මනාප ලැයිස්තුවට පිටින් පළාත් සභා මන්ත්‍රීවරුන් එපා-කැෆේ සංවිධානය පක්ෂ නායකයින්ට කියයි.
Posted on September 8th, 2015

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ පළාත් සභා සභිකයින් ගේ පුරප්පාඩු පිරවීම සදහා කටයුතු කිරීමේ දී අදාළ ලැයිස්තුවල ඉදිරියෙන්ම සිටින පුද්ගලයින් පත් කිරීමට පක්ෂ නායකයින් විසින් කටයුතු කළ යුතුව ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

පළාත් සභා මන්ත්‍රීවරුන් ගණනාවක්ම මෙවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලෙස තේරීපත්වීම හේතුවෙන් පළාත් සභා ගණනාවක මන්ත්‍රී ධූ පුරප්පාඩු විය.   එම පුරප්පාඩු සදහා මන්ත්‍රීවරුන් පත් කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතය.  එජනිස, එජාපය, දෙමළ ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම මන්ත්‍රීවරුන් පත් කරනු ඇත.

දිස්ත්‍රික්ක ගණනාවක පළාත් සභා මන්ත්‍රී ධූර සදහා පුද්ගලයින් නම් කිරීමේ දී දේශපාලන පක්ෂ විසින් මනාප ලැයිස්තුව නොතකා කටයුතු කිරීමට උත්සහ දරමින් සිටී.  පළාත් සභා පනතේ විධිවිධාන වලට මෙම තත්වය අනුකූල වන නමුත් මෙම තත්වය පක්ෂ අභ්‍යන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය බලවත් ලෙස ප්‍ර‍ශ්න කිරීමට ලක් කරයි.  ජනතා අපේක්ෂාවන් වෙනුවට පක්ෂ නායකත්වයේ අභිලාෂයන් මෙහි දී ක්‍රියාත්මක වීම නියෝජිත ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය නොතකා හැරීමකි.

මනාප ලැයිස්තුවේ පහතින් සිටින ඕනෑම පුද්ගලයෙකු පළාත් සභා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූර සදහා පත් කිරීමට පක්ෂ ලේකම්වරුන්ට හැකියාව ඇත.  මෙම තත්වය වලක්වා ගැනීම සදහා අධිකරණයේ පිහිට පැතීමට අවස්ථා ගණනාවක දී මෙරට සිවිල් සංවිධානවලට සිදු විය.  පරාජයට පත් වූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමේ ක්‍රියාවලියේ පළාත් සභා ව්‍යවහාරය වන්නේ මනාප ලැයිස්තුවෙන් පිටත පුද්ගලයින් පුරප්පාඩු ඇතිවන අවස්ථාවන් හි දී මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමයි.

පරාජයට පත් වන අපේක්ෂකියන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම මෙන්ම, මනාප ලැයිස්තුවෙන් පිටත පුද්ගලයින් පළාත් සභා මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීම වැලැක්වීමට නීති සැකසිය යුතු බව කැෆේ සංවිධානයේ විශ්වාසය යි.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2015 සැප්. 8

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress