71 ‘විශ්‍රාමික කැරළිකරුවන්ට’ දෝහීන් ලෙස සලකා ප්‍රහාරයක්
Posted on February 27th, 2016
ධර්මන් වික්‍රමරත්න
ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 87 කොටස
මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය. එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ධර්මන් වික්‍රමරත්න එම බොහෝ සිද්ධීන් සියසින් දුටු අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 40 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.
ලාංකීය වමේ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ කල්ලි වලින් බහුතරයක්ම වාගේ අවට ලෝකය දෙස බලන්නේ අමුතුම කණ්නාඩියකිනි. ඒ අනුව යමෙකු පක්ෂය හැරගොස් වෙනත් පක්ෂයකට එක්වූයේනම් ඔහු විනාශකල යුතු දෝහියෙකි. පාවාදෙන්නෙක් සහ ප්‍රතිගාමීයෙකි. අතීතයේ කල කැපවීම් වලංගු නැත. ඇතැම් පක්ෂවල සම්ප්‍රධාය සහ සංස්කෘතියේ අංගයක් බවටද එය පත්ව තිබේ. පළමු කැරැල්ලෙන් වසර 16 පසුව රෝහණ විජේවීරගේ ප්‍රධානත්වයෙන් වඩා නිර්භීත සහ සහාසික ආකාරයකින් දියත්කළ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඔවුන්ගේ දෝහීන් බවට පත්වූ පිරිස අතර 1971 අප්‍රේල් කැරැල්ලේ සිට 1983 ජුලි පක්ෂ තහනම දක්වා අතර කාල වකවානුවේදී ජවිපෙ සමඟ එක්ව කටයුතුකර පසුව ජවිපෙන් ඉවත්ව වෙනත් දේශපාලන පක්ෂ, කණ්ඩායම් හෝ කල්ලි සාදාගත් හිටපු ජවිපෙ සාමාජිකයින්ද විය. ජවිපෙ කණ්ඩායම් කල්ලි මතුවීම සහ කැඩීයාම ජවිපෙට එරෙහි බොහෝ දෙනාට ආස්වාදයක් ගෙනදුන් අතර සතුරාගේ සතුරා මිතුරා යන න්‍යායෙන් ඔවුහු වැලඳ ගත්හ.
ජවිපෙන් ඉවත්වීමෙන් පසු ඝාතනයට ලක්වූ ජනතා කලා කේන්ද්‍රයේ සභාපති නන්දන මාරසිංහ, ඝාතන සැලසුම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන පසුව නිදහස්වූ ගම්පහ පහළගම ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් සමන් පොලිස් අත්අඩංගුවේ සිටියදී සහ අත්අඩංගුවට පත්වීමට පෙර(වමේ සිට).
ජවිපෙ 2වැනි කැරැල්ලේදී 1986 සිට 1990 දක්වා ඊට ක්‍රියාකාරී ලෙස එරෙහිවූවන් බවට පත්වූයේද 71 කැරැල්ලේ හිටපු සාමාජිකයෝය. ජවිපෙ ඔවුන් හැදින්වූයේ ’71 විශ්‍රාමික කැරළිකරුවන්’ ලෙසය. ජවිපෙන් ඉවත්ව දේශපාලනයෙන් නිහඬවූ අයට කැරළිකරුවන්ගෙන් ගැටළුවක් නොවීය. සමාජය විප්ලවීය පරිවර්තනයක් සඳහා ඔසවා තැබීමට ජවිපෙ වෙනුවෙන් පුරෝගාමී වැඩ කොටසක් කල 71 අප්‍රේල් අරගලකරුවන් සිය ගණනක්ද ජවිපෙ දෙවැනි කැරැල්ලේදී මියගිය දසදහසක් දෙනා අතර විය. ජවිපෙ 2වැනි කැරැල්ලේ දේශපාලන මණ්ඩල සභිකයින් 13 දෙනාගෙන් 8 දෙනෙකු 1971 අප්‍රේල් කැරළිකරුවන්ය. එමෙන්ම ජවිපෙ 2වැනි කැරළි සමයේ සිටි මධ්‍යම කාරක සභිකයින් 30 දෙනා අතර 1971 අප්‍රේල් කැරැල්ලට සහභාගි වූ 17 දෙනෙකුද ඇතුළත් විය. ජවිපෙ විසින් දියත් කරන ලද ප්‍රථම කැරැල්ල වන 1971දී ග්‍රාමීය තරුණයෝද, 2වැනි කැරැල්ල වන 1986 සිට 90 දක්වා ශිෂ්‍ය ව්‍යාපාරයද වැඩි බරක් අදිනු ලැබීය.
ජවිපෙන් ඉවත්වීමෙන් පසු ඝාතනයට ලක්වූ ජනතා කලා කේන්ද්‍රයේ සභාපති නන්දන මාරසිංහ, ඝාතන සැලසුම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන පසුව නිදහස්වූ ගම්පහ පහළගම ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් සමන් පොලිස් අත්අඩංගුවේ සිටියදී සහ අත්අඩංගුවට පත්වීමට පෙර(වමේ සිට).
ජවිපෙන් ඉවත්වී වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් වලට සෘජුව හෝ වක්‍රව උදව්කල අයද ජවිපෙ විසින් දෝහීන් ලෙස හදුන්වනු ලැබූ සිය ගණනක් අතරින් කිහිප දෙනෙකු ඝාතනය කරන ලදී. ඇතමෙකු ආණ්ඩුවේ මිල්ටරි සහ අර්ධ මිල්ටරි කණ්ඩායම් සමඟ එක්ව ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් හඹාගොස් ඔවුන් ඝාතනයට ලක්කලහ. තවත් පිරිසක් ජවිපෙ තර්ජන වලින් ආරක්ෂාවීම සඳහා පදිංචි ස්ථානයන් තාවකාලිකව වෙනස්කල අතර ඇතමෙක් විදේශයන්හි රැකියාවන්ට සංක්‍රමණය විය. තර්ජනයට ලක්වූ අය සාමූහිකව ආරක්ෂිත ස්ථානයන්හි පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂකයින්ගේ රැකවරණය යටතේ සිටි අවස්ථාද විය. ජවිපෙ මගින් ඝාතනයට ලක්වූ ඇතමුන්ගේ අවසන් කටයුතු සිදුකරනු ලැබුවේද ජවිපෙ තර්ජන හේතුවෙන් කැරළිකරුවන්ගේ නියෝග වලට අනුකූලවය. දේහයන් ඇතැම් අවස්ථාවලදී ගෙනයන ලද්දේද කැරළිකරුවන්ගේ නියෝගය පරිදි දණහිසෙන් පහළට ඔසවා ගෙනය.
පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගැනීම සඳහා එජාප ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපාමීන් ජනමත විචාරණයක් පැවැත්වූ අතර එහිදී රජය වැඩි ඡන්ද 532,240කින් ජයගනු ලැබීය. ජනමත විචාරණයේදී රජයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 3,141,223වූ අතර මැතිවරණ ආසන 168න් 48ක් එජාප ආණ්ඩුව පරාජයට පත්වූ අතර ඉන් 19ක් තිබුණේ උතුරු සහ නැගෙනහිරය. ඉතිරිවූ ආසන 29න් 18ක අතුරු මැතිවරණ 1983 මැයි 18වැනිදා පැවැත්වීමට රජය තීරණය කළේය. එම ආසන 18න් ආසන 5කට ජවිපෙ තරඟ කල අතර හබරාදූවේදී ස්වාධීන අපේක්ෂක ප්‍රින්ස් ගුණසේකරට සහාය ලබාදෙන ලදී. ඒ අනුව ජවිපෙ තංගල්ලට විජිත රණවීරද, බෙලිඅත්තට ආරියසේන ඊෂ්වරගේද, දෙව්නුවරට කේ.එච්. ජයන්තද, කඹුරුපිටියට ප්‍රේමචන්ද්‍ර මුණසිංහද, රත්ගමට වෛද්‍ය කේ.එස්.නන්දසේන ප්‍රනාන්දුද ඉදිරිපත් කරන ලදී. අතුරු මැතිවරණ පැවති ආසන 18න් එජාපය 14ක් ජයග්‍රහණය කල අතර ශ්‍රිලනිප 4ක් ජය ගත්හ. ජවිපෙ තරඟ කල ආසන 5ම තෙවන ස්ථානය හිමිවිය. ජනමත විචාරණය ප්‍රෝඩාවක් බව කියමින් ජවිපෙ එයට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග වලට යොමුවූ අතර උද්ඝෝෂණයක්ද ගෙන යන ලදී.
ජවිපෙන් 1982 ඉවත්ව සන්නද්ධ වාම කණ්ඩායමක් පිහිටුවීමට ප්‍රයත්න දැරූ දෙවරක් ජවිපෙ ඝාතන වලින් බේරී බරපතල තුවාල ලැබූ ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික වාස් තිලකරත්න, වාස්ගේ නායකත්වයෙන් ජවිපෙ සාමාජිකයන් ඝාතනය කිරීමට ආණ්ඩුවේ හමුදා සමඟද එක්වී කටයුතු කිරීමට මූලිකවූ කෑගල්ලේ රංජිත් පීරිස්, වාස් ඇතුළු කල්ලිය විසින් ඝාතනය කල ජවිපෙ දේශපාලන මණ්ඩල සභික පී.බි. විමලරත්න නොහොත් ටින්කෝ විමල් සහ වාස් ඝාතනය කිරීමේ සැලසුම භාරව සිටි හිටපු ගුවන් හමුදා කාර්මික නිලධාරි කඩුවෙල පිට්ටුගල කේ.ජී. සිරිපාල(වමේ සිට).
රත්ගම ආසනයට ජවිපෙන් එම අතුරු මැතිවරණයට තරඟකල වෛද්‍ය නන්දසේන ප්‍රනාන්දු 1983 පක්ෂ තහනමට පෙර ජවිපෙන් ඉවත්ව නව සමසමාජ පක්ෂයට බැදුණේය. ගාල්ල අක්මීමන උපන් ඔහු ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් සමඟ සබදතා වෛද්‍යවරයෙකු වශයෙන් දිගටම පවත්වාගෙන ගියේය. එජාප රජය මගින් දේශපාලන දඬුවමක් වශයෙන් ඔහු වව්නියාවට මාරුකල අතර වව්නියාවේදී පුරවැසි කමිටුවක් ගොඩනගමින් සිවිල් අයිතීන් රැකගැනීමට පෙරමුණ ගත්හ. එම කටයුතුවලට මැදිහත්වීම නිසා වරෙක රජය මගින් ඔහුගේ සේවයද අත්හිටුවන ලදී. ගාල්ල හපුගල්ල නිවස ඉදිරිපිට පුතු සමඟ සිටියදි 1988 මැයි 12වැනිදා ජවිපෙ මගින් වෛද්‍ය ප්‍රනාන්දු ඝාතනය කරන ලදී. එහිදී වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ වෛද්‍ය නන්දසේනගේ 17හැවිරිදි පුතු නිමල්ද 1988 අගෝස්තු 30වැනිදා මරුමුවට පත්විය.
කියුබාවේ හවානා නුවර 1978දී ලොව පුරා නියෝජිතයෝ 13,000කගේ සහභාගිත්වයෙන් පැවති ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙලට ලංකාවෙන් සහභාගිවූ නියෝජිතයින් 100කට ආසන්න පිරිස අතර ජවිපෙ නියෝජනය කරමින් රෝහණ විජේවීර, කෙලී සේනානායක, වාස් තිලකරත්න, සෝමවංශ අමරසිංහ සහ සුනිලා අබේසේකරද විය. දේශපාලන මණ්ඩල සභික කෙලී සේනානායකට විනය හේතූන් මත ජවිපෙන් 1979දී ඉවත්වීමට සිදුවූ අතර ඒ සමඟම සුනිලා අබේසේකරද පක්ෂය අතහැර ගියාය. බලපිටියේ උපන් කෙලී සේනානායක ධර්මාශෝක විද්‍යාලයේ ජේෂ්ඨය 1965දී සමත්වීමෙන් පසු රංජිත් කුලකුලසූරිය මගින් ජවිපෙට 1968දී බැදිණි. විජේවීර සමඟ 1971 මාර්තු 13 වැනිදා අම්පාරේදී අත්අඩංගුවට පත්වූ කෙලී 1977 නිදහස් වීමෙන් පසු ජවිපෙ යළි නඟාසිටුවීම සඳහා පුරෝගාමි මෙහෙයක් කල අයෙකි. ජවිපෙන් ඉවත්වීමෙන් පසු ජවිපෙ විරෝධීන් අතර පෙරමුණේම සිටි කෙලී, ජවිපෙ ප්‍රධාන ඝාතන ඉලක්කයක් බවටද පත්විය.
ජවිපෙ විසින් දෝහීන් ලෙස හදුන්වමින් ඝාතනය කිරීමට තැත්කිරීමේදී 2වරක් බේරුණු ගිණි පුපුර කණ්ඩායමේ සහ නව ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකුවූ ප්‍රකට මානව හිමිකම් නීතිඥ හබරාදූවේ කල්යානන්ද තිරාණගම, එසේම දෙවරක් බේරුණු වාස් තිලකරත්න, කැරළිකරුවන් තිදෙනෙකුට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මාරාන්තික සටනකින් ජීවිතය බේරාගත් මාතෘභූමි ආරක්ෂක සංගමයේ නායක බේරුවල ඩී.අයි.ජී ධර්මසේකර, ජවිපෙන් ඝාතනයට ලක්වූ 71 කැරැල්ලටද සහභාගිවූවන් අතර සිටි ජවිපෙ කොළඹ සංවර්ධන සභා හිටපු මන්ත්‍රී මහින්ද පතිරණ, 1983 අතුරු මැතිවරණයේදී ජවිපෙ වෙනුවෙන් රත්ගමට තරඟ කල වෛද්‍ය නන්දසේන ප්‍රනාන්දු, එක්සත් සමාජවාදී පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී හිරියාල දොවේරුවේ ටී.බී. විජේසූරිය, ජනතා සංගමයේ දිවුලපිටිය මඩම්පැල්ලේ සිරිපාල වීරසිංහ හෙවත් ෂෙල්ටන්, විකොස කම්කරු මාවත ඝාතනයට ලක්වූ සාමාජිකයින් තිදෙනාගෙන් අයෙකුවූ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සේවක පී.එම් ගුණපාල(ඉහළ වමේ සිට).
ලිබරල් ප්‍රතිපත්තිවලට බර දේශපාලන මණ්ඩල සභික උපාලි රන්දෙනිය 1982 පක්ෂය හැරගිය අතර වසර 1982 අවසානය වන විට ජනාධිපතිවරණය සහ ජනමත විචාරණයේ ප්‍රතිඵල තුළින් ඇතිවූ ජවිපෙ පසුබෑම තුළ පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් දළුලා වැඩිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මුදල්, විනය පිරිහීම්, මහජන නියෝජිතයන් ලෙස වගකීම් පැහැරහැරීම් ඇතුළු හේතු මත ජවිපෙන් කිහිප දෙනෙකු ඉවත්කල අතර එහි ප්‍රධාන දෙදෙනෙකු වූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වාස් තිලකරත්න සහ මධ්‍යම කාරක සභික මහින්ද පතිරණය. දෙදෙනාම පසුව ජවිපෙට එරෙහිව සතුරු කණ්ඩායම් ලෙස ක්‍රියා කරන එජාපය සහ වාම ක්‍රියාකාරි කණ්ඩායම්, දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් වලට යොමුවිය. ඒ. ඩී. පී රත්නායක නොහොත් පොඩි රත්නේ උතුරේ දෙමළ බෙදුම්වාදය පිළිගනිමින් දේශපාලන මණ්ඩලයෙන් 1983 ජුලි 21 ඉවත් විය. ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේද එම මතයට අනුගත වුවද ජවිපෙ බහුතර තීරණය පිළිගත් අතර පක්ෂ තහනමින් පසු 1983 දෙසැම්බර් මස සිට නිල නොවන මට්ටමින් ඉවත්වීමෙන් පසු ජවිපෙ විරෝධීන්ගේ මිතුදමේ දිගුවක් ලෙස ජවිපෙට එරෙහිව 1984 සිට ක්‍රියා කරන තත්ත්වයකට තල්ලුවී තිබිණි.
2වැනි කැරැල්ලේදී ජවිපෙ මගින් උපක්‍රමශීලීව මිත්‍රයින් බවට පත්කරගත් 71 කැරළිකරුවන්වූ රාවය මාසික සඟරාවේ කර්තෘ වික්ටර් අයිවන් නොහොත් පොඩි අතුල, පෙරදිග සුළඟ කණ්ඩායමේ නායකව සිටි සමස්ත ලංකා ගොවි සම්මේලනයේ මධ්‍යම පළාත් නායක විමල් රණසිංහ නොහොත් ගාමීණී යාපාද, පක්ෂය පාවාදුන් දෝහීන් සේ සලකා ජවිපෙ මගින් ඝාතනය කිරීමට තීරණය කලද ජීවිත බේරාගැනීමට සමත්වූ පිරිසෙන් කිහිපදෙනෙකුවූ අතුල නිමලසිරි ජයසිංහ නොහොත් ලොකු අතුල, ජවිපෙ 1983 ජුලි 29 තහනම් කරන විට ප්‍රධාන ලේකම්ව සිටි ලයනල් බෝපගේ, 1979දී ජවිපෙන් ඉවත්කල දේශපාලන මණ්ඩල සභික කෙලී සේනානායක සහ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් 1983 ජුලි 21වැනිදා ඉවත්ව කැරළි සමයේදී මැදපෙරදිග රැකියාවකට ගොස් ජීවිත රැකවරණය සලසා ගත් ඒ.ඩී.පී රත්නායක නොහොත් පොඩි රත්නේ(ඉහළ වමේ සිට).
සුළු ව්‍යාපාරිකයෙකුවූ වැලිගම වල්ලිවල ජෙරමියෙස්ගේ සහ රොස්ලින්ගේ දරුවන් 5 දෙනෙකුගෙන් අයෙකුවූ 1944දී උපන් ලයනල් බෝපගේ මාතර රාහුල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨ සිසුවෙකු වශයෙන් සිටියදී 1968දී සරත් විජේසිංහ මගින් විජේවීර හදුනාගත් ලයනල් බෝපගේ 1971 අප්‍රේල් කැරැල්ල සම්බන්ධයෙන් මහනඩුවේ දෙවැනි විත්තිකරු විය. පානදුර සරික්කාමුල්ල පන්සලේ සැඟව සිටියදී 1971 අප්‍රේල් 10වැනිදා පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සිරගෙදර සිටින සමයේදී ඉංජිනේරු උපාධියට ලියා සමත් විය. වසර 12ක දිගුකාලීන සිරදඬුවම්වලට යටත් කලද පසුව 1977දී නිදහස් විමෙන් පසු ජවිපෙ ගොඩනැගීම සඳහා දායක විය. ගාල්ල දිසා සංවර්ධන මැතිවරණයට 1981දී ඉදිරිපත්වී එහි සභිකයෙක් ද විය. විමුක්ති ගී ගායිකාවක් වශයෙන් කටයුතු කල කතෝලික සභාවේ තිඹිරිගස්යාය පල්ලියේ කන්‍යා සොහොයුරියක්වූ චිත්‍රා මුදලිගේ සමඟ අවාහවු බෝපගේ 1980 සිට 1983 ජුලි 29වැනිදා ජවිපෙ තහනම් වන විට ප්‍රධාන ලේකම් වශයෙන් සිටි අතර පසුව අක්‍රීයවී කෙටි කලකින් ඉල්ලා අස්විය. ජවිපෙ 2වැනි කැරැල්ලේ ජීවිත තර්ජන හමුවේ විදේශගතවූ බෝපගේ සිය දරු පවුල සමඟ වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ජීවත් වේ.
නන්දන මාරසිංහ 71 කැරළිකරුවන් අතර සිටි සුවිශේෂි චරිතයක් වන අතර විමුක්ති ගී සාර්ථක කරගැනීම සඳහා කැපවී ක්‍රියාකල අයෙකි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. දක්ෂ තබ්ලා වාදකයෙකුවු නන්දන අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන විට ගුරුවරයෙකුවූ මුණසිංහ මගින් 1968දී ඔක්තෝබර් මස ජවිපෙට සම්බන්ධවී පූර්ණකාලිනකයෙකු විය. ඔහු ප්‍රථමවරට අධ්‍යාපන කඳවුරට සම්බන්ධවූයේ 1968 දෙසැම්බර් මිද්දෙණියේදී වන අතර පොලිස් අත්අඩංගුවට ප්‍රථමවරට පත්වූයේ 1970 මින්නේරියේදීය. අප්‍රේල් කැරැල්ලේදී විජේවීර නිදහස්කර ගැනීම සඳහා කරාටේ සැම්සන්, අම්බලන්ගොඩ තිලකසිරි, කොටවල දේවසිරි හිමි යන අයගේ නායකත්වයෙන් විද්දෝදය සරසවියේ සිට යාපනයට බස් රථයකින් ගිය 60 දෙනාගේ කණ්ඩායමට අනුරාධපුරයෙන් එක්වූවෙකි. ප්‍රහාරය අසාර්ථක වීමෙන් පසුව පළාගිය නන්දන පසුව අනුරාධපුර හිරගෙදර 1972 ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයක් එල්ලකර ජවිපෙ සාමාජිකයින් 31 දෙනෙකු නිදහස්කර ගත්තේය. ඒ සමඟම සිරගෙදර සිටි මරුසිරා, හිතුමතේ ජීවිතේ ඇතුළු සාමාන්‍ය සිරකරුවන් 108 දෙනකු ප්‍රහාරයට මුවාවී පලායෑමට සමත්විය. පසුව 1973 මරදාන ටෙක්නිකල් හංදියේදී ගාමිණී බාස්ගේ පාවාදීමක් මත පොලිස් අත්අඩංගුවට පත්විය. යාපනය හිරගෙදරින් 18දෙනෙකු සමඟ පැනගිය මාරසිංහ නැවත අත්අඩංගුවට ගත් අතර නඩුවට ගෙනයන අතරතුරදී කලාවැව දුම්රිය ස්ථානයේදී නැවත පැනගොස් පොල්ගස්ඕවිටදී නැවත අත්අඩංගුවට පත්විය.
ජවිපෙ කැරළිකරුවන් දෙදෙනෙකු 1988 හුංගම ලුණුගම්වෙහෙර මහමඟ මරාදමා සිටියදී.
මාරසිංහ 1978 නිදහස් වීමෙන් පසු කලාව මගින් සමාජය වෙනස්කර ගැනිම ජවිපෙ විමුක්ති ගී ප්‍රසංගයට වැඩි බරක් යොදමින් සමාජවාදී කලා සංගමය හරහා ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. පසුව 1981 ජවිපෙන් මතවාදීව ඉවත්වී රජරට කේන්ද්‍ර කරගනිමින් ජනතා කලා කේන්ද්‍රය නමින් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ගනිමින් කලාව හා සාහිත්‍යයට බරතබා ක්‍රියා කළේය. ජනතා කලා කේන්ද්‍රය පසුව නුවර සහ කුරුණෑගලටද ව්‍යාප්ත කරන ලදී. විමුක්ති ගී බවට විකල්පයක් ලෙස කාලයේ රාවය ප්‍රසංගය බිහිවූයේ ඒ අනුවය. සුනිලා අබේසේකරද එහි ගී ගැයුවාය. අගනුවර කේන්ද්‍ර කරගත් ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂපාතී එන්.ජී.ඕ සංවිධානවල අනුරාධපුර සම්බන්ධීකාරකවරයා වූයේද ඔහුය. ඉන්දු ලංකා ගිවිසුමත් සමඟ 1987 අනුරාධපුර දිස්ත්‍රික් පුරවැසි කමිටුව පිහිටුවා එහි කැඳවුම්කරු විය. ජවිපෙ මගින් අනුරාධපුර පොළ භූමියේදී 1987 නොවැම්බර් 27 ඔහු වෙඩි තබා ඝාතනය කරන ලදී.
උතුරේ කොටි ත්‍රස්තවාදීන් සමඟ ජවිපෙ සම්බන්ධ බවට චෝදනා කරමින් රජය මගින් 1984 අවසානයේදී රටපුරා අලවන ලද ජවිපෙට එරෙහි මඩ පෝස්ටරය. ඇමති ගාමිණී දිසානායකගේ මස්සිනාවූ ආචාර්ය වික්‍රම වීරසූරියගේ සැලසුමක් අනුව වාස් තිලකරත්නගේ රතු භටයෝ කණ්ඩායමේ නායකයෙකුවූ උඩුවගේ හෙන්රි පෙරේරාගේ ප්‍රකාශයක් මත මෙම පෝස්ටරය සකස්විණි.
නන්දන මාරසිංහගේ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රාජපක්ෂ ආරච්චිලාගේ ෂෙල්ටන් රාජපක්ෂ නොහොත් සමන් වීරසිංහ ගම්පහ පහළගම පදිංචිකරුවෙකු වූ අතර මුල්පෙළේ සන්නද්ධ නායකයෙකි. ගම්පහ බණ්ඩාරනායක විදුහලෙන් 1982 අපොස උසස් පෙළ විද්‍යා විෂයෙන් සමත්වූ ඔහු බළල් ඇස්වැනි විශේෂ ලක්ෂණයකින් හෙබි ඔහු ශ්‍රී ලංකාවේ සිටින දුර්ලභ පුද්ගලයෙකු ලෙස 1989 අනුරාධපුර විලච්චියේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු හඳුනාගත් ජාතික බුද්ධ කාර්යාංශයේ පොලිස් නිළධාරි පෙරේරා විසින් වාර්තාකර තිබිණි. ෂෙල්ටන් කොස්ඕවිට, ගම්පහ, අනුරාධපුර පොලිසි සහ බන්ධනාගාරවලද සිටි අතර මැගසින් බන්ධනාගාරයෙන් පලායෑමටද වරෙක සමත් විය. දෙබරවැව සරත්ද ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර පසුව දෙදෙනාම නිදොස් කොට නිදහස් විය. දෙබරවැව සරත් පසුව අවාහ වූයේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකුවූ 1990 මුල් භාගයේදී ආරක්ෂක හමුදා අතින් ඝාතනයට ලක්වූ සිසිර රන්දෙනියගේ වැන්දඹු බිරිඳ සමඟය. ජවිපෙන් අනුරාධපුර දිසා සංවර්ධන සභිකයෙකු ලෙස 1981දී පත්වූ සිසිර, පක්ෂ නායක විජේවීර 1983 ජුලී යටිබිම් ගතවූ විට ඔහු සමඟ සමීපව කටයුතු කල 71 කැරළිකරුවෙකි.
ජවිපෙන් 1982 ඉවත්කල පසු රතු භටයෝ සහ ජවිපෙ නව ප්‍රවණතාවය යන මැයින් සන්නද්ධ වාම කණ්ඩායමක් පිහිටුවීමට ප්‍රයත්න දැරූ හිටපු දේශපාලන මණ්ඩල සභික ඊ.එෆ් ද වාස් තිලකරත්න තෙවරක් ජවිපෙ ඝාතන වලින් බේරී බරපතල තුවාල ලැබූ අයෙකි. ජවිපෙන් ඉවත්වූ පසු නිකවැරටිය බැංකු මංකොල්ලයේ සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කල බවට චෝදනා ලැබීය. පෞද්ගලික බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී වෙඩිතැබූ අතර පසුව තුවාල ලබා බදුල්ල මහ රෝහළට ඇතුල් විය. පසු දින රාත්‍රී මහ රෝහළට පැමිණ වෙඩි තැබුවද ඇදේ සිටියේ වෙනත් රෝගියෙකි. රාත්‍රී කාලයේ ආරක්ෂිත පියවරයක් ලෙස ඔහු වෙනත් රෝගියෙකු සමඟ ඇදන් මාරුකරගෙන තිබිණි. යළිත් කොළඹදී වෙඩි තැබුවද ජීවිතය බේරාගැනිමට ඔහු සමත් විය. හැටේ දශකයේ අවසාන භාගයේදී පේරාදෙණිය සරසවියේ උපාධිය හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙට එක්වි 71 අප්‍රේල් සිදුවිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දිගුකාලීනව සිර දඬුවම් වින්දේය.සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කල ඔහු 1981දී ගම්පහ සංවර්ධන සභාවට තරඟකර ජවිපෙ කණ්ඩායම මෙහෙයවා එහි සභිකයෙකු වශයෙන්ද කටයුතු කරන ලදී. විමුක්ති ගී ප්‍රසංගය සඳහාද අනගි සහායක් ලබාදුන් වාස් සමඟ එක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ පූර්ණකාලීනයින් අතර මීරිගම සමන්, අස්ගිරියේ පියල්, බන්දු, ගනේමුල්ලේ කපිල, කිංස්ලි, සියනෑ පාරේ ජයතිලක, වේයන්ගොඩ සිරිමෙවන්, උදය පොත්හලේ සමන්, අකරවිට සමන්, කොල්වින් ඇතුළු කිහිපදෙනෙක්ද විය.
අත්අඩංගුවට ගත් ජවිපෙ 2වැනි කැරැල්ලේ කැරළිකරුවන් පිරිසක් 1989 ආරක්ෂක හමුදා රැඳවුම් කඳවුරකදී. මෙම රැදවියන්ගේ අත් සහ පා බිත්තියකට සවිකර ඇති දම්වැලකින් ගැටගසා ඇති අයුරු දැක්වේ.
February 27th, 2016 at 10:49 pm
“උතුරේ කොටි ත්‍රස්තවාදීන් සමඟ ජවිපෙ සම්බන්ධ බවට චෝදනා කරමින් රජය මගින් 1984 අවසානයේදී රටපුරා අලවන ලද ජවිපෙට එරෙහි මඩ පෝස්ටරය. ඇමති ගාමිණී දිසානායකගේ මස්සිනාවූ ආචාර්ය වික්‍රම වීරසූරියගේ සැලසුමක් අනුව වාස් තිලකරත්නගේ රතු භටයෝ කණ්ඩායමේ නායකයෙකුවූ උඩුවගේ හෙන්රි පෙරේරාගේ ප්‍රකාශයක් මත මෙම පෝස්ටරය සකස්විණි.”
The Indian terrorist arm and the Sinhala terrorists were both part of the Indian imperialism.
For example a former secretary of the JVP and a founder of EROS are good friends, thanks to Indian imperialists.