ජනපතිට එරෙහිව ආණ්ඩුව යුද ප‍්‍රකාශ කරයි.. දවසක උදේ අගමැති රනිල්ට වෙන්න පුළුවන් දේ..[Video]
Posted on August 27th, 2018

 අනුරුද්ධ බණ්ඩාර රණවාරණ, මාධ්‍ය ලේකම්,ජාතික නිදහස් පෙරමුණ lanka C news

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමානිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවේදැයි ජානිපෙ නායක විමල් වීරවංශ මහතා ප්‍රශ්නකර සිටියි.

සීදුව රද්දොළුව ජනිත උත්සව ශාලාවේදී පැවැති ජනහමුවක් අමතමින් ඒ මහතා මෙසේ ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘රට වෙනුවෙන් දිවි පිදීම’

මීට වසර කිහිපයකට පෙර අපි ම්ලේච්ඡ ත්‍රස්තවාදයක ගොදුරු බවට පත්ව සිටියා. ඉන් මේ මව් පොළොව බේරා ගැනීමට දියත් වූ අවසන් සංග්‍රාමයේදී පමණක් රණවිරුවන් 27,000ක් දිවි පිදුවා. මේ සංග්‍රාමයේදී බොහෝ වීර කතා අපේ ඉතිහාසයට එක් වූවා. මේ එවැනි එක් වීරවරයකුගේ කතාවක්. අපේ හමුදා අනු ඛණ්ඩයකට සටන් බිමේ ඉදිරියට යන විට කොටින්ගේ බංකරයක් සහිත බැම්මක් හමු වෙනවා. එය කවර ලෙසකින්වත් කඩා බිඳ දමා ඉදිරියට යාමට බැරි වෙනවා. එහිදී එම අනුඛණ්ඩයේ සිටි තරුණ සොල්දාදුවෙක් කියනවා ‘මම අවිවාහකයි. අම්මා, තාත්තා මිය ගිහිල්ලා. මේ අවස්ථාවේදි මම මේ බාධකය ඉවත් කරන්නම්. රට වෙනුවෙන් මට ඒ යුතුකම ඉටු කරන්න ඉඩ දෙන්න’ කියලා. ඔහු තමන්ගේ ඉහළ නිලධාරින්ට එහෙම කියලා ඔවුන් දැනුම්වත් කරලා මරාගෙන මැරෙන ක්‍රියාන්විතයකට සූදානම් වෙනවා. අවසානයේ ඒ විරුවා ඒ බාධකය බිඳ හෙළනවා.

‘මේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් ගලවාගත යුතුයි’ කියන අධිෂ්ඨානයයි ඒ විරුවා තුළ තිබුණේ. ඔහු අද කොහේ හෝ සිට බලා සිටිනවානම් ඔහුට පෙනෙන්නේ ඔහුගේ පරිත්‍යාගය ඇඟයීමකට ලක් කළ එකක් ලෙස නොවෙයි. ඔහුට අද පෙනෙන්නේ තමන් ඇතුළු වීර වික්‍රමාන්විත සෙබළුන් දිවි පුදා මේ මව්පොළොවට ගෙන දුන් විජයග්‍රහණය ආපස්සට හරවන ජවනිකා පමණයි.

‘නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය’

අවසාන සංග්‍රාමයේදී 27,000ක් දිවි දුන්නා. තවත් 23,000ක් අතපය අහිමි කරගත්තා. ඉර පායනවා, ඉර බැස යනවා දැනෙන්නේ නැති, ඇඳේ පැත්තකට හැරෙන්නට බැරි වීර සොල්දාදුවන් දහස් ගණනක් රැකබලා ගන්නා රටකයි අපි ජීවත් වෙන්නේ. එහෙව් රට තමයි අද තීරණාත්මක සතුරු වටලෑමකට ලක් වී තිබෙන්නේ. මෙතැනින් මේ රට නොපමාව එළියට ගත යුතුයි. අගමැති රනිල් වික්‍රමසිංහ අතේ තිබෙන මේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රයෙන් මේ රාජ්‍යය එළියට ගැනීමෙන් තොරව මේ රටට ආරක්‍ෂාවක් සැලසෙන්නේ නැහැ.

‘ලෝක ඉතිහාසයේ අරුමපුදුම පනත’

දැන් පළාත් සභා මැතිවරණය අනන්තයටම කල් දමා තිබෙනවා. පසුගිය සිකුරාදා විවාදයට ගත් ‘පළාත් සභා කොට්ඨාස සීමානිර්ණ වාර්තාව’ ලෝක ඉතිහාසයේ අරුමපුදුම පනත බව පත් වූවා. පළාත් සභා, පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාපා ඒ පනත අගයමින් කතාවකුත් කළා. පසුව ඡන්ද විමසීමේදී ඒ ඇමතිත් ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. මේ පළාත් සභා කොට්ඨාස සීමානිර්ණයට අදාළ පනත ගෙන ආවේ ජනාධිපතිවරයාගේ උවමනාවටයි. ජනාධිපතිවරයා තමයි උපදෙස් දුන්නේ ‘මුස්තාපා මේක අරන් ගිහිල්ලා සම්මතකර ගන්න’ කියලා. අන්තිමේදී අගමැති, විෂය භාර ඇමති හා ආණ්ඩුව, ජනාධිපතිගේ පනතට විරුද්ධ වෙනවා. එතකොට මේ ජනාධිපතිතුමාට තවදුරටත් මේ ආණ්ඩුවත් සමඟ ඉන්න පුළුවන් ද? එහෙම ඉන්න ගියොත් එක දවසක උදේට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා… (ඒක ඕනේ නැහැ.) එහෙම වෙන්නත් පුළුවන්.

‘ජනාධිපතිට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක්’

මේක පැහැදිලිවම ජනාධිපතිවරයාට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද? විපක්‍ෂයේ අපි ඒකට කොහොමත් විරුද්ධ වෙනවා. ඒක අපේ වැඩක්. නමුත් ආණ්ඩුවේ කට්ටිය විරුද්ධ වුණේ මොකද? එකෙන් පෙනෙනවා, ‘මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයාව ගණන් ගන්නේ නැහැ’ කියලා. මහජනයා තමන් සතු විධායක බලය මේ ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. ඔහු ඒ විධායක බලය අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය හරහා ක්‍රියාවට නඟනවා. අගමැතිවරයා අතේ තිබෙන්නෙත් ඒ විධායක බලයෙන් පංගුවක් මිසක් වෙන දෙයක් නොවෙයි. දැන් ජනාධිපතිවරයාට විරුද්ධව ඇමතිලා වැඩ කරනවා, ජනාධිපතිට විධායක බලය දීපු මහජනතාව මඤ්ඤං වෙලා ඉන්නවා.

මේ වගේ ජවුසං බලන්න තියෙන්නේ කොයි රටේ ද? මේ වැඩෙත් හරියට අර මම හැමදාම කියන ‘සාජන්ට් නල්ලතම්බිගේ මරණය’ වගේ. එදා පොලීසියේ අණ නොතකා වාහනය ධාවනය කරපු නිහාල් සිල්වා (සාජන්ට් නල්ලතම්බි) රංගන ශිල්පියාට පොලීසියෙන් වෙඩි තැබුවා. ඒ වෙඩි තැබීමෙන් ඔහු මියගියා. ඔහු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ හොඳ හිතවතෙක්. ඒ නිසා පසුව රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු ඒ මරණයේ ආදාහන කටයුතුත් රාජ්‍ය අනුග්‍රහයෙන්ම සිදු කළා. ඒ වගේ අද පනත ගෙනෙන්නෙත් ආණ්ඩුව, පරද්දන්නෙත් ආණ්ඩුව විසින්මයි. හරිනම් දැන්වත් අර දූවිලිකමින් තිබෙන ජනාධිපතිගේ කඩුව මේ අගමැතිට සහ ඇමති මණ්ඩලයට විරුද්ධව පාවිච්චි විය යුතුයි. නමුත් මෙතෙක්කල් සිදුවුණු දේවල් දිහා බලනකොට අපට එහෙම වෙයි කියා හිතන්න බැහැ.

අපට මේ පුණ්‍ය භූමිය මේ ආකාරයට විනාශ වීමට ඉඩ දී නිහඬව බලා සිටීමට බැහැ. මේ පුණ්‍ය භූමිය මේ විනාශකාරී මාවතින් එළියට ගැනීම අපේ අනුල්ලංඝනීය වගකීමක් සහ යුතුකමක්. ඒ සඳහා ඡන්දයක් එනතෙක් කල් මරමින් ඉන්න බැහැ. ජනාධිපතිවරණය තෙක් බලා සිටියොත් ආපසු හැරවීමට නොහැකි මහා විනාශයන් ගණනාවක් සිදු වී තිබේවි. ඊට මෙහා කාලයේදී අපි අපේ විරෝධය ප්‍රහාරාත්මකව පෙරට ගෙන ආ යුතුයි. ඒ හැර අන් මාවතක් අපි ඉදිරියේ නිර්මාණය වී නැහැ.

ඒ ප්‍රහාරාත්මක විරෝධයේ පළමු වෙඩි මුරය තබන්න සැප්තැම්බර් 05 වැනිදා කොළඹට පැමිණෙන ලෙස මේ මව්පොළොවට ආදරය කරන සියලු දූපුතුන්ගෙන් ඉල්ලා සිටිනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

2 Responses to “ජනපතිට එරෙහිව ආණ්ඩුව යුද ප‍්‍රකාශ කරයි.. දවසක උදේ අගමැති රනිල්ට වෙන්න පුළුවන් දේ..[Video]”

  1. aloy Says:

    Looks like a change is in the offing. Let it be a peaceful one. No need to put old wine in a new bottle.

    To my mind a tech savvy patriotic and trust person who understand SL’s culture, way of living and most importantly who knows how to deal with the outside world in a dignified manner should take over as the leader.

  2. aloy Says:

    Sorry, please read as “… trust worthy person who …”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress