අරලිය ගහ මැඳුරේ ලැගගෙන රනිල් ලිච්ඡවීන්ටත් අගෞරව කරනවා
Posted on December 1st, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

අරලියගහ මන්දිරය සිරිකොතේ ශාඛාවක් බවට පත් කරගෙන එජාපය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් රටට විහිළු සපයනවා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ එසේ පැවැසුවේ ඊයේ (28දා) නාරාහේන්පිටදී පැවිදි හඬ සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ. මේ රටේ ඉතිහාසයේ කුමන ව්‍යසනයකදී වුවත් මහා සංඝරත්නය මුල් වෙලා රට බේරා ගෙන තිබෙනවා. අද ඇති වී තිබෙන ව්‍යාකූලත්වයෙන් රට බේරා ගන්නට සිටින පිරිසක් මහා සංඝරත්නයයි.

අද රටේ පාලකයෙක් නැහැ. විධායකය කියන දේ ව්‍යවස්ථාදායකය කරන්නේ නැහැ. ව්‍යවස්ථාදායකය කියන දේ විධායකය නොකරන අරාජිකත්වයක් උදාවෙලා. මෙහෙම ගියොත් විදේශ රටක් අපේ රට ගිල ගනීවි.!
මීට වසර තුනහමාරකට පෙර වෙනසක් අපේක්ෂාවෙන් ජනතාව ඡන්දය දුන්නා. ඒ වෙනස ව්‍යසනයක් බවට පත් වෙලා. මේ විපතින් රට බේරා ගන්න නම් වහාම මහ මැතිවරණයකට යා යුතුයි.

එජාපය ජනාධිපතිවරණයක් ඉල්ලනවා. ඒත් ව්‍යවස්ථානුකූලව ඊට හැකියාවක් නැහැ. අර්බුදය තියෙන තැනට නෙවෙයි ඔවුන් විසඳුම් ඉදිරිපත් කරන්නෙ.

දෙවරක් පැරදිච්ච මහින්ද රාජපක්ෂට අගමැති දීමෙන් රට විනාශ වන බව රනිල් වික්‍රමසිංහ කියනවා. ඒත් ඔහු 29 වරක් පැරදිලයි එහෙම කියන්නෙ.

විදේශිකයන් ගෙන්වා ඔවුන්ගේ බලපෑම් මත මේ රට පාලනය කිරීමට එජාපය කටයුතු කරනවා. ඒත් ඒකට මහා සංඝරත්නය ඉඩ දෙන්නේ නැති බව අවධාරණය කරනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වේවිද කියලා අපි දන්නේ නැහැ. ඒත් ජනතා පරමාධිපත්‍යය විමසන්නේ නැතිව මේ දේශපාලන අරාජිකත්වයෙන් රට ගොඩනඟන්න බැහැ.
එජාප ආණ්ඩුව දෙසැම්බර් 7 වැනිදා රට බෙදන ව්‍යවස්ථාව ගේන්නට සූදානමින් සිටියා. ඒත් දළදා හිමිගේ ආශීර්වාදය තිබෙන මේ රටේ ඒක කරන්න බැරි වී තිබෙනවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය වේපතඉර හේමාලෝක හිමි

අද පාර්ලිමේන්තුව පාලනය කරගන්න කථානායකතුමාට බැහැ. පාර්ලිමේන්තුවට පිහි අරගෙන එනවා. ළමයිනුත් ඒවා ආදර්ශයට ගෙන ඇන කොටා ගන්නවා.

රනිල් වික්‍රමසිංහ කතා කළේ ලිච්ඡවී පාලනයක් ගැන. ඒත් වසර තුනහමාරක් පාලනය කළේ සාකච්ඡා සම්මුතිවලින් තොරව බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ ලිච්ඡවීන්ටත් අගෞරව කරනවා.
පැවිදි හඬ සංවිධානයේ ලේකම් ගොම්බද්දල දමිත හිමි
එජාප, ජවිපෙ, සහ දෙමළ සන්ධාන මන්ත්‍රිවරු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත යුතු බව කියනවා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු විය යුත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නෙවෙයි. ලක්ෂ 225ක් වන ජනතාවගෙනුයි එම ප්‍රජාතන්ත්‍රවාදය ගැන විමසිය යුතු වෙන්නේ.

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
තමන් මරා දැමීම සඳහා කුමන්ත්‍රණයක් ජනාධිපතිවරයා හෙළි කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඇතුළු පිරිසකගේ නම් හෙළි වෙලා. ජනාධිපති මැරුණොත් ඊළඟට එම ධුරය හමු වෙන්නෙ අගමැතිට.

දෙමළ සන්ධානය හා ජවිපෙ අමුතු භූමිකාවක නිරත වෙනවා. රනිල් වික්‍රමසිංහ අල්ලා ගෙන ජාතිවාදී අරමුණු ඉටු නොවීමෙන් ඇති වී තිබෙන දුක නිසා දෙමළ සන්ධානය දුක් ගී කියනවා. සුමන්තිරන් කියන දේ විතරයි කිරිඇල්ල අහන්නෙ. වාඩි වෙයන් කියලා සුමන්තිරන් කියන විට කිරිඇල්ල වාඩි වෙනවා.

කොළඹ නාගරික මන්ත්‍රි ගලගම ධම්මරංසි හිමි
පාර්ලිමේන්තුව තුළ අද සිටින්නේ දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී පිරිසක්. ඒක සතුන් වත්තක් බවට පත් වෙලා. මන්ත්‍රිවරුන්ගේ මිල ගණන් කෝටි 50ට විකිණෙනවා. රටට, ජාතියට වැඩක් නැති එවැනි මුදලකට යටවෙන පිරිසකගෙන් රටට වැඩක් නැහැ.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress