බෙංගමුවේ නාලක-ඉත්තෑකන්දේ සද්ධාතිස්ස-මාගල්කන්දේ සුදත්ත හිමිවරුන් වහාම අත්අඩංගුවට ගන්න නියෝග
Posted on September 1st, 2018

අමිල අබේරත්න උපුටාගැණීම  මව්බිම

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක, සිහළ රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

මහෙස්ත්‍රාත්වරිය එලෙස නියෝග කරනු ලැබුවේ එම හිමිවරුන් ඇතුළු රාවණා බලය සංවිධානය විසින් ආබාධිත රණවිරුවන් පෙරටු කරගෙන කොළඹ සෙරමික් හන්දිය අසල 2016 වසරේ පැවැත්වූ උද්ඝෝෂණයකදී ගිනි නිවන රථයකට ඇතුළු රජයේ පොදු දේපළවලට හානි කළායැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පවරා ඇති නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජීවනී ප්‍රියංගිකා නමැති ගිහි කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇය පෙරේදා (31) දින අධිකරණයට ඉදිරිපත් වී සිටී.

අඟුලුගල්ලේ සිරි ජිනානන්ද නමැති හිමිනමකට ඉකුත් දිනයකදී අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ වරෙන්තුවක් ආපසු කැඳවනු ලැබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් ගිහි කාන්තාවක වන කංකානම්ලාගේ ශ්‍රියානි නමැත්තියක්ද පෙරේදා (31දා) නඩුවට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටියාය.
නඩුවට අදාළව කිසිදු දිනයක පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරුන් අධිකරණයේ පෙනී නොසිට ඇති අතර පොලිසියද ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.

සිද්ධියට අදාළව එම හිමිවරුන් සියලු දෙනා සැකකරුවන් ලෙස පොලිසිය විසින් නම්කර ඇත.

උද්ඝෝෂණය අතරතුරදී සිදුකර ඇති පහරදීම් මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල නවතා තිබූ ගිනි නිවන රථයකට ඇතුළු රජයේ දේපළවලට හානි සිදුවී ඇති අතර ඒ අනුව පොලිසිය මඟින් ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පවරා ඇත. අසූදාහක පමණ හානියක් සිදුවී ඇති බවට පොලිසිය ගණන් බලා ඇත. කොටුව පොලිසිය මඟින් එම හිමිවරුන් ඇතුළු සෙසු පිරිසට එරෙහිව නඩු පවරා තිබිණි. නඩුව දෙසැම්බර් 7 වැනිදා යළි කැඳවීමට නියමිතය.

One Response to “බෙංගමුවේ නාලක-ඉත්තෑකන්දේ සද්ධාතිස්ස-මාගල්කන්දේ සුදත්ත හිමිවරුන් වහාම අත්අඩංගුවට ගන්න නියෝග”

  1. aloy Says:

    Incident happened in 2016 and action only in 2018. This appears to be a case of misuse of judiciary for political purpose. Perhaps the police is also helpless. SL badly needs a course correction.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress