මහා මැතිවරණයක් වහාම පවත්වන්න ඕනෑ ජනතා පරමාධිපත්‍යයට එරෙහිවීම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පිටුපෑමක- සරත් එන්. සිල්වා
Posted on December 5th, 2018

ශිරාන් රණසිංහ උපුටාගැණීම  මව්බිම

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ඇත්තේ ජනතා පරමාධිපත්‍යය ආරක්‍ෂා කිරීමට යැයිද කවුරු හෝ එම ජනතා අයිතියට එරෙහිවන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවීමකැයි හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පැවැසීය.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මේ බව කියා සිටියේ ජාතික එකමුතුව මඟින් සංවිධානය කළ ‘ජනවරමට අවසරයි’ යන තේමාව යටතේ ඊයේ (03 වැනිදා) සවස මරදානේ පැවැති රැස්වීමකදීය.
මෙම රැස්වීම සඳහා සිවිල් සංවිධාන නියෝජනය කරමින් වෘත්තිකයන් ඇතුළු සංවිධාන 27ක නියෝජිතයන් එක්ව සිටි අතර රැලිය නැරැඹීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම රැලිය ඊයේ සවස 3.00ට පමණ ආරම්භ වූ අතර එහිදී රැලියට එක්වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා මෙසේද පැවැසීය.

‘රට බරපතළ අර්බුදයකට ගිහින්. මම මේ රැස්වීමට එන්න තීරණය කළෙත් මේ අර්බුදය ඉතා තීරණාත්මක තැනකට ඇවිත් තිබෙන නිසයි.’

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව විසුරුවීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටයි. ආණ්ඩුව විසුරුවීමට ගත් තීරණය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටෙව්වා. මහ මැතිවරණය පැත්තක එල්ලලා. අභියාචනාධිකරණය විසින් කැබිනට් මණ්ඩලයත් පැත්තකින් එල්ලලා දාලා ඔක්කොම ටික එල්ලලා. රට කරන්න බෑ. ජනතාව ඒ නිසයි මේ බලාගෙ ඉන්නේ සිදුවන දේ දිහා.

හැමදේම එල්ලලා හරියන්නේ නෑ. රනිල්ට ඒක හරි වෙන්න පුළුවන්. නමුත් රටට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුවක්. එක එක දේවල් එල්ලලා තියලා හරියන්නේ නෑ.’

‘මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද? රටක ව්‍යවස්ථාව අස්ථාවර කරලා රටක් ගෙනියන්න බෑ. වසර පනහකට වඩා මට තියෙන අත්දැකීම්වලින් තමයි මම කියන්නේ’

‘1931 සර්වජන ඡන්ද බලය ලැබුණට පස්සේ රට තුළ කිසි දවසක මෙවැනි අස්ථාවර තත්ත්වයක් ඇතිවෙලා නෑ. ජනතාවගේ ඉවසීම ඉතා වැදගත්. එය උත්තම තත්ත්වයක්. උත්තරීතරයි.

අද වන විට ඡන්ද බලය උදුරාගෙන තියෙන්නෙ. රට මේ වගේ තත්ත්වයකට කවදාවත් පත්වෙලා නෑ. අලුත් වචන දාලා තමයි මේ දේ කරලා තියෙන්නෙ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ඇත්තේ ජනතා පරමාධිපත්‍ය ආරක්‍ෂා කරන ආයතනයි. කවුරු හරි ඒ ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යය නවත්වනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිවීමක්. නීතියේ සර්ව සාධාරණ තත්ත්වය එයයි. ඇයි මේ අය ඡන්දවලට බය.

රට දිනෙන් දින කඩා වැටෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. ඩොලරය නඟිනවා. අන්ධ භූතයෝ වගේ ඉඳලා පුළුවන්ද? ඊට පස්සේ මේ අය කියයි රට බංකොලොත් වෙලා කියලා. මතු පරපුරට වගකිව යුත්තේ වත්මන් පරපුරයි. පළාත් පාලන ඡන්ද කල්දාලා කල්දාලා අන්තිමට තියලා පරාජය වුණා. ඒක තමයි ජනතාවගේ කැමැත්ත.

විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න: ටිබෙටයේ උපන් එස්. මහින්ද හිමියෝ ලංකාවට ඇවිත් කවි ලිව්වා. ජාතිය අවදි කළා ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ කියලා ඒ හිමියෝ ලීවා. ජාතිය, ආගමටත් වඩා මුලින්ම රැක ගත යුත්තේ රටයි.

අපට කුරිරු ත්‍රස්තවාදය තාමත් මතකයි. අපේ තරුණ කාලය ගෙව්වේ කැලේ. නමුත් අපිට දුක නෑ. අපි රට වෙනුවෙන් අපේ යුතුකම ඉටු කළා. ඒ සතුට අපිට තියෙනවා. මඩකළපුවේ පොලිසියේ දෙදෙනෙක් ඊයේ පෙරේදා මියයන තෙක් යුද්ධෙන් පසු කිසිදෙයක් වුණේ නෑ. පසුගිය වසර තුනහමාරක කාලයේදී රනිල් ඇතුළු එ.ජා.ප. කොටි පැටවුට කිරි පෙව්වා. ඒක තමයි යළි යුද්ධයක් ඇතිවීමට නොදී මේ රට රකින පිරිසකට රට භාරදිය යුතුයි.

යුතුකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග: රට පුරාම බෝම්බ පිපුරුණු හැටි මතකයි. රණවිරුවන් ජීවිත පරිත්‍යාග කළා. සිවිල් ජනතාව බෝම්බවලට බිලිවුණා. එදා බේරාගත් රට යළි විනාශ වෙන්න ඉඩදිය යුතු නෑ.

බෙංගමුවේ නාලක හිමි: රෝම, ලන්දේසි නීතියේ බොහෝ අඩුපාඩු තියෙනවා. ජනතාව ඉල්ලන්නේ මහ මැතිවරණයක්. තමන් කැමැති කැමැති අය තෝරා ගන්න ජනතාවට ඉඩදිය යුතුයි. මේ රට රකින දේශීය මිනිසා මහින්දයි. විදේශීය මිනිසා රනිල්. මහ බැංකුව කඩපු අයට තව ඕනෑම පහත් දෙයක් කළ හැකියි.

ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මහ ලේකම් මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන: ඔක්තෝබර් 26 වැනිදා වන විට මේ රට පංචමහා භීෂණයකට ලක්වෙලයි තිබුණේ. පංචමහා අනතුරකට ලක්වෙලයි තිබුණේ. එවැනි මොහොතක තමයි මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ රට භාර ගත්තේ. ඒ ගත්ත නිවැරැදි, එඩිතර තීරණයට විශ්වවිද්‍යාල ආචාර්යවරු ලෙස අපි ආශීර්වාද එක්කළා.

මේ රට කෑලි කෑලිවලට කඩලා විනාශ කරන්න විජාතික බලවේග ක්‍රියාත්මක වෙමින් තිබුණ මොහොතකයි මහින්ද මහත්තයා මේ රට භාර ගත්තේ.

බැඳුම්කර හොරකමට සම්බන්ධ මහ හොරු අල්ලන්න තමයි මහින්ද රට භාර ගත්තෙ. අනාදිමත් කාලයක සිට මේ රට තුළ තිබූ සංස්කෘතිය විනාශ කරලා.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වෙනුවෙන් කතා කළ වෛද්‍ය නිමල් කරුණාසිරි: මේ අය දිගටම රට කන්නයි ඉල්ලන්නෙ. එදා අපි සිංගප්පූරු ගිවිසුමට එරෙහි වුණා. රටේ වටිනා සම්පත් ටික කුණු කොල්ලයට පිටරටවලට විකුණනවට අපි විරුද්ධ වුණා.

ශිරාන් රණසිංහ

ඡායාරූප: උදේශ් රණසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress