ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ සායනික කුණු ගැටලූව ඔඩු දුවයි. හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට ඩෙංගු…
Posted on December 24th, 2018

ජනමාධ්‍ය නිවේදනයයි ! සමස්ත ලංකා හෙද සංගමය

පසුගිය ඔක්තෝබර් මාසයේදී බරපතල තර්ජනයක් ලෙස ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුළ මතුව ආ සායනික අපද්‍රව්‍ය බැහැරලීමේ ක‍්‍රියාවලිය නැවතත් රෝගීන්ට, කාර්ය මණ්ඩලයට හා පරිසරයට බරපතල ගැටලූ ඇති කරවමින් තිබේ. මේ වනවිට ඉතා විශාල අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් ජාතික රෝහලේ අපස්මාර ගොඩනැගිල්ල පිටුපස ගොඩගසා තිබේ. මේවා මාස එකහමාරක පමණ කාලයක සිට එකතු වූ මිනිසුන් ගැවසෙන ස්ථානවල නොතැබිය යුතු අවදානම් ගණයේ කසළය. මේවා තුළ ශල්‍යාගාරවලින් ඉවත් කරන කුඩා ශරීර කොටස්, ලේ, සැරව මිශ‍්‍රිත ගෝස් පුළුන්, ග්ලවුස්, ඉඳිකටු, ශල්‍ය බ්ලේඞ් තල හා සිරින්ජර ආදිය වේ.

පසුගිය කාලයේදී බරපතල ගැටලූවක් බවට පත්වූ සායනික අපද්‍රව්‍ය ගැටලූවට ඉවත් කිරීමට අදාළව විධිමත් වැඩපිළිවෙලක් සැකසීමට සෞඛ්‍ය බලධාරීන්ට තවමත් නොහැකි වී තිබේ. මෙහි අවදානම පිළිබඳව ජනමාධ්‍ය සහ සමස්ත ලංකා හෙද සංගමය සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දුන්නද, එහිදී සෞඛ්‍ය ඇමතිවරයාගෙන් නිකුත් වූයේ අවලාදාත්මක ප‍්‍රකාශයන්ය.

පසුගිය මාස 02 ක කාලය තුළ පැවැති දේශපාලන බල අරගලය තුළ සෞඛ්‍ය සේවාව තුළ ජනතාවට සෘජුව බලපෑ ගැටලූ සමාජගත නොවූ තත්ත්වයක් තුළ සායනික අපද්‍රව්‍ය ගැටලූව මෙන්ම ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශයේ පටකවේදීය පරීක්ෂණ සඳහා භාවිතා කළ ඉඳිකටු නොමැති වීම තුළ රෝගීන් විඳින පීඩාව, විකිරණ අංශයේ ෘී් යන්ත‍්‍රය මිලදී ගැනීමේ ටෙන්ඩර් අර්බුදය ඇතුළු බොහෝ සෞඛ්‍ය සේවාවේ ගැටලූ ජනතාවගේ අවධානයට ලක් නොවීය. ඒ තුළ අහිංසක රෝගීන් මෙන්ම රෝහල් සේවකයා ද බලවත් පීඩාවකට පත්ව ඇත.
කුණු ගැටලූවට විසඳුම් නොමැති තත්ත්වය තුළ ජාතික රෝහලේ ඩෙංගු රෝගය ද හිස ඔසවමින් තිබේ. අද වනවිට හෙද නිලධාරීන් තිදෙනෙකු ඩෙංගු රෝගය වැළඳීමෙන් නේවාසිකව ප‍්‍රතිකාර ලබති. තවත් සේවකයින් පිරිසකට ඩෙංගු රෝගය වැළඳී තිබේ. මේ තත්ත්වය තුළ ජාතික රෝහලේ සේවය කරන හෙද/හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය බරපතල අවදානමකට මුහුණපා සිටී. මීට පෙරදී ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් තරඟයට මෙන් ඩෙංගු ශ‍්‍රමදාන, ඩෙංගු තුරන් කිරීමේ සති නම් කළ ද අද වනවිට ඔවුනට ඒවා අමතකව ඇති තත්ත්වයක් දක්නට ඇත.

මෙරට සෞඛ්‍ය සේවාවේ මහගෙදර වන ශ‍්‍රී ලංකා ජාතික රෝහල තුළ ඩෙංගු රෝගය හිස එසවීම ඉතා බරපතලය. තවමත් එම ඩෙංගු මදුරුවන් බෝ වූ ස්ථාන හෝ සොයා ගෙන නොමැති තත්ත්වයක් තුළ ජාතික රෝහලේ අනිකුත් හෙද/හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයත්, රෝගීනුත් ඩෙංගු වැළඳීමේ අනතුරකට ද මුහුණපා සිටී.

එබැවින්, සායනික කුණු ගැටලූවත්, අත්‍යාවශ්‍ය උපකරණ මිලදී ගැනීමත් ජාතික රෝහල තුළ මතුව එමින් ඇති ඩෙංගු පැතිරීම වැළැක්වීමටත් අදාළව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රෝගී වූ හෙද නිලධාරීන්ට අවශ්‍ය සියලූ ප‍්‍රතිකාර හා පහසුකම් ලබාදීමටත් වහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,එච්.එම්.එස්.බී. මැදිවත්ත
වැඩබලන සභාපති
සමස්ත ලංකා හෙද සංගමය –

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress