තවම ව්‍යවස්ථානුකුලව සම්මත නොවූ 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ විජේදාස රාජපක්ෂ මහතාගේ කළු සුදු කිරීමේ 21 හා 22
Posted on January 9th, 2020

හර්ෂ කුමාර් සුරියආරච්චි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විශාල දේශප්‍රේමී ජනතා චන්දයකින් තේරී පත් වුනි. එතුමාගෙන් ජනතාව අපේක්ෂා කල කාර්යයන් ඉටු කෙරීමට එතුමා සුදානම් බව පෙනේ. නමුත් එතුමාම කිහිප වරක් පවසා ඇති පරිදි ඊනියා 19 වන ව්‍යවස්ථා සංශෝධනය එතුමාගේ කාර්යයට විශාල බාධාවක් වී තිබේ.

ජනාධිපති තුමා දිවුරුම් දෙන අවස්ථාවේදී නිවැරදි ව, රටේ ආරක්ෂක අමාත්‍ය වරයා ලෙස කටයුතු කරන බව ජාතියට දැනුම් දෙන ලදී. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවම ව්‍යවස්ථානුකුලව සම්මත වී නැති බැවින් එතුමා ගේ එම ප්‍රකාශය නිවැරදිය. නමුත් තවමත් ආරක්ෂක අමාත්‍ය ධුරය එතුමා පවරා ගෙන නැත්තේ, 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වී ඇතැයි වැරදි මතයක් එතුමාට ලබා දී ඇති නිසා විය හැක.

තවම නිත්‍යයානුකුලව සම්මත වී නැති, එම නිසාම කෙටුම්පතක් පමණක් වන්නක් රටේ ආරක්ෂාවට සහ දියුණුවට අහිතකර ලෙස බලපෑමට ඉඩ දෙන්නේ ඇයි දැයි සොයා බලමු.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ ජනතාවටයි. පවතින ව්‍යවස්ථාවේ මුලධර්ම වලට පටහැනි නොවන සංශෝධන කිරීමේ බලය පමණක් ජනතාව විසින් පාර්ලිමේන්තුවට පවරා දී ඇත. එම මුලධර්ම වලට පටහැනි සංශෝධන කල හැක්කේ ජනමත විචාරණයකින් ජනතාව ගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව පමණකි.

19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ව්‍යවස්ථානුකුලව සම්මත වී නැති බව

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව යම් කිසි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සම්මත කල හැකි ක්‍රම වේදය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම” වශයෙන් XII වන පරිච්චේදයේ 82 වන හා 83 වන ව්‍යවස්ථා මගින් දක්වා ඇත.

එම 82 හා 83 ව්‍යවස්ථා දෙකටම අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පරිලිමෙන්තුවේ 2/3 චන්දයකින් සම්මත කර ජනමතවිචාරණයක් පවත්වා ජනතාව එය අනුමත කළහොත් ජනාධිපති තුමා විසින් ඒ බව සටහන් කර අත්සන් තැබූ විට පමණක් ඒ පනත් කෙටුම්පත නිතිය බවට පත් වේ. තවම 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව ජනමත විචාරණයක් පවත්වා නැත. එම නිසා එය තවම නීතියක් නොවේ. මේ වන විට බලපැවැත්වෙන්නේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය තෙක් වූ ව්‍යවස්ථා සංශෝධන පමණකි.

82 හා 83 ව්‍යවස්ථා වලින් 83 වැනි ව්‍යවස්ථාව බලවත් වේ. (මෙහි ව්‍යවස්ථා වශයෙන් පවසන්නේ ව්‍යවස්ථාවේ යම් ආංකික වගන්තියක් සලකන්නේ එම ආංකික ව්‍යවස්ථාව ලෙස බැවිනි. එය ව්‍යවස්ථා සංශෝධන සමග පටලවා  නොගත යුතුය. මෙතෙක් 1978 ව්‍යවස්ථාව තුල ඇත්තේ සංශෝධන 17 ක් පමණි. 12 වැනි සංශෝධනයක් නැත. එමනිසා 18 වන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස නම් කල සංශෝධනයක් පවතී). 83 වැනි ව්‍යවස්ථාව පවසන අරුත වන්නේ,  ව්‍යවස්ථා සංශෝධනය සදහා වූ යම් කිසි පනත් කෙටුම්පතක් 82 වැනි ව්‍යවස්ථාවට අනුකුල වුවත්,  එම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවේ 1,2,3,6,7,8,9,10,11 යන ව්‍යවස්ථා හෝ 30(2), 62(20) යන අනු ව්‍යවස්ථා වලට අනුකුල නොවන්නා වූ කාරණා සහිත පනත් කෙටුම්පතක් නම් එය පාර්ලිමේන්තුවේ දී  2/3 චන්දයකින් සම්මත කල පසු ජනමත විචාරණයකින්  ජනතාව සම්මත කර ඒ බව ජනාධිපති තුමා සහතික කරන තෙක් එම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් බවට පත් නොවන බවය.

ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ශ්‍රේෂ්ඨාධිකරණය 2002 වසරේදී අග විනිසුරු ප්‍රමුඛ සත් දෙනකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් තීරණය කර ඇති පරිදි, ජනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසිරීමට ඇති බලය අහිමි කිරීම වසර 3කට වඩා වැඩි වන්නේනම් එය 3වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවයි. එසේනම් යම් ව්‍යවස්ථා සංශෝධනයක් එම උල්ලංඝනය සිදු කරන්නේනම්  එම සංශෝධනය නිතිය බවට පත්වීමට 83 වන ව්‍යවස්ථාවට අනුව කටයුතු කල යුතුය. ඒ අනුව පාර්ලිමේන්තුවේ දී  2/3 චන්දයකින් සම්මත කල පසු ජනමත විචාරණයකින්  ජනතාව සම්මත කර ඒ බව ජනාධිපති තුමා සහතික කල යුතුය. එසේ කරන තෙක් එම කෙටුම්පත නීතියක් බවට පත් නොවේ. 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිමේ බලය වසර 4 1/2ක් තෙක් අහිමි කර ඇත්තේය.

තව දුරටත් මේ බව, 2018 දී සත් දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් දෙන ලද තීන්දුවෙන්, පාර්ලිමේන්තුව් 2/3ක සම්මතය පමණක් ලබා ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුව ජනාධිපති තුමාට පාර්ලිමේන්තුව විසිරවීමට ඇති බලය වසර 4 1/2 තෙක් අහිමි කර ඇති බව පැහැදිලි කර තිබේ. එනයින් 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව තහවුරු වේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් මෙකී උල්ලංඝනය සිදු වී ඇති බැවින් එය නීතියක් බවට පත් වීමට 83 වන ව්‍යවස්ථාවට අනුව අවශ්‍ය ජනමත විචාරණය පවත්වා නොමැති බැවින් සහ ඒ අනුව ජනාධිපතිතුමාගේ සහතිකය ලබා දී නොමැති බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවම නීතියක් වී නොමැත.

මෙසේ නීතියක් වී නොමැති 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස සලකමින් පාර්ලිමේන්තුව හෝ  විධායකය හෝ  අධිකරණය හෝ  කටයුතු කරන්නේනම් එය එම ආයතනයන් විසින් ජනතා පරමාධිපත්‍යය කොල්ල කෑමකි. ජනතාව විසින් එම ආයතන වලට ලබා දුන් විශ්වාසය භංග කිරීමකි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් මිට අමතරව 30(2) අනු ව්‍යවස්ථාවද සංශෝධනය වී ඇත. එයින් මෙතෙක් පැවති ජනාධිපති ධුර කාලය වසර 6 සිට වසර 5 දක්වා සංශෝධනය කර ඇත. 83 වන ව්‍යවස්ථාවෙන් පවසන්නේ 30(2) අනු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. (ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පරිවර්තනය මෙහිදී නිවැරදි නැත. එවැනි ගැටළුවක් පවතින විට සිංහල මුල් ව්‍යවස්ථාවට අනුව කටයුතු කල යුතුය.) මෙම කාරණය අරභයාද 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතියක් බවට පත්වීමට ජනමත විචාරණයක් පවත්වා එය ජනාධිපතිතුමා විසින් සහතික කල යුතුය. එසේ අවශ්‍ය ජනමත විචාරණය පවත්වා නොමැති බැවින් සහ ඒ අනුව ජනාධිපතිතුමාගේ සහතිකය ලබා දී නොමැති බැවින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවම නීතියක් වී නොමැත.

ව්‍යවස්ථානුකුලව නීතියක් නොවුවක් ව්‍යවස්ථානුකුල නීතියක් ලෙස ගෙන කටයුතු කරන සියළු දෙනාම එසේ කිරීමෙන් ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන්නන් බවට පත් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය 2018 දී 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අරභයා නඩුවක් කතා කිරීම නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතිගත වී ඇති බවට සාවද්‍ය මතයක් සමහරුන් තුල පවතී. මෙම ලිපියේ මුලින් සදහන් කල පරිදි ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව යම් කිසි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සම්මත කල හැකි ක්‍රම වේදය “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම” වශයෙන් XII වන පරිච්චේදයේ 82 වන හා 83 වන ව්‍යවස්ථා මගින් දක්වා තිබේ. 82 හා 83 ව්‍යවස්ථාවන් වල හෝ ව්‍යවස්ථාවේ වෙන මොනයම් තැනක හෝ ජනමතවිචරනයකින් සම්මත කල යුතු ව්‍යවස්ථා සංශෝධනයක් එසේ නොකොට ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් පිළිගැනීම මගින් සම්මත කල හැකි යැයි ප්‍රතිපාදන සලසා නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවම නීතියක් වී නොමැත. ව්‍යවස්ථානුකුලව දැනට වලංගු වන්නේ 18 වන සංශෝධනය දක්වා වූ ව්‍යවස්ථා සංශෝධන පමණි.

මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර මතු ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

හර්ෂ කුමාර් සුරියආරච්චි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress