ජවිපෙ ලේ කොළ පාට ද?
Posted on May 27th, 2018

වරුණ චන්ද්‍රකීර්ති

ජනතා විමුක්ති පෙරමුණ පටන් ඇරගෙන මේ වෙද්දි අවුරුදු 53 ක් ගතවෙලා. මේ පක්‍ෂය පටන්ගන්න වෙලාවේ බලයේ හිටියේ එක්සත් ජාතික පක්‍ෂය. ඒ වෙද්දි, එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු අටකුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අවුරුදු අටකුත් අපේ රට පාලනය කරලා තිබුණා. ‍මාක්ස්වාදී අදහස් අනුගමනය කරපු පක්‍ෂවලින් වැඩි හරියකුත් ඒ වෙද්දි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ක අත්වැල් බැඳගෙන හිටියා. මාක්ස්වාදී සටන්පාඨ ජනප්‍රියවෙලා තිබුණු හින්දා දේශපාලන බල කඳවුරුවලට ලේබල් අලවලා තිබුණේ වම සහ දකුණ විදිහට. එක්සත් ජාතික පක්‍ෂය දකුණට බර ධනවාදී, අධිරාජ්‍යයගැති පක්‍ෂයක් විදිහට සැළකුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වමට බර තරමක් ප්‍රගතිශීලි පක්‍ෂයක් විදිහට සැළකුණා.

ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවාගත්තේ වමේ පක්‍ෂයක් විදිහට. අධිරාජ්‍යවාදී විරෝධී ධජ පතාකත් ඒ පක්‍ෂයේ ඉස්සරහින් ම එල්ලගෙන හිටියා. මේ පක්‍ෂයේ නායකයන්ටත් ඒ වටා එකතුවුනු පිරිසටත් උවමනා වුනේ විප්ලවයකින් රටේ බලය අල්ලගෙන සමාජවාදී පාලන ක්‍රමයක් පිහිටුවන්න. ලොව පුරා බොහෝ රටවල සිදුවුනු, සිද්දවෙමින් පැවැතුනු විප්ලව ඒ අයට ආදර්ශයක් වුනා. ඉතින් කට්ටිය ඒ සඳහා අවශ්‍ය අදහස්වලින් සහ ආයුධවලින් සන්නද්ධවෙන්න පටන්ගත්තා.

අදහස් බෙදන්න යොදාගත්තේ පංති පහ. මේ පංති පහෙන් රටේ තිබුණු ආර්ථික අර්බුදය ගැනැත්, රටට අවශ්‍ය සැබෑ නිදහස ගැනැත්, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැනැත්, ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ගැනැත්, ලාංකීය විප්ලවය ගත යුතු මග ගැනැත් කියලා දුන්නා. ඒත් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න තරම් අවි ආයුධ එකතු කරගන්නත්, සංවිධානාත්මක හමුදා හදාගන්නත් මේ අයට බැරිවුනා. ඊට පස්සේ මේ අය කරපු දේවල් ගැනැත්, ඒ අයට අත්වෙච්ච ඉරණම ගැනැත් අපි හැමෝ ම වගේ දන්නවා.

1989 ඇතිකරපු කැරැල්ලෙන් ජවිපෙ නායකත්වයත් සාමාජිකත්වයෙන් සෑහෙන පිරිසකුත් අවසන් ගමන් ගියා. ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ විප්ලව මාර්ගය අත ඇරලා තියෙන බවක් තමයි පෙනෙන්නේ. දැන් මේ පක්‍ෂය මැතිවරණවලට සහභාගීවෙනවා. ඒවා හරහා යම් ආසන ප්‍රමාණයක් පුළු පුළුවන් විදිහට දිනාගන්නවා. ජනාධිපතිවරණයට පවා කිහිප වතාවක් තරග කළා. මේ විප්ලවය පටන් ඇරගෙන මේ වෙද්දි අවුරුදු තිහකට කිට්ටුයි.

කොහොම කොහොම හරි මේ වෙද්දි ජනතා විමුක්ති පෙරමුණට අලුත් ලේබලයක් ඇලවිලා. පක්‍ෂයේ නායකයාට සමහරු දැන් කියන්නේ රතු අලි පැටියා කියලා. මේ ලේබලයෙන් කියැවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයට හිතවත්, ඒ වගේ ම අතවැසි පක්‍ෂයක් බවට පත්වෙලා ඉන්න බව. ඊයේ පෙරේදා ජනතා විමුක්ති පෙරමුණ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට භාරදුන්නේ එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් කියලා මේ විදිහට චෝදනා කරන අය කියනවා. එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ එක්තරා වෙබ් අඩවියක් මේ කාර්යය හඳුන්වලා තියෙන්නේ ඒ ඓතිහාසික ව්‍යවස්ථා සංශෝධන සටන අද සිට ආරම්භ විය..! ජවිපෙ යෝජනාව කතානායකට බාර දෙයි..!” කියලා. එයිනුත් නොනැවැතී ඒ අය කියනවා, මේ ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක වුවහොත් ජනතා විමුක්ති පෙරමුණට මෙතෙක් එල්ල වී තිබූ සියළු චෝදනාවලින් ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු අතර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුවඳ හමන කඩ ඉමක් වෙනුවෙන් කරන ලද දායකත්වය නිසාම ඔවුන්ගේ අපුල සහගත ‘විජේවීර අතීතය’ සහමුලින් අමතක කළ හැකිය; අමතක කළ යුතුය” කියලා.

එක්සත් ජාතික පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ඇතිවෙලා තියෙන මේ ඇයි-හොඳැයිය තේරුම්ගත හැක්කේ කොහොම ද? අපි මේ ගැන ටිකක් හිතමු.

මේ ලේඛකයාට වැටහෙන විදිහට අපේ රටේ දේශපාලනය දෝලනය වෙන්නේ ජාතිකවාදී සහ ලිබරල් අදහස් අතර. අහවල් පක්‍ෂය ජාතිකවාදී, අහවල් පක්‍ෂය ලිබරල් කියන සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා මේ කාරණය තේරුම්ගන්න ඕන. අපි හැමෝගේ ම ඔළුගෙඩි ඇතුළේ මේ ජාතිකවාදී – ලිබරල් කලවම තියෙනවා. අපි අතර ඉන්න සමහර අය ළඟ ජාතිකවාදී අදහස් වැඩියි. ලිබරල් අදහස්වලට ඒ අය අතර වැඩි කැමැත්තක් නෑ. තවත් පිරිසක් ඉන්නවා ලිබරල් අදහස්වලට ආදරය කරන. ඒ අය ජාතිකවාදී අදහස්වලට කැමැති නෑ.

කැමැත්ත – අකැමැත්ත මොකක් වුනත් අපි හැමෝගේ ම ඔළුගෙඩිවල මේ කලවම යම් යම් ප්‍රමාණවලින් තියෙනවා. අපි ඉතාමත් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන, ඉතාමත් ශක්තිමත් සංස්කෘතියක් ගොඩ නගාගත්ත ජාතියක්. ඉතින් ජාතිකවාදී අදහස් අපේ හිත් ඇතුළේ මුල් බැහැලා තියෙන එක පුදුමයට කාරණයක් නෙවෙයි. ඒ වගේ ම, අපි ඉතාමත් දීර්ඝ කාලයක් බටහිර යටත්විජිත බලපෑමට ලක්වුනා. අපේ රටේ අගනුවර – කොළඹ; අවුරුදු 450 ක් ම බටහිර පාලනය යටතේ පැවැතුනා. මේ විදිහට පාලනයවෙච්ච අගනුවරක් මොන රටේ ද තියෙන්නේ? ඊට අමතරව, 1972 වෙනකල් ම අපි එංගලන්තයේ රැජින අපේ අසහාය නායිකාව විදිහට පිළිගත්තා. අධ්‍යාපනය හරහාත් මාධ්‍ය හරහාත් බටහිර අදහස් අපිට නොකඩවාම ලැබෙනවා. ඉතින් මේ හැම සෙල්ලමක් හින්දා ම අපේ ඔළුගෙඩිවල අඩුවක් නැතුව ලිබරල් අදහසුත් තියෙනවා.

කොළඹ සහ බටහිර වෙරළ ආශ්‍රිතව ඉන්න අය අතර, ඉහළට ඉගෙනගත්ත අය අතර ලිබරල් අදහස් වැඩියි. පුද්ගලාන්තික අගයන්ට මුල් තැනැක් දෙන ලිබරල් අදහස්වලට තරුණ අයත් රුචියක් දක්වනවා. ඒත් ගම්වල අය අතර තවමත් සමූහාන්තික අගයන්ට මුල් තැනැක් දීපු ජාතිකවාදී අදහස් රජකරනවා. ඉතින් ලිබරල් අදහස් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලනඥයන්ට නාගරික සහ උගත් අයත්, ජාතිකවාදී අදහස් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලනඥයන්ට ගම්වල අයත් ඡන්දය දෙන්න කැමැතියි.

අදටත් රටේ වැඩි ජනගහනයක් ඉන්නේ ගම්වල. ඒ අය ගේ ඔළුවල ජාතිකවාදී අදහස් රජකරනවා. ඒත් රටේ මාධ්‍ය ඇතුළු හුඟක් ආයතනවල බලය සහ අයිතිය තියෙන්නේ නාගරික – ලිබරල් අදහස්වලට රුචියක් දක්වන අය අතේ. ඉතින් මේක බල කඳවුරු දෙකක් කියලා කියන්න පුළුවන්. ජාතිකවාදී අදහස්වලට බර අයට පිරිස් බලයක් තියෙනවා. ලිබරල් අදහස්වලට බර අයට ආයතනික සහ ධන බලයක් තියෙනවා. මේ මනස් දෙකට ම ආමන්ත්‍රණය කරන්න පුළුවන් අය මැතිවරණවලින් ඉස්සරහට එනවා. මේ කාරණය තේරුම්කරන්න උදාහරණයක් දෙන්න පුළුවන්.

2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහත්තයා කතාකළේ ජාතිකවාදී අදහස්වලට. ඒත්, ඒ වෙලාවේ එක්සත් ජාතික පක්‍ෂය වටා එකතුවෙච්ච අය ජාතිකවාදී අදහස්වලටත් ලිබරල් අදහස්වලටත් එක සැරේ කතාකළා. ඒ අය ඒ වැඩේ කළේ ජනාධිපති අපේක්‍ෂකයා විදිහට ගමකින් ආපු රෙද්ද බැනියම අඳින මෛත්‍රිපාල සිරිසේන මහත්තයාව ඉදිරිපත් කරන අතර ම, කොළඹ හැදුණු වැඩුණු, ටයි කෝට් අඳින රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති අපේක්‍ෂයා විදිහට ඉදිරිපත් කිරීමෙන්. ගම්වල අයගෙන් බහුතරයක් මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ඡන්දය දුන්නා. ඒත් තමන් ගේ ජාතිකවාදී – ලිබරල් මනස් දෙක ම තෘප්තිමත් කරන්න පුළුවන් ෆුල් කෝෂ් කෑම වේලක්” ලැබුණු හින්දා නාගරික සහ ලිබරල් අදහස්වලට කැමැති අයත් ගම්වල ජනයාගෙන් සෑහෙන පිරිසකුත් මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට ඡන්දය දුන්නා. දෙපැත්තෙන් ම ඡන්ද ගත්ත මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුනා!

1948 ඉඳලා ම අපේ රටේ සිද්දවෙලා තියෙන්නේ මේ වැඩේ තමයි. එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ ලිබරල් අදහස් උඩ ම පිහිටුවපු පක්‍ෂයක් නෙවෙයි. ජාතිකවාදී අදහස්වලට කැමැති සෑහෙන පිරිසකුත් එක්සත් ජාතික පක්‍ෂය වටා එකතුවෙලා ඉන්නවා. ඇත්තෙන් ම, ලිබරල් පක්‍ෂයක් මුලින් ම අපේ රටේ පටන්ගත්තේ 1951 දී. ඒ වැඩේ කළේ බණ්ඩාරනායක මහත්තයා. ජාතිකවාදී අදහස්වලට මුල් තැනැක් දීලා වැඩකරන්න බණ්ඩාරනායක මහත්තයා පටන්ගත්තේ 1952 මැතිවරණයෙන් පස්සේ. ඩී. එස්. සේනානායක මහත්තයා ගේ ටයි කොට් අස්සේ හොඳ සිංහලයකුත් බණ්ඩාරනායක මහත්තයා ගේ රෙද්ද බැනියම අස්සේ සුද්දෙකුත් ඉන්නවා” කියලා ඩී. බී. ධනපාල මහත්තයා කිව්වේ මේ දේ දැකලා වෙන්න ඇති.

කොහොම කොහොම හරි මේ තත්ත්වය වෙනස්වෙන්න පටන්ගත්තා. එක්සත් ජාතික පක්‍ෂය ජාතිකවාදී සහ ලිබරල් අදහස්වලට එකවිට තැන දෙන පක්‍ෂයක් බවට පත්වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතිකවාදී සහ සමාජවාදී අදහස්වලට එකවිට තැනැක් දෙන පක්‍ෂයක් බවට පත්වුනා. මාක්ස්වාදී අදහස් ඇතුළේ ලිබරල් අදහසුත් ගැබ්වෙලා තිබුණා. පස්සේ කාලෙක පිලිප් ගුණවර්ධන, ඊරියගොල්ල වගේ ජාතිකවාදී යෝධයෝ එක්සත් ජාතික පක්‍ෂයට හේත්තුවෙලා වැඩකරන්න කැමැති වුනේ ඒ අය ගේ අදහස්වලට ඉඩක් ඒ පක්‍ෂය ආශ්‍රයේ තිබුණු හින්දයි.

ජනතා විමුක්ති පෙරමුණ පිහිටෙව්වේ මේ විදිහේ පෙරැලි රටේ සිදුවෙමින් තියෙන කාලයක. පංති පහ ඇතුළට සැබෑ නිදහස සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ඇතුළු කෙරුණේ අපේ ජාතිකවාදී මනස ඒ දේවල්වලින් පුබුදුවන්න පුළුවන් හින්දා. විප්ලවය සහ මාක්ස්වාදී අදහස්වලින් තරුණ අය ගේ ලිබරල් මනසට ඇමතුවා. ඊට අමතරව සමහර ප්‍රදේශවල තිබුණු කුලභේද පවා පක්‍ෂයට පිරිස් බඳවාගැනීමේ දී හේතුවක් බවට පත් කරගත්තා. කුල බෙදීම් කියලා කියන්නේ ලිබරල් අදහස් ඇතුළේ අගය නොකෙරෙන කාරණයක්.

ඉතින් මේ මනස් දෙකට ම කතාකරලා කලින් කියපු විදිහට සෑහෙන පිරිසක් එකතු කරගත්තත් ප්‍රමාණවත් තරමින් සන්නද්ධ බලයක් ගොඩ නගාගන්න බැරිවෙච්ච හින්දා ජනතා විමුක්ති පෙරමුණේ 1971 කරපු කැරැල්ල අසාර්ථක වුනා. 1972 දී රට ජනරජයක් බවට පත්කළ නිසාත් ඉඩම් පවරාගැනීම වගේ අධිරාජ්‍ය විරෝධී සහ සමාජවාදී වැඩපිළිවෙලක් අනුගමනය කළ නිසාත් පංති පහ හරහා ගොඩ නඟාගත් අදහස් බලකොටු දුර්වල කරන්න බණ්ඩාරනායක මැතිනියට පුළුවන් වුනා. ඒත් සමාජවාදී වට්ටෝරුව ඵලදායි එකක් නොවිච්ච හින්දා ආර්ථක උවමනා එපාකම්වලට විසඳුම් දෙන්න ඇයට බැරිවුනා.

1977 දී ජේ ආර් මහත්තයා බලයට ආවේ ධර්මිෂ්ඨ සමාජයක්” කියන ජාතිකවාදී සටන්පාඨය ඉස්සරහට දාගෙන. ජේ ආර් මහත්තයා ලිබරල් අදහස්වලට සෑහෙන කැමැත්තක් දක්වපු කෙනෙක්. මේ අතර ප්‍රේමදාස මහත්තයා ගම්වල මිනිස්සුන්ට කතාකරන්න පටන් ඇරගෙන තිබුණා. එක්සත් ජාතික පක්‍ෂයේ හිටිය ලිබරල් අදහස්වලට බර අය ප්‍රේමදාස මහත්තයාට කැමැති වුනේ නෑ. ඉන්දියානු හමුදාවත් අපේ රටට ආවා. ජාතිකවාදී මනසට කෙළින් ම කතාකරන්න අවස්ථාවක් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණා. ඉතින් ඒ අය දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය පිහිටුවා ගත්තා. ඒකට අණදුන්නේ කීර්ති විජයබාහු!

ඒත් ඒ කැරැල්ලෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයොත් සාමාජිකයන් සෑහෙන පිරිසකුත් විනාශවුනා. එක්සත් ජාතික පක්‍ෂයේ ලිබරල් නායකයෝ සෑහෙන පිරිසකුත් අවසන් ගමන් ගියා. ප්‍රේමදාස මහත්තයාත් ඝාතනය කෙරුනා.

ඉතින් එක්සත් ජාතික පක්‍ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් අලුත් නායකයෝ ලැබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් අලුත් නායිකාවක් හොයාගත්තා. ඒ නායිකාව ලිබරල් අදහස් හිස් මුදුණින් පිළිගත්ත කෙනෙක් බව අපි හැමෝ ම දන්නවා. ඒත් ජාතිකවාදී අදහස්වලට මුල් තැනැක් දීපු අය 2005 වෙද්දි අලුත් නායකයෙක් හොයාගත්තා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා බලයට ආවා. ඒ මහත්තයා බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණේ හිටිය ජාතිකවාදී අදහස්වලට මුල්තැනැක් දීපු අයත් උදව්කළා.

මේ දේවල් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ අවුල් ඇතිවෙන්න පටන්ගත්තා. ඒ ඇතුළේ හිටිය ජාතිකවාදී අදහස් තියෙන පිරිස් මහින්ද රාජපක්‍ෂ මහත්තයා එක්ක එකතුවුනා. සමාජවාදය, විප්ලවය ගැන කතාකරපු අය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල බලයත් අල්ලගෙන පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවාගත්තා. මේ පෙරැළි ඉවරවුනේ ලිබරල් අදහස් තියෙන අයට පක්‍ෂයේ ලොකු පුටු අයිතිවෙලා. දැන් කුල කතාවත් ඉවරවෙලා. දිසානායකලා, රත්නායකලා, හේරත්ලා පක්‍ෂ නායකත්වයට ඇවිල්ලා.

අධිරාජ්‍ය විරෝධය, සැබෑ නිදහස, ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන අද ජවිපෙ කතාකරන්නේ නෑ. ඒ අය අද පෙනී ඉන්නේ හොඳ පරිසිදු ලිබරල් අදහස්වලින් සැකැසුණු සැබෑ යහපාලනයක් අපේ රටේ පිහිටුවන්න. ඒ අය මේ අරමුණ සාක්‍ෂාත් කරගන්න හදන්නේ ව්‍යවස්ථා සංශෝධන, අණ පනත් විප්ලවයක් හරහා. ලිබරල් අදහස්වලට කැමැති අය ඒ වැඩ අගයකරනවා. ඉතින් මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදිහට ලිබරල් අයියලා සහ ලිබරල් මල්ලිලා අතර එකමුතුවක් ඇතිවෙලා. එච්චරයි!

 

වරුණ චන්ද්‍රකීර්ති

One Response to “ජවිපෙ ලේ කොළ පාට ද?”

  1. Christie Says:

    මා දන්න විදියට ජෙප්පො හැදුනෙ අවුරුදු හැටකට විතර ඉස්සර. ඒකාලෙම තමයි ඊරොස් පටන්ගත්තෙත්. දෙකම පිටිපස ඉන්දියානු පරපෝසිතයනුත් ඉන්දියාවත් හිටිය. ලන්ඩන්හා කොලොඹ මදුරාසිය දෙල්හි හෙම තමයි පටන්ගත්ත තැන්.

    ඉන්දියාවටහ් ඉන්දියාන්යු පරපෝසිතයන්ටත් සමසමජකාරයන් ලවා සින්හලයන් වඳ කිරීම හා බලය අල්ලා බලය අල්ලගන්න බැරිඋන හිසා තමයි ජෙප්පොයි කොටියොයි ඇතිකලේ.

    උන්ගී වැඩවල පල අද අපි විඳුමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress