධිපති, මුදල් අමාත්‍ය, මුදල් ලේකම් සහ ඉහළම නිලතලවල සිටින අනෙක් අයගේ මැදිහත් වීමකින් තොරව එවැනි විමර්ශනයක් ඉදිරියට ගෙන යාමට ඉඩ දෙනු ඇත්ද?
3. සාක්ෂි වෙත ප්‍රවේශය: සේවා ස්ථානයේ සගයන්, යටත් නිලධාරීන් සහ ඉහළ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට, දිනපොත්, ලිපි සහ ඩිජිටල් සන්නිවේදන පරීක්ෂා කිරීමට සහ මියගිය අයගේ මනෝවිද්‍යාත්මක පැතිකඩ ප්‍රතිනිර්මාණය කිරීමට විමර්ශකයින්ට අවසර දෙනු ඇත්ද?
4. කාල රාමුව: එවැනි විමර්ශනයකට කොපමණ කාලයක් ගතවේද; එය හදිසියෙන්කළ හැකි දෙයක්ද?
5. වාර්තා කිරීම: සොයාගැනීම් ඉදිරිපත් කරනු ලබන්නේ කාටද – පාර්ලිමේන්තුවට, අධිකරණයට, නැතහොත් මහජනතාවට?
6. බලපෑම: ප්‍රතිඵලය කුමක් වේද? එය දැනටමත් පවත්වා ඇති භෞතික පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමනවලට අභියෝග කරයිද?
7. විකල්ප නිගමනවලට ඇති හැකියාව: මරණය සියදිවි නසාගැනීමක් නොව මිනීමැරුමක් බව එයින් තහවුරු කළ හැකිද? එසේ නම්, වැරදිකරුවන් කවුරුන්ද, ඔවුන් හඳුනාගෙන යුක්තිය ඉදිරියට ගෙන එන්නේ කෙසේද?
මෙම ප්‍රශ්න, දේශපාලනිකව කැළඹුණු පරිසරයකට මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් හඳුන්වාදීම කොතරම් සංකීර්ණද යන්න පෙන්වා දෙයි. මේ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු නොමැතිව, කරනු ලබන මෙබඳු අභ්‍යාසයක්, සත්‍යය සෙවීමේ විශ්වසනීය මාවතක් වෙනුවට අවධානය වෙනතකට යොමු කිරීමක් වීමේ අවදානමක් සහිත එකක් වනු නොඅනුමානය.
උපකල්පන සහ සීමාවන්
හුදු තර්කය උදෙසා, මෙම පරීක්ෂණයට, මියගිය අයගේ පවුල පූර්ණ සහයෝගය ලබා දෙතැයි උපකල්පනය කරමු: සමීපතම ඥාතීන් සහ මිතුරන් සම්මුඛ පරීක්ෂණය කිරීමට විමර්ශකයින්ට ඉඩ දීම, ඔහුගේ වෛද්‍ය වාර්තා, මානසික රෝග, ගත් ඖෂධ, සියදිවි නසාගැනීමේ සටහන්, දිනපොත්, ලිපි හා සමාජ මාධ්‍ය අන්තර්ගතයට ප්‍රවේශය ලබා දීම සහ ඔහු කවදා හෝ සියදිවි නසාගැනීමේ ප්රවණතා ප්‍රදර්ශනය කළේද යන්න හෙළි කිරීම. ඔහුගේ චර්යා රටා, ගති ස්වභාවය, චිත්තවේගීය තත්ත්වය, ආකල්ප, සංජානනය, ආගමිකත්වය, චාරිත්‍රානුකූල පුරුදු, සබඳතා, ගැටුම්, ආතතික තත්වයන්, හානිකර උපකරණ භාවිතයට වූ නැමියාව හෝ කලින් සියදිවි නසාගැනීමේ උත්සාහයන් පිළිබඳ විස්තර ඔවුන් හෙළි කරනු ඇතැයි සිතමු.
මියගිය තැනැත්තා බුලත් වගාවක් පවත්වාගෙන ගිය බව (අමතර ආදායමක් මෙන්ම විනෝදාංශයක්, පැල සාත්තු කිරීම); පසුදා දළදා මාලිගාවට යාමට සැලසුම් කර සිටි බව, කැපවූ සැමියෙකු සහ පියෙකු බව දැනටමත් හෙළි වී ඇත.
ඥාතීන් සහ මිතුරන් හිතාමතා හෝ නොදැනුවත්ව සිදුවීම් අමතක කිරීමට හෝ වැරදි ලෙස අර්ථකථනය කිරීමට ඉඩ ඇත.මියගිය අය පිළිබඳ සංවේදී තොරතුරු හෙළි නොකරනු ඇත.
එහෙත් තීරණාත්මක බාධකය වෙනත් තැනක පවතී. ආණ්ඩුව එවැනි සහයෝගීතාවයකට ඉඩ නොදිය හැකිය. එයට හාත්පසින්ම විරුද්ධව, පවුලට පෙළඹවීම් කළ හැකිය – බිරිඳට උසස්වීමක්, දරුවන්ට විදේශ අධ්‍යාපනයක් හෝ මුළු පවුලම විදේශගත කිරීමට පොරොන්දු වීම. එවැනි උපක්‍රම මගින් පවුල ස්ථිර ලෙසින්ම නිහඬ කරවනු ඇත; මියගිය අයගේ මනෝවිද්‍යාත්මක පැතිකඩ ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය සාක්ෂි වෙත ප්‍රවේශ වීමෙන් විමර්ශකයින් වළක්වනු ඇත.
අධිකරණ පිළිගැනීම සහ ඇතිවිය හැකි ප්‍රතිවිපාක
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුවද, තවත් තීරණාත්මක ප්‍රශ්නයක් පැන නගී: අධිකරණය එවැනි වාර්තාවක් විශ්වසනීය සාක්ෂියක් ලෙස පිළිගනීවිද? එහි ක්‍රමවේදය නීතිමය ප්රමිතීන් සපුරාලන්නේද සහ එය දැනටමත් සිදු කර ඇති භෞතික පශ්චාත් මරණ පරීක්ෂණය සමඟ හෝ ඊට පටහැනිව පවතීද යන්න අධිකරණය විසින් තීරණය කළ යුතුය.
මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයෙන් මරණය සියදිවි නසාගැනීමක් නොව මිනීමැරුමක් බව යෝජනා කරන්නේ නම්, ඇඟවුම් බරපතල වනු ඇත. එවිට අධිකරණයට සිද්ධිය මිනීමැරුමක් ලෙස සැලකීමට බල කෙරෙනු ඇත. මෙය පහත සඳහන් ප්‍රතික්‍රියාවන් ජනනය කරනු ඇත:
1. මරණය සිදුවූ ආකාරය පිළිබඳ විමර්ශන නැවත විවෘත කිරීම.
2. සාක්ෂිකරුවන් කැඳවීම සහ සේවා ස්ථානයේ සගයන්, පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන්ගෙන් සාක්ෂි විමසීම.
3. චර්යාත්මක සහ පරිවේෂන සාක්ෂි මත පදනම්ව සැකකරුවන් හඳුනා ගැනීම.
4. චූදිතයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම, කුමන්ත්‍රණය කිරීමේ සිට මිනීමැරුම දක්වා චෝදනා සමඟ.
කෙටියෙන් කිවහොත්, එවැනි වාර්තාවක් පිළිගැනීමෙන් නිල ආඛ්‍යානය උඩුයටිකුරු කොට පෙරළා දැමිය හැකි අතර, ආණ්ඩුවේ ස්ථාවරයට අභියෝග කළ හැකි වේ. වැරදිකරුවන් හෙළිදරව් කරන යුක්තිය ඉටු කිරීම අරමුණු කරගත් නීතිමය ක්‍රියාවලියක් එමගින් ආරම්භ කළ හැකිය.
අධිකරණ ක්‍රියාමාර්ගයක ඇති නොහැකියාව
එහෙත් ශ්‍රී ලංකාවේදී එවැනි ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වීම අතිශයින්ම අභව්‍ය එකක් වේ. ආණ්ඩුවේ උපාංග ලෙස ක්‍රියාත්මක වන පොලිසියේ සහ CIDයේ හැසිරීම, අධිකරණයට අතපෙවීම සහ යටපත් කිරීමේ හා නිහඬ කිරීමේ උපක්‍රම ලෙස උසස්වීම් ලබාදීම, රාජ්‍ය තාන්ත්‍රික තනතුරු ප්රදානය හා වෙනත් පෙළඹවීම් හා යටපත් කිරීම් මඟින්, සැබෑ වගවීම දුරස්ථ කරවයි. මෑතකදී අවසන් වූ මැයි දින රැලිවලදී ජනාධිපති සහ ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයින් විසින් කෑගැසූ වාගාලංකාරයෙන් වාතාවරණය තවදුරටත් කැළඹී ඇත. එය විනිවිදභාවයට ඇති කැපවීමට වඩා කෝපය පිටකිරීමක් වීය.
මැයි දින රැලිවලදී සහ අවමංගල්‍යයේදී වූ නිහඬතාව
වඩාත්ම කැපී පෙනෙන්නේ නිහඬතාවයි. මැයි දින රැලිවලදී, එකදු කථිකයෙක්වත් භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන සඳහන් කළේ නැත; ශෝකයට පත් ඔහුගේ පවුලට ශෝකය පළ කළේ නැත. මියගිය තැනැත්තා දැඩි ජවිපෙ/මාලිමා ආධාරකරුවෙකු ලෙස සැලකෙන බව පසුව අනාවරණය විය. එහෙත්, මෙසේ තිබියදීත්, පාලක පක්ෂයේ කිසිදු නියෝජිතයෙක්, ප්‍රාදේශීය දේශපාලනඥයෙක් පවා අවමංගල්‍යයට සහභාගි නොවීය. වචනවලට වඩා හඬ නඟා කතා කළේ නොපැමිණීමයි, එය මේ සිද්ධිය වටා ඇති දේශපාලන අපහසුතාව සහ පාලක පක්ෂය ඔවුන්ගෙන් එකෙකු හා බද්ධ නොවී හිතාමතාම දුරස් වීම යන දෙකම අවධාරණය කරයි. සෞඛ්‍ය සේවා අද්යක්ෂක විසින් මහේස්ත්රාත්වරයාට යවන ලද ලිපියෙන් මිය ගිය නිලධාරියාගේ බිරිඳගේ ඉල්ලීම තහවුරු කළද, මියගිය අයගේ බිරිඳ සැකය මත පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලා ඇති බව පාලක පක්ෂයේ අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී තරයේ ප්‍රතික්ෂේප කළහ.
නිගමනය: වත්මන් වාතාවරණය තුළ සත්‍යය සෙවීමේ නොහැකියාව
මෙම නිහඬතාව, භාෂණයේ නිදහස යටපත් කිරීමට, බිය ගැන්වීමට, විපක්ෂ දේශපාලනඥයින්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට තර්ජනය කිරීමට, CID විමර්ශන කිරීමට යන ආණ්ඩුවේ ප්‍රවණතාව සමඟ ඒකාබද්ධ වූ විට, සැබෑ මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක අපේක්ෂාව විගඩමක් බවට පත් වෙයි. වර්තමාන සන්දර්භය තුළ, සත්‍යය සෙවීම දේශපාලන වාසිය මගින් යටපත් කෙරේ. මහජන මතය සහ නිල ආඛ්‍යාන අතර විශාල පරතරයක් ඇත. එය නුදුරු අනාගතයේදී ඒකාධිපති පාලනයක් පිළිබඳ සැකයන් මතු කරයි. විරුද්ධවාදීන් සිරගත කිරීම, දැඩි මතධාරීන්ට මරණය උරුම වනු නිසැකය.
සාරාංශයක් ලෙස, මෙම යෝජනාව වත්මන් තත්වයන් යටතේ ප්‍රායෝගික එකකට වඩා පණ්ඩිතමානී එකක් වේ. අප මෙම ලිපිය මගින් සාකච්ඡා කළ දේ ගැන අංශුමාත්‍රයක හෝ වැටහීමක් තිබුණේ නම් එවැන්නක් යෝජනා නොවනු ඇත.
ජවිපෙ/NPP ප්රමුඛ දකුණ දැනටමත් බලයේ සිංහාසනාරූඪ වී ඇත, (දකුණ දැනටම දිනා ඇත”). තවත් දකුණකට වර්තමාන සන්දර්භය තුළ බලය අල්ලා ගැනීමට හෝ පැහැර ගැනීමට නොහැකිය. මෙම යථාර්ථය නොසලකා හැරීම දේශපාලන භූ දර්ශනය සම්පූර්ණයෙන්ම වැරදි ලෙස කියවීමකි.