පුටින් ඔබට සුබ පැතුම්!
Posted on March 23rd, 2018

කතු වැකිය උපුටා ගැන්ම දිවයින

ජනපති පුටින් යළිත් සිය බලය තහවුරු කරගෙන ඇත. මේ ජාතිකවාදී රුසියානු ජනපතිවරයාගේ ජයග්‍රහණය ගැන මෙරට බහුතරයම සතුටට පත්වන බව අමුතුවෙන් කිවයුතු නැත. ඇත්තෙන්ම ලොව බලවත්ම රාජ්‍ය නායකයා වන්නේ ජනපති පුටින් මිස 70 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් නොවේ. ඇමරිකානු ඔත්තු සේවා පුටින්ට එරෙහිව කුමන්ත්‍රණ දියත් කළ ද ජනපති ට්‍රම්ප් පුටින්ගේ ජයග්‍රහණය ගැන සුබ පැතුවේ රුසියානු නායකයාගේ වැදගත්කම හොඳින්ම දන්නා නිසාවෙනි. ඇමරිකාව ලොව පාලනය කළ යුගය වෙනස්‌ කළ නායකයා වන්නේ පුටින් මිස අනෙකෙක්‌ නොවේ. සිරියාවේ අර්බුදයට මැදිහත් වී අයිසිස්‌ ත්‍රස්‌තයන් සුණු විසුණු කිරීමට පුටින් ලබාදුන් අයෝමය නායකත්වය ලොව පුරා වෙසෙන ත්‍රස්‌ත විරෝධී ජනතාව සැබවින්ම අගය කරන්නකි. එදා ලෝකයම බලා සිටියේ ට්‍රම්ප් පරාජය කරමින් හිලරි ක්‌ලින්ටන් බලයට පත්වනු ඇති බවය. නමුත් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හොඳින් දැන සිටින පුටින් ප්‍රකාශ කළේ කුමක්‌ද? ඇමරිකානු ජනතාව එරට බලවත් ව්‍යාපාරිකයන්ට ද මාධ්‍යයට ද එරෙහි නැගී සිට ඇති බවය. නමුත් ඇමරිකාවේ මෙන්ම බටහිර ලෝකයේ බලවත් මාධ්‍ය පුටින් සිව්වැනි වතාවටත් ජනපතිවීම ගැන සැක සංකා පළ කරති. මැතිවරණය දූෂිත බව ප්‍රකාශ කරති. එහෙත් මේවා සැබවින්ම කුහක ප්‍රකාශ මිස අනෙකක්‌ නොවේ. ලොව පුරාම ජාතිකවාදී රැල්ලක්‌ හමා යයි. එහි ප්‍රධානියා වන්නේ රුසියානු නායකයා පමණි.
 
 65 හැවිරිදි පුටින් එක්‌සත් රුසියා පක්‍ෂයේ නායකයාය. 1999 දී පුටින් අගමැති වන විට රුසියාව ආර්ථික වශයෙන් කුණු වූ තත්ත්වයක පැවතියේය. නමුත් දැන් රුසියාවේ තත්ත්වය කෙසේද? ජනතාව ආර්ථික අතින් ශක්‌තිමත් වී ඇත. එදා පුටින් බලයට පත්වන විට රුසියාවේ හිසරදය බවට පත්ව තිබුණේ චෙච්නියාවයි. නමුත් මේ කැරැල්ල ලෙයින් හා යකඩින් මර්දනය කර ලොවටම ආදර්ශ සපයන්ට ඔහුට හැකි විය. දැන් ඔහු රුසියානු ජාතියේ ආරක්‍ෂකයාය. අද ඔහුට විරුද්ධව නැගී සිටින්නේ බටහිර ලෝකයයි.
 
 පුටින්ගේ ජයග්‍රහණය ගැන බටහිර ලෝකයේ නායකයන් සුබපැතීමට මැලි වන්නේ ද මේ නිසාය. ඇත්තෙන්ම අද රුසියානු අවි බලය ඇමරිකාවටත් අභියෝග කළ හැකිය. එම නිසාම පුටින් ප්‍රකාශ කර සිටියේ කිසිම රටකට රුසියාව පාලනය කළ නොහැකි බවයි. ඇත්තෙන්ම රුසියාව මේ අනභිවනීය තත්ත්වයට පත් වූයේ කෙසේද? ඒ එක්‌ පුද්ගලයකුගේ පාලනය නිසාය. රුසියාවේ කිසිවකු පුටින්ට අභියෝග කරන්නේ නැත. රටක්‌ පාලනය කළ යුත්තේ තනි පුද්ගලයකු පමණි. දෙදෙනකුට රටක්‌ පාලනය කළ නොහැකිය. මේ රුසියානු උදාහරණයෙන් ලංකාව ද පාඩම් උගත යුතුය.
 
 රුසියාව ලොව බලවත්ම රාජ්‍යයක්‌ බවට පත් කිරීමට පුටින්ට හැකි වූයේ යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් නම් නොවේ. ඒවා ක්‍රියාත්මක කරමින් රට ගොඩනැගිය නොහැක. රුසියාව බලවත්වීම බටහිර ලෝකයට ඉවසිය නොහැක. නමුත් අපි මේ ශ්‍රේෂ්ඨ නායකයාට සුබ පතමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress