යාපනයේ සිදුවන්නේ කුමක් ද?
Posted on May 22nd, 2015

නලින් ද සිල්වා

අද ජනරජ දිනය බව බොහෝ දෙනකුට අමතක ය. කෙසේ වුවත් අද පවතින්නේ කැමරන්ලාගේ ආණ්ඩුවකි. පසුගිය අවුරුදු හයක පමන කාලයක නොසිදුවූ දේ ඒ ආණ්ඩුව යටතේ  යාපනයේ අද  සිදුවන බව පැහැදිලි ය. අජිත් පෙරේරා, විජයදාස රාජපක්‍ෂ යන මැති ඇමතිවරුන්ට පමණක් නොව එස් බී දිසානායක ඇමතිවරයාටත් අනුව සිද්ධියකට මුවා වී ජාතිවාදය ඇවිස්සිය යුතු නො වේ. ඔවුන් ජාතිවාදය කියන්නේ කුමට දැයි අපි නො දනිමු.

එස් බී දිසානායක මාර්ග ආයතනයේ සේවය කළ සමයේ සිට සිංහලයන්ට පක්‍ෂව කතාකර නැත. අජිත් පෙරේරාගේ ඉතිහාසයක් ගැන අපි නො දනිමු. එහෙත් ඔහු එ ජා පාක්‍ෂිකයකු ලෙස ඉන්දු ලංකා ගිවිසුමට, පළාත් සභාවලට, කොටි වර්ධනයට, නන්දිකඩාල් ජයග්‍රහණය අමතක කිරීමට ආදී වශයෙන් පක්‍ෂ වීමෙන් සිංහලට පමණක් නොව  රටට විරුද්ධ කටයුතුවලට ද දායක වී ඇත. විජයදාස රාජපක්‍ෂ ගමෙන් ඇවිත් රනිල්ට (එ ජා පක්‍ෂයට) හේත්තු වී ඉහළ යෑමට ජාතියට විරුද්ධව කතා කරන්නෙකි. 

අද ප්‍රසිද්ධියේ ම දෙමළ තරුණයෝ ආණ්ඩුවට, පොලීසියට  හා අධිකරණයට පහර දෙති. එය අහම්බෙන් සිදුවන්නක් නො වේ. අද යම් පිරිසක් විද්‍යා දැරියගේ සිද්ධියට මුවා වී සිංහල විරෝධී ව්‍යාපාරයක යෙදෙන්නේ සංවිධානාත්මකව ය. පීපල්ස් පවර් නම් කණ්ඩායමක් ගැන සිද්ධි සම්බන්ධයෙන් කියැවෙයි. මේ කණ්ඩායම කුමක් ද? එහි සාමාජිකයෝ කවරහු ද? ඔවුන්ට යතුරු පැදි ලැබුණේ කෙසේ ද? කාගෙන් ද? රනිල් මහා බැංකුවේ දී මෙන් ඒ සොයා බැලීමට තවත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන්නේ ද? ඒ කමිටුව අර්ජුන් මහේන්ද්‍රන් නිදහස් කර 2012- 14 කාලයේ සිදු වී යැයි කියන වංචා ගැන කතාකළ පරිදි ඊනියා සුදුකොඩි කතාව අතට ගනී ද? වෙල් විදානේගේ සහාය කමිටුවට ලබාගත නො හැකි ද? අජිත් පෙරේරාලා විජයදාසලා ජැංඩියට බටහිර ඇඳුමෙන් සෑරසෙන විට ඔවුන්ගේ යටත්විජිත සිංහල විරෝධී මනස ගැන ඉඟියක් ලැබෙයි.

අපරාධය සම්බන්ධයෙන් යම් පිරිසක් අත් අඩංගුවට ගනු ලැබ ඇත. පොලීසිය තම රාජකාරිය නිසි ලෙස ඉටුකළ බව උතුරු පළාතේ ආණ්ඩුකාරයා පවසා ඇත. ඔහු සිංහල ජාතිවාදියකු යැයි විග්නේස්වරන්වත් නො කියනු ඇත. ඊනියා උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සාමාජිකයකු ලෙස ඔහුට අවශ්‍ය වූයේ දෙමළ ජාතිවාදීන්ට යම් කිසිවක් ප්‍රදානය කිරීමට ය. 

අපට ප්‍රශ්නයක් වෙයි. පොලීසිය නිසි පරිදි රාජකාරිය ඉටුකර ඇත්නම් උසස් පොලිස් නිලධාරීන් තොගයක් යපනයෙන් පිටතට මාරු කරනු ලැබ ඇත්තේ ඇයි? එය කාගේ බලපෑමක් නිසා සිදු වී ද? පොලිස්පති දින තුනක් පමණ යාපනයේ සිට කෙළේ ඒ මාරුකිරීම් ද? රනිල්ගේ බෑණා රුවන් ජාතික ආරක්‍ෂාව ගැන කියන දේ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපනය ගැන කියන දෙයින් වෙනස් වන්නේ නො වේ.

පොලිස් නිලධාරීන් මාරුකිරීම සුළුවෙන් තැකිය යුතු නො වේ. අපි ඒ ගැන පූර්ණ පැහැදිලි කිරීමක් පොලිස්පතිගෙන් බලාපොරොත්තු වෙමු. ඒ ගැන සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුව ඉල්ලා සිටිනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු. අද නමටවත් පොලිස් කොමිසමක් ක්‍රියාත්මක නො වෙයි. පොලිස්පතිට ඉහළින් පොලීසිය සම්බන්ධ කටයුතුවල දී තීරණ ගැනීම පිලිබඳ ශුද්ධවන්ත විජයදාස රාජපක්‍ෂ කියන්නේ කුමක් ද? ඔහු ඒ බවක් නොදන්නා බව ද? ඔහුට දෙවියන්ගේ ම පිහිට ය. 

පොලිස් නිලධාරීන් මාරු කරනු ලැබ ඇත්තේ සාමාන්‍ය මාරුකිරීමක් ලෙස නොවන බව පැහැදිලි ය. විද්‍යා දැරියට කළ අපරාධය ගැන අපි කම්පා වෙමු. වරදකරුවන්ට දැඩි දඬුවම් දිය යුතු ය. සැමදාමත් දෙමළ ජාතිවාදීන් කර ඇති පරිදි ඔවුහු මෙවරත් අපරාධයට මුවා වි බෙදුම්වාදයට පණ පොවති. අජිත් පෙරේරා, විජයදාස රාජපක්‍ෂ හා එසේ බී දිසානායක ආදීහු දෙමළ ජාතිවාදීන් ආරක්‍ෂා කිරීමට සිංහල ජාතිවාදයක් ගැන කතා කරති.  ඉතිහාසය විවිධ ස්වරූපවලින් ප්‍රතිනිර්මාණය වෙයි.

නලින් ද සිල්වා

2015 මැයි 22

2 Responses to “යාපනයේ සිදුවන්නේ කුමක් ද?”

  1. Independent Says:

    ජාතිකත්වය ජයග්‍රහණය කිරීමටනම් බොරු නොකර සාධාරණය ඉෂ්ඨ කල යුතුය​.

  2. AnuD Says:

    What the govt doing to pass the UNHCR time. Tamils want the govt to react to what they are doing and prove that North is not good for Tamils when Sinhala police, and everyone is there.

    The best is to stay silent until the time is right.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress