ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට දෙන්න.
Posted on December 5th, 2018

ලසන්ත වික්රමසිංහ (ලේකම්තොරතුරු තාක්ෂන වෘත්තීයවේදීන්ගේ සංසදය)

මේ මොහොතේ රටේ ඇතිවී තිබෙන තත්වය, ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම සෑම රටවැසියෙකුගේම යුතුකමක් හා වගකීමක් වෙනවා. ඒ නිසා තමයි අපි තීරණය කළේ මේ සම්බන්ධව සාධාරණ අපක්ෂපාතී මතයක් ජනතාවගේ පැත්තේ සිට ඉදිරිපත් කළ යුතු කියා.

ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් නොවැම්බර් 29 වන දින ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මඟින් ඉල්ලා සිටින්නේ ඔක්තෝම්බර 26 වැනිදාට පෙර තත්වයක් යළි ඇති කරන ලෙසයි. එසේම කතානායක කරූ ජයසූරිය මහතා විසින් නොවැම්බර් 5 වන දින නිකුත් කරන ලද නිවේදනයේද සඳහන් වන්නේ පෙර පැවති තත්වය ඔහුට පිලිගන්නට සිදු වන බවකි. එසේ නම් ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති තත්වය කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීම අත්‍යවශ්‍යය කාරණයක්.

ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවතියේ එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව සාදාගත් ජාතික ආණ්ඩුවකි. මන්ත්‍රීවරුන් 16 ක් පමණක් හිමි දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා විපක්ෂ නායකවරයා විය. ආසන 6ක් පමණක් හිමි ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විය. එපමණක් නොව, විපක්ෂ නායක මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද ආණ්ඩු පක්ෂයේම ඉත්තන් දෙදෙනෙකු වූ බව මෙරට පොදු ජනයාට රහසක් නොවීය. ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති පාර්ලිමේන්තුව තුළ මේ රටේ ජනතාවගේ මතය  නිවැරදි ලෙස නියෝජනය නොවූ බව කිසිදු මධ්‍යස්ථ පුද්ගලයෙකුට බැහැර කළ නොහැකියි. එනම් ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය අනුව, ප්‍රජාතන්ත්‍ර විරෝධී පාර්ලිමේන්තුවක්.

දැන්, ආර්. සම්බන්බධන් ඔක්තෝම්බර් 26 වනදාට පෙර පැවති තත්වය යනුවෙන් අදහස් කරන්නේ තමන්ට නැවත විපක්ෂ නායක කම ලබාගැනීමත්, එක්සත් ජාතික පෙරමුණේ අයෙකු අගමැති කරවීමත් යළි සිදු කරන්න කියන එකයි. එසේම කතානායකවරයා පෙර පැවති තත්වය පිලිගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි නැත. ඔක්තෝමබර් 26 වනදා, ප්‍රථමයෙන්ම සිදු වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමඟම පාර්ලිමේන්තුවේ සංසුතිය වෙනස් වීමයි. එනිසා ඊට පෙර පැවති තත්වයක් ඇති කිරීමට නම් යළි එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ එක්ව ආණ්ඩුවක් පිහිටවිය යුතුය. ආර්. සම්බන්ධන් මහතා හෝ කරූ ජයසූරිය මහතා හෝ එවැන්නක් සඳහා ප්‍රකාශ නිකුත් කිරීම විහිළුවකි.

මේ මොහොතේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව 122 ක පමණ සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව තුළ සිටින බව සත්‍යක්. නමුත් දෙමළ ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ආණ්ඩුවක් සකස් කරන බව මෙතෙක් ප්‍රකාශ කර නැත. එවැනි තත්වයක් තුළ එම 122 න් එම පක්ෂ දෙකේ මන්ත්‍රීන් සංඛ්‍යාව අඩු කළ විට එක්සත් ජාතික පෙරමුණ සමඟ මන්ත්‍රී වරුන් 100ක් පමණ සිටින බව පේනවා. 225න් 122 අඩු කළ විට, ආණ්ඩු පක්ෂය සමඟ 103 ක් පමණ මන්ත්‍රීවරුන් සිටින බව හිතන්න පුලුවන්.  එනිසා පැහැදිලිවම කිසිදු පාර්ශවයකට  පාර්ලිමේන්තුව තුළ 113 ක බහුතරයක් නැත. නමුත් පාර්ලිමේන්තුවේ දැනට වැඩිම පිරිසක් සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායමට බව පෙනෙන්නට තියෙනවා. සුළුතර ආණ්ඩු නීතිවිරෝධී නැහැ. 2005 දී මහින්ද රාජපක්ෂ රජය ආරම්භ කරන ලද්දේ සුලුතර ආණ්ඩුවක් ලෙසයි. ඉන් පෙරද යම් යම් අවස්ථාවල ශ්‍රී ලංකාවේ සුලුතර ආණ්ඩු තිබුණා. නමුත් සුළුතර ආණ්ඩුවකට වැඩ කරගෙන යාම අපහසුයි.

ඊට විරුද්ධ පාර්ශය විසින් ස්ථාවර නියෝගවලට අනුව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම හෝ පනතක් පරාජය කිරීම හෝ සිදු කළ හැකිය. නමුත් යළිත් වරක් පාර්ලිමේන්තුව තුළ වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා වන්නේ කුමන පාර්ශවයක අයෙක්ද කියන ගැටලුව මතු වෙනවා. දෙමළ ජාතික සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ සිටිමින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවකට සහය දිය නොහැකිය. එනිසා රට නැවත වතාවක් පත් වන්නේ තීරණයක් නොමැති තත්වයකටයි.

එවැනි අවස්ථාවක කළ යුතු සුදුසුම දෙය පාර්ලිමේන්තුව විසුරුවා හැර මහජනතාව කැමති ආණ්ඩුවක් සකස් කරන්නට ඉඩ ලබා දීම බව අවිවාදිතය. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි. නමුත් දැන් ඇති වී තිබෙන ගැටලුව වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඒ සඳහා ප්‍රතිපාදන අහුරා ඇතිද යන්නයි. යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එසේ තීරණය කළහොත් , 19 වන ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින්ම ප්‍රජාතන්ත්‍රවිරෝධී ව්‍යවස්ථා සංශෝධනයක් බව ඉන් කියැවේ. එසේම 2002 දී එවැනිම වූ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වූ අවස්ථාවකදී සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජනාධිපතිවරයා සතු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල ඉවත් කිරීම මඟින් ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායකය අතර ඇති බලතුලනය බිඳ වැටී ජනතා පරමාධිපත්‍ය බලයට හානි වන බවට තීරණය කර ඇති බව අප අමතක කළ යුතු නැත. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ශ්‍රේෂ්ටාධිකරණය වෙත ගිය අවස්ථාවේ ඒ නඩු තීන්දුව අමතක වී ඇති බවක් නීති විශාරදයෝ පෙන්වා දෙති. ඒ නිසා දැන් ඉතාම පැහැදිලියි ශ්‍රේෂ්ටාධිකරණය 2002 දුන්නු තීන්දුව කොතරම් නිවැරදි ද කියන කාරණයත් , 19 වන ව්‍යවස්ථා සංශෝධනය කොතරම් ව්‍යවසනයක්ද කියන කාරණයත්.

ඇමරිකාව සහ බරහිර රටවල් විසින් ඉරාකයට, ලිබියාවට, සිරියාවට, යේමනයට,  ලබා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය අපට මතකයි. ඔවුන් කිව්වේ ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙනවා කියලයි. නමුත් ඔවුන් ඒ රටවලට කළ දේ අප කවුරුත් දන්නවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන සටන් පාටය බොරුවට අතේ තියාගෙන ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය වළක්වන්න කටයුතු කිරීම ඉතාම භයානක ප්‍රතිපල අත්කරලා දෙන්න පුලුවන්.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න හැකියාව ඇතැයි අධිකරණය තීන්දු කළොත් ජනතාවට තමන් කැමති රජයක් තෝරන්න අවස්ථාව ලැබිලා ප්‍රජාතන්ත්‍රවාදයට මඟ විවර වනවා. එහෙම නොවුනත් ප්‍රජාතන්ත්‍රවාදයට ඇති මඟ ඇහිරෙනවා. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉන්නේ අපේ ජනතා නියෝජිතයින් නම් ඔවුන්ගේ වගකීම විය යුත්තේ එක එක ආතභූත තර්ක ඈදාගෙන මේ රටේ ජනතාවගෙන් ප්‍රජාතන්ත්‍රවාදය උදුරා නොගෙන සියලු දෙනාගේම කැමැත්තෙන් පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණයකට යාමට යෝජනාවක් සම්මත කරගැනීමයි.

ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබා දීම පැත්තක තියලා තානාපති කාර්යාල එක්ක කුමන්ත්‍රණය කරලා රට අස්ථාවර නොකර පාර්ලිමේන්තුව විසුරුවලා මහමැතිවරණයක් පවත්වා, “තානාපති ප්‍රජාතන්ත්‍රවාදය” පරදා “ජනතා ප්‍රජාතන්ත්‍රවාදය” ස්ථාපිත කරන්න මැදිහත් වෙන්න කියලා සියලු පාර්ශව වෙතින් මේ රටේ වෘත්තිකයන් ලෙස අප ඉල්ලා සිටිනවා. කාට හරි ‘මහ මැතිවරණයක් එපා!’ කියලා සටන් කරන්න ඕනා නම්, මහ මැතිවරණයක් එපා කියලා සටන් කරන්න. එහෙම නැතුව, ජනතාවගේ ඡන්ද බලය උඳුරගන්න සටන් කරලා, ඒකට “ප්‍රජාතන්ත්‍රවාදය” කියලා ව්‍යාජ ලේබල් අලවලා, වචනවල අර්ථ විකෘති කරලා ජනතාව රැවටීමට කටයුතු නොකළ යුතු බව අපි සියලුම මහජන නියෝජිතයන්ට අවධාරණය කරනවා.

ඉංජිනේරු කපිල පෙරේරා, (සභාපති, තොරතුරු තාක්ෂණ වෘත්තීය වේදීන්ගේ සංසදය)

 

රටේ අධිකාරි බලය සතු විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන තුනම තවමත් අසමත් වෙලා තියෙනවා මේ පවතින අර්බුදයට විසඳුමක් දෙන්න. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ලබාදුන් තීරණ සියල්ලෙන්ම සිදුවුණේ තත්වය තව තවත් ව්‍යාකුල බවට පත්වීම. මේ අර්බුදය එක් වරම ඇතිවූ යමක් ලෙස හෝ දේශපාලන හෝ ව්‍යවස්ථා අර්බුදයක් ලෙස හෝ කුමන්ත්‍රණ හෝ බල අරගල ලෙස හෝ ලඝු කොට නිර්වචනය කළ නොහැකියි.

අද පවතින තත්වයට රට පත්වුණේ, ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති යුගයක අවසාන ප්‍රතිපලය ලෙස. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව සිංගප්පූරු ගිවිසුම අත්සන් කෙරුණා. පනත් රාශියක් අධිකරණයට එකක් පෙන්නා පසුව කාරකසභා අවස්ථාවල වෙනස් කරලා සම්මත කළා. ජනතාවගේ වෘත්තිකයන්ගේ, විද්වතුන්ගේ හඬට සවන් නොදී, කවුරු කෙසේ කීවත් එට්කා ආදී රට වනසන ගිවිසුම් අත්සන් කරන බවට හිටපු අගමැති සපත කළා. රට බෙදන, රට විකුණන සහ හොරා කන ප්‍රතිපත්තියක කටයුතු සිද්ධ වුණා. මේ වගේ යහපාලනය සම්මුති වාදය වගේ ලේබල් ගහගෙන ඊට සම්පූර්ණයෙන්ම පරස්පර ආකාරයේ කටයුතු කෙරෙමින් පැවතුණා. ප්‍රජාතන්ත්‍රවාදයෙහි මූලිකම අංගයක් වූ ඡන්දය දිනෙන් දිනම ජනතාවගෙන් ඈත් කළා.

ඉන්පසුව සභාග ආණ්ඩුව අවසන් වෙනවා ආණ්ඩු පාර්ශවයේ පාර්ශවයන් වෙන් වීමත් සමග. තවදුරටත් පැවති ආණ්ඩුව වලංගු වෙන්නේ නෑ එයින් මතුවට. එතැන් සිට බොහෝ දේ සිදුවෙනවා, වියවුලෙන් වියවුලට පත්වෙන ආකාරයේ. පවතින ව්‍යවස්ථාව සහ නීතිරීති මත එකවර තීරණයක් නොදී අධිකරණය අතුරු තහනම් නියෝග ආදිය පනවමින් කල්ගන්නා අතරේ විවිධ පාර්ශව බොරදියේ මාළු බාමින්, පාර්ලිමේන්තුවේ රැස්වෙමින් නොගැලපෙන ක්‍රියා රාශියක් සිදුවෙනවා.

පැහැදිලිව ජනතාව ලෙස අපි මේ පවතින වාතාවරණයට විරුද්ධයි. මේ විකාර විගඩම් සියල්ල අවසන් කලයුතුයි. නමුත් මීට පෙර පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියටත් විරුද්ධයි. ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහුණු රාජ්‍යයක් පවත්වාගෙන යාමේ ප්‍රතිපලය තමා අද අපි මේ දකින්නේ. එම නිසා දැන් මේ සිදුවීම් සියල්ලේ නිවැරදි කොතනදැයි විමසීමට නොහැක්කේ පෙර පැවති රජයේ ක්‍රියාවලිය ආරම්භයේ සිටම වැරදි වූ හෙයිනි. ඒ ගෙන ආ ප්‍රතිපත්ති මත රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම ආදී වූ මැති ඇමතිවරු ඉවත් කිරීම නිවැරදි බවත් එය අපි ඉල්ලා සිටි ප්‍රධානාම ඉල්ලීමකි. එහෙත් නව අගමැතිවරයෙක් පත්කිරීමට ජනාධිපති තුමාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලය කෙසේ වෙතත්, මෙවන් අර්බුධකාරී මොහොතක වඩාත් ගැලපෙන්නේ ජනතා වරමක් සහිතව නැවත පාර්ලිමෙතුවතුවක් පත්වීමට ඉඩ හැරීමයි. මේ මොහොතේ එයින් අවාසි සිදුවන පාර්ශවයන් ඊට විරුද්ධ වුවත්, මැතිවරණයක් හමුවේ සහ ඉන් මතුව නැවත මහා වැස්සකින් අනතුරුව මෙන් පෙරමෙන් රටක් ලෙස පිය මනිනු ඇත. ඒ ජනතාවගේ පරමාධිපත්‍යය හමුවේ සියල්ල නිහඬ වන හෙයින්. වෙනත් කිසිදු විසඳුමක් සාර්ථක නොවන අතර අවුලෙන් වියවුලට රට ඇදගෙන යනු ඇත. එනිසා ජනතාව සහ රටේ සියලු බල අධිකාරීන් බොරදියේ මාළු බෑමට හෝ විසඳුම් ගෙන නොඑන අසාර්ථක කෙස්පැලෙන තර්ක මතුකිරීමෙන් ඉවත්ව මීට ඇති එකම තිරසාර විසඳුම වන මැතිවරණයක් සඳහා මග සැලසිය යුතුය. අද රට පුරා මේ ඉල්ලීම තදින් මතුවෙමින් පවතියි.

එහෙයින්ම  රටේ අධිකාරි බලය සතු සියලු ආයතන වල වගකීම වන්නේ මේ මොහොතේ මහා මැතිවරණයක් හරහා රට ස්ථාවර වීමට ඉඩ සැලසීමය. ජනතාවගේ පරමාධිපත්‍ය අත්පත් කොට නොගෙන ජනතාව අතටම පත් කිරීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress