ETI ගනුදෙනුවේ ඩොලර් මිලියන 17ක හිඟය හිතාමතාම සැඟවූයේ ඇයි ?
February 18th, 2019උපුටාගැණීම මව්බිම
ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීම මත සිදුවූ ඊ.ටී.අයි. ගනුදෙනුවේදී එම ගනුදෙනුව නියම කරන දිනයේම ප්‍රාග්ධන තැන්පතුවක් ලෙස තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 12ක් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයට යෙදවීමට ගනුදෙනුකාර සමාගම එකඟව තිබුණ ද ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහ බැංකු අධිපති වෙත ලිපියක් යවමින් සඳහන් කරයි.
එසේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට හේතු පැහැදිලි කළ යුත්තේ අප විසින් නොවන බව ද වීරවංශ මන්ත්‍රිවරයා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත යැවූ ලිපියෙන් යොමු කර තිබේ.
එසේම එම ලිපියට අනුව මන්ත්‍රිවරයා පවසා ඇත්තේ මේ ගනුදෙනුව දෙස බැලීමෙන් කිව හැකි වනුයේ ස්වර්ණමහල් මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් තවදුරටත් අපහසුතාවට පත් කිරීම සිදුවනු ඇති බවය.

මන්ත්‍රිවරයා මහ බැංකු අධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ අඩංගු කරුණු පහත පරිදි වේ.
2018.02.01 දාතම සහිතව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ සියලු ගනුදෙනු නතර කර එය අධීක්‍ෂණය සඳහා මහ බැංකු නිලධාරීන් පත් කළ බවය. එමෙන්ම ඒ තත්ත්වය යටතේ මහ බැංකුවේ අධීක්‍ෂණයකින් තොරව කිසිදු ගනුදෙනුවක් සිදුවිය නොහැකි බවය. එහෙත් එකී ස්ථාවරය ප්‍රසිද්ධියේම පළ කළ ශ්‍රී ලංකා මහ බැංකුව පසුව 2019.02.11 නිකුත් කරන ලද නිවේදනය මඟින් පවසන්නේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් තීන්දු තීරණ ගත් බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත්ය. ශ්‍රී ලංකා මහ බැංකුව තමන් විසින් පෙර දී දැරූ ස්ථාවරයට පසුව පිටුපාන්නේ කුමන වංචා සහගත ක්‍රියාවක් සඟවා ගනු පිණිසද?
2018.02.27 දාතම සහිතව ඊ.ඒ.පී. ආයතනය වෙනුවෙන් ජීවක එදිරිසිංහ මහතා වෙත මහ බැංකුව විසින් යොමු කර ඇති ලිපියෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට ඉහත ආයතන විකුණා දැමීම සඳහා මහ බැංකුව එකඟ බවත් ඒ පිළිබඳ මහ බැංකුවේ කිසිදු විරෝධතාවක් නොපවතින බවත්ය. එහෙත් අප හමුවේ වන ප්‍රශ්නය වනුයේ එම ආයතන සමූහයේ සම්පූර්ණ වත්කම් මුළුමනින්ම පැවරීමට නම්, මෙම ගනුදෙනුවෙන් කොටස් වශයෙන් වන විසඳුමක් මහ බැංකුව පිළිගත්තේ කුමන පදනමක් මතද යන්නය.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව එකඟ වී ඇත්තේ සුබාස්කරන් අලිරාජාගේ සමාගම ඩොලර් මිලියන 54ක මුදල වාරික දෙකකින් ගෙවා නිම කිරීමෙන් පසු සමාගම්වල පූර්ණ අයිතිය අලිරාජාගේ සමාගම වෙත ලබාදීමටය. ඒ අනුව ඊ.ඒ.පී. සිනමා ආයතනයේ හිමිකම 100%ක්ද, ස්වර්ණමහල් ස්වර්ණාභරණ ආයතනයේ හිමිකම 100%ක්ද, ඊ.ඒ.පී. මාධ්‍ය සමාගමේ 40%ක කොටස් සහ ඉතිරිය නියාමනයේ අධීක්ෂණයට යටත්ව සිදුකරන බවය. එමඟින් ශ්‍රී ලංකා මහ බැංකුව සුබාස්කරන් අලිරාජාගේ සමාගමට අවස්ථාව සලසා දී ඇත්තේ ඇමෙරිකන් ඩොලර් මිලියන 54ක් ගෙවා ඉතිරි මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 16 ගෙවීම සඳහා වසරක කාලයක් ලබාදී එය අදාළ ව්‍යාපාර වෙතින්ම උපයා ගෙවීමේ අවස්ථාව හිමිකර දීමය. එය නිවැරැදිදැයි පිළිගත හැක්කේ කෙසේද?
එමෙන්ම 2019-02-11 දාතම සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත්තේ සුබාස්කරන් අලිරාජාගේ සමාගම විසින් ඩොලර් මිලියන 16ක ඉතිරි කොටස් ගෙවනු ඇති බවය. එහෙත් එහිදී ස්වර්ණමහල් මූල්‍ය ආයතනය වෙනුවෙන් වූ ඩොලර් මිලියන 5ක මුදල සහ ඩොලර් මිලියන 12ක ප්‍රාග්ධන ආයෝජනය මහ බැංකුව විසින් හිතාමතාම සඟවාගෙන තිබේ.
මහ බැංකුව සමඟ සාකච්ඡා අවසානයේ පොරොන්දු වුවද ඩොලර් මිලියන 5ක මුදල ස්වර්ණමහල් මූල්‍ය ආයතනයට ගෙවීම සහ ඩොලර් මිලියන 12ක ප්‍රාග්ධන ආයෝජනය හිතාමතා මඟහැර සිටීමට සුබාස්කරන් අලිරාජාගේ සමාගම ක්‍රියා කර තිබේ. එය මහ බැංකුව සමඟ සුබාස්කරන් අලිරාජාගේ සමාගම ඇති කරගත් එකඟතාවයේ කොටසක් අතහැර දැමීමට එම සමාගමට ඉඩ සලසා දීමකි. එසේ වන්නට ඉඩදීම මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරනුයේ ගනුදෙනුකරුවන් මුළා කිරීම සඳහා සුබාස්කරන් අලිරාජාට අවස්ථාව සලසා දීම නොවේද?
මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ මෙරට ක්‍රියාත්මක සියලු නීතිරීතිවලට සහ අනෙකුත් රෙගුලාසිවලට පටහැනිවය. මෙහි ගැනුම්කරු විදේශීය ආයෝජකයකු වන හෙයින් ඔහුට මෙරට මාධ්‍ය බලපත්‍රයකට හිමිකම් කිව නොහැකිය. එමෙන්ම එකී සමාගමට අයත් ඉඩම් වුවද මෙරට ඉඩම් නීතිය අනුව එම විදේශීය ආයෝජකයාගේ සමාගම සතු කරගත නොහැකිය.
මෙම සියලු කරුණු සලකා බැලූ කල පෙනී යන්නේ මෙම ව්‍යාපාරික ගනුදෙනුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව එහි විශ්වසනීයභාවය පිළිබඳ වගකීම මුළුමනින්ම බිඳහෙළා ඇති බවත් ‘බෙන් හෝල්ඩින්ස්’ සහ ‘බ්ලූ සමිට් කැපිටල්’ යන සමාගම් දෙක හරහා සැබෑ ලෙසම ප්‍රතිලාභ ලබන සැඟවුණු අයිතිකරුවන් කවුදැයි සොයා බැලීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය අසමත්ව තිබෙන බවය. එමෙන්ම ස්වර්ණමහල් මූල්‍ය ආයතනයේ ඉදිරිය සඳහා වූ පිළිගත හැකි ව්‍යාපාර සැලසුමක් ඇතුළුව එම සමාගම පිළිබඳ ව්‍යාපාරික සාකච්ඡා මහ බැංකුව විසින් සිදුකර තිබෙනුයේ ඊ.ටී.අයි. ආයතනයේ හිමිකරුවන් සමඟ නොව සෘජුවම ආයෝජන සමාගම සමඟය. ඒ බව සනාථ කිරීමට අවශ්‍ය වේ නම් සියලු ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අප සතුව තිබෙන බව පමණක් මෙහිලා අවධාරණය කරමි.
මා මින් පෙරද මාධ්‍ය මඟින් අනාවරණය කර සිටියේ සුබාස්කරන් අලිරාජා යනු ත්‍රස්තවාදී අරමුදල් ව්‍යාපාරික කටයුතු සඳහා යෙදවීමේ හා මුදල් විශුද්ධිකරණය පිළිබඳ බරපතළ චෝදනාවන් සහිත වූවකුම බවය. එබඳු පුද්ගලයකුගේ මුදල් ශ්‍රී ලංකාවේ ආයතන හා දේපළ මිලදී ගැනීමට ව්‍යාජ සමාගම් හරහා ඉදිරිපත් වන විට එකී වෑයම හෙළි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරී ඇති වගකීමකි. දේශීය සමාගමක් විසින් අදාළ ආයතන ව්‍යුහය මිලදී ගැනීමට ඉදිරිපත්ව ඇති තත්ත්වයක් තුළ එයට අවස්ථාව සලසා නොදී සුබාස්කරන් අලිරාජාගේ සමාගම් වෙත අවස්ථාව සලසා දීමෙන්ම මෙම ගනුදෙනුව තුළ වන සැක කටයුතු ස්වභාවය හෙළිවීම වැළැක්විය හැකි නොවේ. එබැවින් මීට අදාළ වගකීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට හෝ එහි අධිපතිවරයා වශයෙන් ඔබටද ගැලවිය නොහැකි බව මාගේ නිගමනයයි.
මේ ගනුදෙනුව සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය පෙබරවාරි 11 වැනි දින පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ගනුදෙනුවේදී ගැනුම්කාර සමාගම මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 54ක ප්‍රමාණයක් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතන වෙත ගෙවා ඇති බවත් පමා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක මුදල මේ මස අගදී ගෙවීමට නියමිත බවත්ය.
එහිදී ගැනුම්කාර සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 21ක් ගෙවිය යුතු වුවද ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ගැන වචනයකුදු සඳහනක් එම නිවේදනයෙන් ගෙනහැර දක්වා නැත. ශ්‍රී ලංකා මහ බැංකුවට තමන් එදා සඳහන් නොකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ගැන කරුණු දැක්වීමට මතක්ව ඇත්තේ මේ පිළිබඳ පුවත්පත් වාර්තා පළවීමෙන් අනතුරුවය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි එම ගනුදෙනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ආයතනය සමඟ වන අතර ඔවුන් මැදිහත්ව ඇත්තේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් සලකා බලාය. එසේම අදාළ වත්කම් සඳහා සාධාරණ වටිනාකමක් ලබා ගැනීමේ අරමුණින්ය.
තැන්පත්කරුවන්ට සාධාරණයක් පතා එම ගනුදෙනුවට ශ්‍රී ලංකා මහ බැංකුව ඊට මැදිහත් වූවා යැයි පසුගිය 15දා නිවේදනයකින් පවසන මහ බැංකුව එම නිවේදනයේම එම ගනුදෙනුව තුළින් ගිලිහී යෑමේ අවදානමක් පවතින ආයතනයක් ගැනද සඳහන් කරයි. එය ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය වේ.
එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ලබා දීමට වත්මන් ගැනුම්කරුවාට නොහැකි වුවහොත් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය රඳවාගනු ඇති බවත් එවැනි තත්ත්වයක් යටතේ ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සලකා බලමින් සිටින බවත්ය.
අප පුවත මඟින්ද හෙළි කළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඒ වන විට මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ගැන සඳහන් නොකිරීම සම්බන්ධවත් 11දා නිවේදනයෙන් සඟවා පුවත්පත්වලින් හෙළි වූ පසු ශ්‍රී ලංකා මහ බැංකුව 15දා නිවේදනයෙන් හෙළි කළ සවර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ආයතනයට අත්විය හැකි ඉරණම සම්බන්ධවත්ය.
තැන්පත්කරුවන්ගේ දෘෂටිකෝණයෙන් බලා සාධාරණ වටිනාකමක් ලබා ගැනීමේ අරමුණින් මහ බැංකුව මීට මැදිහත්ව ඇතැයි ඔවුන් පවසන්නේ නම් මෙහිදී සිදුව ඇත්තේ තැන්පත්කරුවන්ට අදාළ ආයතන පමණක් එම ආයතන සමූහය අතුරින් අවදානමට පත්වීමට ඉඩහැර තිබීම නොවේද? එහිදී මහ බැංකුවේ මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමට මහ බැංකුව මැදිහත් වී ඇති ප්‍රමාණය ප්‍රමාණාත්මකද යන්න ගැටලුවකි.
ගනුදෙනුවට මැදිහත්වීම සාධාරණීයකරණ කරගන්නා මහ බැංකුව සිය අරමුණු ගත ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනය පමණක් ලක්වී ඇති අවදානම ගැන නිහඬවීම පුදුම සහගතය.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 11දා නිකුත් කළ නිවේදනයට අනුව ඔවුන් එම ගනුදෙනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60ට තැබූ මුල් ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75 දක්වා ඉහළ නැංවීම සඳහා මැදිහත් වූ බව කියැවේ. එසේ පවසන ශ්‍රී ලංකා මහ බැංකුවම 15දා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නියාමනයට ලක් කෙරෙන ආයතන සහ ආයෝජකයන් අතර සිදුවන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඍජු මැදිහත් වීමක් සිදු නොකරන බවයි.
එසේම මේ ගනුදෙනුව ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ආයතනය සමඟ සිදුවන්නක් බව පවසන මහ බැංකුව මෙහි මැදිහත්කරුවකු වීමට දක්වන හේතුව වන්නේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් සලකා බැලීම සහ වත්කම් සඳහා සාධාරණ වටිනාකමක් ලබා ගැනීමය.
අදාළ ගනුදෙනුවේදී වත්කම් සඳහා සාධාරණ වටිනාකම යන කරුණ සාක්ෂාත් වී ඇද්ද යන්න ඡ්ඊධ් හිමිකරුවන් දනී. නමුත් තැන්පත්කරුවන්ගේ දෘෂ්ටිකෝණය මහ බැංකුවේ දෘෂ්ටිකෝණය වූවා නම් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ලිමිටඩ් ආයතනය පමණක් අවදානමකට ලක් වේද යන්න ගැටලුවකි.
එසේම ඊ.ටී.අයි. ෆිනෑන්ස්හි අධ්‍යක්ෂ මණ්ඩලය පවසන පරිදි මේ වන විට එම සමාගම වෙත ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 54ක මුදල තැන්පතු හිමිකරුවන්ගේ මුදල් පියවීම සඳහා යොදා ඇත.
නමුත් පසුගිය 11 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව එය මූලික වශයෙන් ආයතනයේ තැන්පතුවලින් 20%ක් සඳහා භාවිත කර තිබේ.
එසේ නම් මහ බැංකුවට අනුව ඉතිරි මුදල් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 16 හෝ අනෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ද සහිතව තවත් තැන්පත්කරුවන් 80%කගේම තැන්පතු පියවිය යුතු වීම අභියෝගාත්මක නොවේද?
අප වාර්තාවල බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ලිමිටඩ් යන ආයතනය අසාදු ලේඛනගත සමාගමක් බව පවසා නැති අතර එහි කොටස් විකුණා දමා ඇති සමාගම අන්තර්ජාතික වශයෙන් අසාදු ලේඛන ගත වී ඇති බව පවසා ඇත.
එසේම ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය පවසන පරිදි මේ දක්වා ක්‍රියාත්මක සියලුම ගනුදෙනු සහ ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ නියාමනය යටතේ සිදු වී තිබේ. නමුදු ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයන්ට අනුව ඔවුන් එම ගනුදෙනුවට මැදිහත්ව ඇත්තේ තැන්පතුකරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් බලා සහ තැන්පතුකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහාය. මේ හරහා කියැවෙන්නේ ඔවුන් මේ ගනුදෙනුවට පූර්ණ වශයෙන් මැදිහත් වීමක් නොකළ බවය.
එසේම ඊ.ටී.අයි. ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය සිදු කරන තවත් ප්‍රකාශයක් නම් එම ගැනුම්කරුවන් ඊ.ටී.අයි. සමාගමේ වත්කම් මිලට ගැනීමට මිස සමස්ත සමාගම වෙනුවෙන් මිල ගණන් ඉදිරිපත් නොකළ බවයි.
ඊ.ටී.අයි. සමාගමට අදාළ සියලු වත්කම් මිලට ගත් පසු ඉතිරි වන්නේ මොනවාද යන්න එම ප්‍රකාශයට සවන් දෙන්නන්ට සහ පාඨකයන්ට ගැටලුවකි.
ශ්‍රී ලංකා මහ බැංකුව, ඊ.ටී.අයි. ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය නිකුත් කරන ප්‍රකාශ එසේ වෙද්දී අප පුවත පරිදිම තවමත් තැන්පතුකරුවන්ගේ ඉරණම අභියෝගාත්මකව පවතී.
අපි මැදිහත් වන්නේ තැන්පත්කරුවන්ගේ අයිතීන් සුරැකීමට පමණයි
ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් මිලදී ගැනීමට ඉදිරිපත් වී ඇති ගැනුම්කරුවන් විසින් ගෙවීමට ඉතිරිව ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ලබා දීමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත් ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ආයතනය රඳවා ගනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
‘ඊ.ටී.අයි. ගනුදෙනුවේ ලයිකා මොබයිල් හෙලුව එළියට’ මැයෙන් පසුගිය 13 දින ‘මව්බිම’ පුවත්පතේ පළවූ වාර්තාවක් සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයේ ඒ බව සඳහන්ය.
නියාමනයට ලක් කෙරෙන ආයතනය සහ ආයෝජකයන් අතර සිදුවන සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඍජු මැදිහත් වීමක් නොකරන බවද එමඟින් අවධාරණය කොට ඇත.
මහ බැංකුවේ මැදිහත් වීම තැපත්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පමණක් බව සඳහන් කර ඇති එම නිවේදනයෙන් කියා ඇත්තේ උක්ත ගනුදෙනුව සම්බන්ධයෙන් මැදිහත් වූයේ තැන්පත්කරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් සලකා බලා අදාළ වත්කම් සඳහා සාධාරණ වටිනාකමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පමණක් බවයි.
ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ පාලිත සමාගම් සහ ආයෝජන වත්කම් විකිණීම සම්බන්ධයෙන් වන එම ආයතන විසින් ගෙන එන ලද යෝජනාව සඳහා අදාළ වන නීති සහ රෙගුලාසිවලට යටත්ව අවශ්‍ය නියාමන අනුමැතීන් ප්‍රදානය කිරීමට මහ බැංකුවේ කාර්යභාරය සීමා වූ බවද එහි සඳහන් වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු අවස්ථාවක ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ වත්කම් මිලදී ගැනීමට කිසිදු ආයෝජකයකුට සහාය පළ නොකළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට ලක් නොවන ආයතනවල හිමිකම් පිළිබඳ ඇගයීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නීතිමය හැකියාවක් නොමැති බවත් එමඟින් ප්‍රකාශ කොට ඇත.
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් වන බැවින් ආයතනයේ අයිතිය වෙනස් කිරීමට විශේෂිත නියාමන අනුමැතියක් අවශ්‍ය බව අවධාරණය කරන මහ බැංකු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපාර යෝජනාවක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කොන්දේසි සහිත අනුමැතියක් ඒ සඳහා ප්‍රදානය කරන ලද බවකි.

Disinformation is not a new strategy in political campaigns. However, we are increasingly witnessing a very high proliferation of disinformation, rumours and fake claims such as above during elections and social upheavals around the world from the rich to the not-so-rich nations alike.

-kwk.jpg)






















