තොටළඟ මාටියාගේ කරණම් පාර්ලිමේන්තුවට
Posted on May 11th, 2018

බන්ධුල ගුණරත්න උපුටාගැණීම  මව්බිම

මෙරට දේශපාලන ඉතිහාසයේ මහත්මා දේශපාලනයේ නිරත වූ අතළොස්ස අතරට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ද ඇතුළත් වෙයි. 1905 ජුනි 6 වැනිදා ඔහු උපන්නේ ග්‍රෑන්ඩ්පාස්හි නිවෙසකය. ඔහුගේ පියා නායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා විය. ඔහු විවාහ වූයේ විද්‍යාලංකාර පරිවේණාධිපති අතිපූජ්‍ය ලුණුපොකුණේ ධම්මානන්ද මාහිමියන්ගේ සොහොයුරියක සමඟය.

මේ යුවළගේ සිවුවැනි දරුවා වූයේ නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා නොහොත් ඇන්.ඇම්. පෙරේරාය. පසු කලෙක විපක්‍ෂ නායකවරයකු, මුදල් ඇමැතිවරයකු වූ මේ කෘතහස්ත දේශපාලනඥයා මෙරට නිපදවූ ප්‍රථම සිංහල චිත්‍රපටයේ ප්‍රධාන නළුවාද වූයේය.

ඇන්.ඇම්. මුලින්ම අයවැය ලේඛනයක් සකසා ඇත්තේ කුඩා අවධියේදීය. ළමා කල සිටම අරපරිස්සමට අවධානය යොමු කළ ඔහුගේ පැරැණි දින පොතක මෙසේ සටහන් කර තිබේ.

“අයියා දීපු ශත දහයෙන් ශත දෙකක කඩල කෑවා. ශත දෙකකට පැන්සලක් ගත්තා. හිඟන්නකුට සතයක් දුන්නා. සතයකට මකන කෑල්ලක් ගත්තා. සත තුනක තේ බිව්වා. තව සතයක් ඉතුරුයි.”

කුඩා වියේදී එලෙස සටහන් තැබූ අයකු පසුකලෙක මෙරට මුදල් ඇමැතිවරයා වී පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කරන්නට සිදුවෙතැයි එදා කවුරුවත් නොසිතන්නට ඇත.
1934දී රට පුරා ව්‍යාප්ත වූ මැලේරියා වසංගතයේදී කෑගල්ලේ දිළිඳු ජනතාවට පරිප්පු බෙදා දෙමින් ජනතා සේවයට එක් වූ ඇන්.ඇම්. 1935දී ඇරඹූ සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයකු විය.

රුවන්වැල්ල අසුනින් පාර්ලිමේන්තුවට පැමිණ සිටි ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි මහත්මිය ඡන්දයෙන් පරදවා දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්ව ආ ඇන්.ඇම්.ට සමසමාජයේ අනෙකුත් නායකයන් සමඟ 1940දී සිරගත වීමට සිදුවිය. සිරගෙයින් පැනගත් ඇන්.ඇම්. ඉන්දියාවට ගිය ද වසරකට පසු ඔහු පොලිසියට හසු විය. ලංකාවට එවූ පසු ඔහුට දෙවසරක කාලයක් බදුල්ලේ බන්ධනාගාර ගතව සිටින්නට සිදුවිය.

1947දී පැවැති මහ මැතිවරණයෙන් විපක්‍ෂ නායක ධුරයට පත් ඇන්.ඇම්. 1954දී කොළඹ පුරපති තනතුරට පත් විය. යළිත් 1956 – 1960 අතර කාලයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ විපක්‍ෂ නායක ධුරයට පත් විය. 1964-65 සහ 1970-75 අතර කාලයේදී මෙරට මුදල් ඇමැතිවරයා වූයේ ද ඔහුය.

ඔහු සමඟි පෙරමුණ රජයේ මුදල් ඇමැතිවරයාව සිටියදී 1972 දී එවකට විපක්‍ෂයේ සිටි එ.ජා.ප.යේ නිල පුවත්පත වූයේ “සියරට” පත්‍රයයි. ඇන්.ඇම්. අය වැය ඉදිරිපත් කිරීමට නියමිත දිනට පෙර දින “සියරට” පත්‍රයේ සිරස්තලය වූයේ “තොටළඟ මාටියගේ කරණම් හෙට පාර්ලිමේන්තුවට” යන්නයි.

ඇන්.ඇම්. පසුදින අය වැය ඉදිරිපත් කරන්නට පාර්ලිමේන්තුවට ආවේ වම් අතින් අයවැය සඳහන් බී්‍රෆ්කේසයත්, දකුණු කිහිල්ලේ “සියරට” පත්‍රයත් ගසාගෙනය.
අයවැය කතාව කරන්නට කලින් පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ කීවේය.

“මගේ පියා ගැන “තොටළඟ” කවුරුත් දන්නවා. විශේෂයෙන්ම “අබරන්” කීවාම කවුරුත් හඳුනනවා. මගේ තාත්තා පොඩි මිනිහෙක්. මං ඉපදුණේ පුංචි ගෙදරක. තාත්තා පරණ තාලේ කෙනෙක්. ඔහු මැරෙන තුරුම කොණ්ඩෙ බැන්දා. බොහොම අමාරුවෙන් තමයි ඔහු දියුණු වෙන්න උත්සාහ කළේ. ඔහු සම සමාජවාදියකුත් නොවෙයි. ඉතින් මං ඔය විදිහේ දුප්පත් පවුලකින් පැවතගෙන එන කෙනෙක්. ඒ නිසා “තොටළඟ මාටින්” කියලා මාව හඳුන්වන එක මට මදිපුංචිකමක් නොවෙයි. මං රිදී හැන්දක් කටේ ගහගෙන ඉපදුණු කෙනෙක් නොවෙයි. ඒත් තමුන්නාන්සේලාගේ නායකයා, මේ සභාවේ ඉන්න දැදිගම මන්ත්‍රිතුමාත් ඩඩ්ලි සේනානායක මමත් ඉගෙන ගත්තේ එංගලන්තේ එකම විශ්වවිද්‍යාලේ. එතුමා පෝලෝ සෙල්ලමෙන් සමත් වුණා.

මං පී.එච්.ඩී. විභාගයෙන් සමත් වුණා. අපි දෙන්නගේ වෙනස ඒකයි.”
ඇන්.ඇම්. පෙරේරා තම කතාව හැඟීම්බරව කරගෙන යද්දී සභාවේදී බොහෝ මන්ත්‍රිවරුන්ගේ දෙනෙත් බිමට බර විය. සභාව මඳකට නිහඬ වූ පසු එක්වරම සභා ගැබෙන් නැඟී සිටි එවකට විපක්‍ෂ නායක ඩඩ්ලි සේනානායක තම පක්‍ෂයේ සියරට පත්‍රයේ පළවූ සිරස්තලය ගැන පත්‍රය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ එදා මහත්වරුන්ගේ දේශපාලනයේ එක් අවස්ථාවකි.

මෙරට මුදල් ඇමැතිවරයාව සිටියද නිවෙසක් නොමැති නිසා ඔහු බොරැල්ල කොටා පාරේ කුඩා නිවෙසක් ඉදිකර ගත්තේ ලංකා බැංකුවෙන් ණය මුදලක් ලබා ගෙනය. සරල චාම් දිවියක් ගෙවූ මේ කෘතහස්ත දේශපාලනඥයා 1979 අගෝස්තු 14දා දිවියෙන් සමු ගත්තේය.

 

One Response to “තොටළඟ මාටියාගේ කරණම් පාර්ලිමේන්තුවට”

  1. Christie Says:

    ඇන් ම් වැනි අය ගැන අපිට සතුටු විය හැකිද?

    මම මිනිසකු වසයෙන් ඔහුව අගය කරමි. නමුත් දෙසපලකයකු වසයෙන් ඔහුද ඉන්දියානු පරපෝසිතයන්ගේ අතකොලුවකි.

    රුවන්වැල්ල වතුකරයෙන් වට්වූ අහින්සක දුප්පත් සින්හලයන් ජීවත් වන පෙදෙසකි.

    මොලමුරේ රුවන්වැල්ල පෙදෙසට විසාල සේවයක් කලේය.

    රුවන්වැල්ල මැදි මහ විදුහල උදාහරනයකි.

    මෙම පෙදෙස්වල වතුකරය නිසා ඉඩම් අහිමිවූවන් උතුර නැගෙනහිර පදින්චි කලේය.

    ඇන් ඇම් කීවේ අලුත් සින්හල ජනපදවල මදුරුවෝ අල්ලක් තරම් ලොකුය කියාය.

    ඔහුගේ දේසපාලන දායක පවුල අද අප රටේ ඉහලම දනපති පවුලය.

    එම පවුලේ එන්ගලන්තයේ එම කාලයේ සිටි දොස්තර ඩඩ්ලිට වැරදි බෙහෙත් දී ඔහු ඉතාම අසනීප විය.

    ඇන් ඇම් සින්හලයන්ට කල එකම දෙය නම් සමාජවඩ පරිප්පු කැවීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress