ආණ්ඩුවේ අය කතාකරන්නේ රාජපක්ෂලාට ජම්පර් අන්දන හැටි විතරයි
Posted on September 11th, 2018

රත්නපුරය – ධර්මප්‍රිය ලියනආරච්චි නිමල් බඳගිරිය උපුටාගැණීම  මව්බිම

යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ ජනතාවට බොරු කියලා, බොරු පොරොන්දු දීලා මහින්ද බලයෙන් පහ කිරීමේ බටහිර බලවතුන්ගේ න්‍යායපත්‍රය හැරුණුවිට ආණ්ඩුවක් පිහිටුවා ඉදිරියට යෑමේ වැඩපිළිවෙළක් ඔවුන්ට තිබුණේ නැහැ. අද රට වැටී තිබෙන මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමේ අභියෝගය අපි භාරගන්නවා. එයට සැලැසුම් හා වැඩ කළ හැකි නායකයෙක් ඉන්නවා. වියත්මඟ සංවිධානය සමඟ එක්ව සකස් කළ ඒ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යෑම ‘එළිය තුළින් සිදුවෙනවා’ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොඩකවෙලදී පැවැසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවැසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි බලයට පත් කළ යුත්තේ මන්ද යන්න පැහැදිලි කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ‘එළිය’ වැඩසටහන යටතේ දීපව්‍යාප්තව පවත්වාගෙන යන සම්මන්ත්‍රණ මාලාවේ රත්නපුර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය ගොඩකවෙල බ්ලූ සැෆයර් හෝටලයේ පැවැති ‘එළිය’ සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය.

ලෝකයේ හැමතැනමත් අයුක්තිය සහ අසාධාරණය සිදුවෙනවා. එහෙත් එයට ඉඩදී සිටීම යුක්තිගරුක බුද්ධිමත් ජනතාවගේ යුතුකම හා වගකීම නෙවෙයි. අපේ රටෙත් සිදුවෙමින් පවතින්නෙ එයයි. පසුගිය 5 වැනිදා කොළඹට එක්වුණු මහා ජන ගඟ ඉටුකළේ අයුක්තියට අසාධාරණයට එරෙහි වුණු යුක්තිගරුක ජනතාවගේ වගකීම සහ යුතුකම ඉටුකිරීමේ තවත් පියවරක් තැබීමයි. ඔවුන් එදා කිව්වේ කරන්න බැරි නම් දාල යන්න. කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ වගේ නායකයෙක්ට රට දෙන්න කියන එකයි.

ඒත් මම දන්නෙ නැහැ බලෙන් බලයේ එල්ලී හිටින අගමැතිවරයාට ඒ දෙය තේරුණාද කියන එක.

මම හිතන්නෙ ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා ඔහුට ඒ කරුණු පහදා දෙන්න. මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් කෙනකුට දෙන්න අඩුම වශයෙන් ඔහුවත් තේරුම් ගත යුතුයි.

අද වන විට බොහෝ ව්‍යාපාරිකයන් කියන දෙයක් තමයි මේ ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තිය තුළ තමන්ගෙ ව්‍යාපාර කඩා වැටිලා තිබෙන බව. ඒ වගේම රටේ ආරක්ෂාව, සදාචාරය විශාල වශයෙන් කඩා වැටෙමින් පිරිහෙමින් තිබෙනවා.

අපි යුතුකමක් හැටියට මේ තත්ත්වයට විසඳුම් සොයන්න මහින්ද ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඉදිරිපත් වුණා.

මේ ආණ්ඩුව බලයට පත් වුණේ බොරු විශාල සංඛ්‍යාවක් කියලයි. නොමඟ යවලයි. ඔවුන් බලයට පත්වුණත් ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ. සූදානමක් තිබුණේ නැහැ. සුදුසු කණ්ඩායමක් ඔවුන්ට හිටියෙත් නැහැ. ඒ නිසයි අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.
ඒත් අපිට ඒ වගේ ගැටලුවක් නැහැ. අපිට ඒ සඳහා ප්‍රතිපත්තියක් තියෙනවා.

වැඩපිළිවෙළක් තියෙනවා. ක්‍රියාත්මක කිරීමට හැකි කණ්ඩායමක් අපට ඉන්නවා. එදා අපි සකස් කරපු මහින්ද චින්තන වැඩපිළිවෙළ අපට තියෙනවා. අපි ඒක තවදුරටත් ක්‍රියාවට නංවනවා.

සමහරු අහනවා අපිට මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. අපි ඒකට දෙන උත්තරේ තමයි එදා අපෙන් ඇහුව කාලයක් තිස්සෙ ඔඩුදුවලා තිබුණු යුද්ධය නිමා කරන්න පුළුවන්ද කියන එක. ඒ වෙලාවෙ ඒ අභියෝගය ජයගත්ත මට මේක ජයගන්න එක වැඩක් නෙවෙයි කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා.

යුද්ධය නිම කළාටත් වඩා වැදගත් වෙන්නෙ. පශ්චාත් යුද සමයේ මේ රට සංවර්ධනය කරපු කාර්යයි. ඡන්දයක් තියල උතුරු පළාත් සභාව ස්ථාපනය කළා. සමහරු ඒකට විරුද්ධ වෙනවා ඇති. ආයුධ දැරූ කණ්ඩායම් නිරායුධ කළා. සාධාරණ ඡන්දයක් සඳහා ඔවුන්ව නිරායුධ කිරීම අවශ්‍ය වුණා.

අපි හැම ඡන්දයක්ම වෙලාවට තිබ්බා. අද ඒක වෙන්නෙ නැහැ. මොනවහරි කරල ඡන්ද කල් දමනවා. අපිට අවශ්‍යව තිබෙන්නෙ ජනතාවට මේ අවශ්‍යතා ලබාදීමයි.

අද රටට ව්‍යවසායකයන් ගෙනඑන්න පුළුවන් වාතාවරණයක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතා එයට සුදුසු වාතාවරණයක් ඇති කළා. අද කොළඹ කොටුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින හැම ව්‍යාපෘතියක්ම ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ. එහෙත් ඒවා නිසි වෙලාවට නිම කරන්නට ලැබුණෙ නැහැ. මේ ආණ්ඩුව සිදු කළ අනිසි මැදිහත්වීම් නිසා ඒ අය අපිට ඒ බව කියනවා. ෂැංග්‍රිලා ව්‍යාපෘතිය ඒ වගෙයි.

නැවත වරක් මේ රට ගොඩනඟන්න නම් මහින්ද රාජපක්ෂ වගේ නායකයකු රට භාරගත යුතුයි කියන එකයි අපි කියන්නේ. මේ ආණ්ඩුවේ හැම කෙනාම කතා කරන්නෙ රාජපක්ෂලාට ජම්පර් අන්දවන හැටි මිසක් රට කරවන හැටි නෙවෙයි.

පොලිස්පතිවරයාගේ හැසිරීම මට පුදුමයි. එයා නිල ඇඳුම ඇඳගෙන ජනාධිපතිවරයා ඉදිරියේ නටනවා. මෙහෙම පොලිස්පතිවරයෙක් තියාගෙන කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නෙ.

දැන් ඉතාම භයානක ආණ්ඩුක්‍රම සංශෝධනයක් සිදුවෙමින් පවතිනවා. එහෙම ඉඩදිය යුතු නැහැ. ඒවා ඉතාම භයානකයි. ජනතාව දැනගත යුතුයි. ඒවා නවත්වන්න හැම උත්සාහයක්ම ගත යුතුයි. ඒකාබද්ධ විපක්ෂය එහි වගකීම අරගෙන තිබීම සතුටට කරුණක්.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

උතුරු පළාත් සභාවත් දැන් යමින් සිටින්නේ ඊළාම් රාජ්‍යයක් කරායි. මේ රජය බලයට පත් වුණේ 2015 පෙබරවාරි 8 වැනිදා. උතුරු පළාත් සභාව පෙබරවාරි 10 වැනිදා යෝජනාවක් සම්මත කරගන්නවා. ඒ යෝජනාවේ කියනවා සියලුම රජයන් දෙමළ ජනතාව සමූල ඝාතනය කළා. ආණ්ඩුව සැලැසුම් සහගතව දෙමළ ජනතාවට ලිංගික අතවර කළා.

සංස්කෘතිය සහ භාෂාව විකෘති කළා. හමුදාව දෙමළ කාන්තාවන්ට කඳවුරු තුළ ලිංගික හිංසා කළා කියලා කියනවා. මේ යෝජනා සම්මත කර ගැනීම තුළ සිදුවන්නේ වෙනම රාජ්‍යයක් කරා යෑමේ ජාත්‍යන්තර අවශ්‍යතා සම්මත කර ගැනීමයි. මේවා සිදුවෙද්දී මේ ආණ්ඩුව නිහඬයි.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා

මේ ආණ්ඩුව බලයට පත් වුණේ කිසිම ආර්ථික සැලැසුමක් නැතිව. කිසිම දෙයකට කිසිම සැලැසුමක් නැහැ. කළේ නිකම් කාලය නාස්ති කරපු එක විතරයි.

රත්නපුරය – ධර්මප්‍රිය ලියනආරච්චි
නිමල් බඳගිරිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress