RANJANGATE SCANDAL – මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි – ගිහාන් පිලපිටිය ගැනත් නිර්දේශ – පද්මිණී රණවක ඇතුළු තිදෙනාගෙන්ම ප්‍රකාශ ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග
Posted on January 16th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස්

ආන්දෝලනාත්මක දුරකථන සංවාද හේතුවෙන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111/02 /බී වගන්තිය යටතේ ඇඹිලිපිටියේ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

එම වගන්ති අනුව මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමේදී මෙන්ම ඉවත් කිරීමේදී ද, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා කටයුතු කළ යුතුයි.

මේ අතර, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.

අද දිනයේදී මෙම දැනුම්දීම සිදුකළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.

>අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, විනිසුරුවරුන් කිහිපදෙනෙකු හා පැවැත්වූ හඬ පට කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමෙන් අනතුරුව ජනමාධ්‍ය නාලිකා ඔස්සේ ද එය විකාශය කරනු ලැබුවා

ඒ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි එන්.රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය හා පැවැත්වූ හඬ පට කිහිපයක් ඇතුළත්. ඊට අමතරව, හිටපු කඩුවෙල මහේස්ත්‍රාත් මෙන්ම, වත්මන් බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අතර පැවැත්වූ වීඩියෝ පටයක් ද ඇතුළත් වනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විනිසුරුවරුන් හා පැවැත්වූ මෙම සංවාද සම්බන්ධයෙන් අදාළ විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට අද දැනුම්දී ඇත්තේ.

මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ දුරකථන සංවාද ඇතුළත් හඬ පට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත් කර ඇති අතර, මේ වනවිටත් ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවයි කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කළේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇති.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ වනවිට මැගසින් බන්ධනාගාරයේ සී – වාට්ටුවේ රඳවා සිටිනවා.

බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගත කරන සැකකරුවන් රඳවා තබන සාමාන්‍ය වාට්ටුවක මන්ත්‍රීවරයා රඳවා තබා ඇති බවයි.

මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ අද බන්ධනාගාරයට පැමිණියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress