රිෂාඩ්ට ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කරන්නැයි ඒකාබද්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Posted on July 11th, 2019

නාලක සංජීව දහනායක උපුටාගැණීම ලංකාදීප

සතොස ආයතනයට රුපියල් මිලියන 5000ක පාඩුවක් සිදුකර ඇති බවට හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එල්ලවීඇති චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන මෙන් ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අද (11) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ වංචා හා දූෂණ හෙළි කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ටොප් -20 වැඩසටහන යටතේ දොළොස්වැනි පැමිණිල්ල ලෙස හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී චානක මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකළහ.

හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ව්‍යාපාර වලට සම්බන්ධ පුද්ගලයන් 52 සතොස ආයතනයට බඳවාගෙන ඔවුන්ට එම ආයතනය මගින් ඔවුන්ට වැටුප් ගෙවා රුපියල් ලක්‍ෂ සියයක පමණ පාඩුවක් සිදුකිරීම, හිතවතකුගේ නමින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන යමින් එම නාලිකාවට මසකට සතොස ආයතනය මගින් රුපියල් ලක්‍ෂ 15 බැගින් ගෙවා සතොසට රුපියල් ලක්‍ෂයක පමණ පාඩුවක් සිදුකිරීම පිළිබඳව මන්ත‍්‍රීවරයාට එරෙහිව චෝදනා නගා ඇත.

එමෙන්ම සතොස ආයතනයේ ගබඩාවක සහල් මෙට්‍රික්ටොන් 80000 ක් පමණ තිබියදී එම ආයතනයටම අමතරව සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් පමණ ආනයනය කිරීමෙන් සතොස ආයතනයට රුපියල් බිලියන දෙකහමාරකට අධික පාඩුවක් සිදුකිරීම පිළිබඳව චෝදනා එල්ල කර තිබේ.

එමෙන්ම  එම සහල් තොගය නිෂ්කාෂණය හා ප‍්‍රවාහනය කිරීම සඳහා කිසිඳු ඇපකරයකින් තොරව අමාත්‍යවරයාගේ හිතවතකුවන ලිවර්පූල් නැවිගේෂන් නැමැති ආයතනයේ සභාපතිවරයා වූ වින්සේද්‍ර රාජන් නැමැත්තාට සතොස මගින් රුපියල් මිලියන 1224ක් අත්තිකාරම් මුදල් ලෙස ගෙවා ඇති අතර එසේ ගෙවන ලද මුදලින් රුපියල් මිලියන 267ක මුදලක් මේ දක්වා සතොස ආයතනයට නොගෙවීම සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල මගින් චෝදනා නගා තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress