මැතිවරණ කොමිසම රෙද්ද ගලවාගත් “නොමේරූ උපදෙස් FB පෝස්ට් එක”
Posted on June 18th, 2020

රජිත් කීර්ති තෙන්නකෝන්

FB සටහනක් ‘රී – පොස්ට් කිරීම‘ සම්බන්ධයෙන් දකුණේ පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගෙන් නිදහසට කරුණු විමසන ලෙස, ම.කො. උපදෙස් පරිදි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ‘ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්ට ලිපියක් යොමු කර ඇත. මැ.කො. ට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇති නිසා‘ මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි කොමසාරිස් ජනරාල් සමන් ලියා ඇත.

නිදහස්, ස්වාධීන යැයි ලේබල් ගසා ගෙන ඇති මැ.කො. තම අමන තකතීරු, බල රහිත සහ හිතුවක්කාරී තීරණ පෙරළා ප්‍රශ්න කළ පෝස්ට් එකක් ෂෙයා කිරීමට කුපිත වී ඇත.

සැබවින්ම, මැ.කො. කෝප වී ඇත්තේ පෝස්ට් එක ෂෙයා කළ මිනිස්සු එක්ක නොව, එය ලියූ ගාමිණී ගුණසේකර Gamini Gunasekara සමග ය. වචනයකින් හෝ තමන් ප්‍රශ්න කරන සමස්ත රාජ්‍ය සේවයට පාඩමක් ඉගැන්වීමට මැතිවරණ කොමිසම දරන්නේ කැත-ලැජ්ජාසහගත – නින්දිත උත්සාහයකි. කළු වලාවේ දිරී රේඛාව, ප.පා. සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නයේ දී මැ.කො. කොතරම් ‘නොමේරූ, උපදෙස්‘ ක්‍රම විරෝධී හා උද්දච්ච අයුරකින් වැඩ කරන්නේ ද යන්න ලෝකයට හෙළිවීමය.

පළාත් පාලන නීතිය අනුව පළාත් පාලන කොමසාරිස්වරයෙකුට පළාත් පාලන ආයතනයක සභිකයෙකු සම්බන්ධයෙන් නිවාඩු ගැන්වීමට, බලපෑම් කිරීමට කිසිදු නෛතික හැකියාවක් නැත. මහා මැතිවරණයට නාම යෝජනා බාර දී ඇති පළාත් පාලන ආයතන සභාපති, උපසභාපතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා මැ.කො. කිසිදු වගකීමක් නැති ලිපි ගණනාවක් උපදෙස් ලෙස යොමු කර ඇත.
පළාත් පාලන කොමසාරිස්වරු සිටින්නේ ස්වාධීන පලාත් පාලන ආයතන පාලනය කිරීමට නොව ‘අධීක්ෂණය, සම්බන්ධීකරණය, මගපෙන්වීම හා සහයා ලබාදීමට‘ ය.

දකුණ, බස්නාහිර, ඌව ඇතුළු පළාත් ගණනාවක පළාත් පාලන කොමසාරිවරුන් හරහා ‘කොස්ඇට බාවන්නට‘ මැතිවරණ කොමිසන් සභාව දැරූ උත්සාහයට කිසිදු නෛතික පදනමක් නැත. මහා නගර සභා ආඥා පනතේ 13(2), නගර සභා ආඥා පනතේ 12(2) හා ප්‍රාදේශිය සභා පනතේ 7 යන වගන්තිවලට පිටින් පලාත් පාලන ආයතන ප්‍රධානීන් හා සභිකයින් නිවාඩු ගැනීමට හැකිද? මහ නගර සභා පනත අනුව, ප.පා.කො. ට වාර්ෂික වාර්තාවක් සකස් කරවා ගැනීමට වැඩි බලයක් නැත. එසේ තිබියදී, මැ.කො. පලාත් පාලන කොමසාරිස්ට නිවාඩු ගැන නොමේරූ උපදෙස් ලිපි ලිවීමේ තේරුම කුමක් ද?

මේ ප්‍රශ්නය මතු වූ විට පළාත් පාලන කේෂ්ත්‍රෙය් කිහිප දෙනෙක් ඒ ගැන කතා කළේය. ප්‍රශ්නය අවුල් ජාලාවක් වන විට, ගුණසේකර මේ ගැන මෙහි පළමුවන කොමෙන්ට් එක ලෙස දැක්වෙන ෆෙස් බුක් සටහනක් තැබීය. මේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් ව සිටි සේනක පල්ලියගුරුගේ එය ශෙයා කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විහ්වාසය බිද වැටෙන ආකාරයෙන් ලිපි මගින් හා ෆේස්බුක් සටහන් මගින් කටයුතු කර ඇතැයි‘ මහින්ද දේශප්‍රිය, රත්නජීවන් හූල්, අබේසේකර යන කෙසේ ගසේ සිට නියපොත්ත දක්වා ප්‍රජාතන්ත්‍රවාදය වැගිරෙන කොමිෂන් සභාවේ සමාජිකයින්ට හැගී ගොස් ඇත්තේ මෙයයි.
(ඡායාරූපය බලන්න) අපි එහි වගන්තියෙන් වගන්තිය බලමු.

1. ගාමිණී ගේ සරළ නෛතික පැහැදිලි කිරීම තම වෝල් එකේ පළ කරන බව සේනක කියයි. කරුණු වශයෙන් ගාමිණී කියන්නේ ඇත්තය! මැතිවරණ කොමිසම පලාත් පාලන කොමසාරිස්ට පළාත් පාලන ආයතනයක සභාපති සම්බන්ධයෙන් ඇති බලය මෙහි කියා ඇත. ගාමිණී ගේ මැදිහත්වීම, මැ.කො. කලිසම ගැලවී ඇතැයි කොමිසමටත්, කොමසාරිස් ජනරාල් ටත් හැගී යාම අප තේරුම් ගත යුත්තේ ‘ගාමිණි ගේ තර්කය නිවැරදි බව ඕනෑම පළාත් පාලන ආයතනයක ලේකම්වරයෙකු වුවත් හොදින්ම දන්නා බැවිනි.

2. දෙවැනි ඡේදයෙන් සේනක මැ.කො. ගැන මෙසේ කියයි. (අ) ‘නෛතික වපසරිය ඉක්මවා‘ – ඔව්. මේ මහා මැතිවරණයට ඉදිරිපත් වන 60 කට වැඩි පිරිසක් අතුරින් තෝරාගත් පිරිසකට පමණක් නිවාඩු ගැන බලපෑම් කිරීමට ‘පලාත් පාලන කොමසාරිස්ට බල කිරීම‘ නෛතික පරිසරය ඉක්මවා යාමකි. (උදාහරණ සමග පසුව සාකච්ඡා කරමු) (ආ) නොමේරූ උපදෙස් – සත්තකින්ම, කොමිසම දී ඇත්තේ නොමේරු උපදෙසකි. තක්කඩි, බාලාංශ පන්තියේ උපදෙසකි. ඒ බව පළාත් පාලන කොමාසාරිස්වරු සිව් දෙනෙකු මැ.කො. ට ලිඛිතව දක්වා ඇත. ඒ එකක් ගැන වත් තැකීමක් කරන්න මැ.කෝ. ට සිහි බුද්ධියක් තිබී නැත. මැ.කො. අඩුම ගානේ මහා මැතිවරණයට ඉදිරිපත්වන සියලු පලාත් පාලන ආයතන නියෝජිතයින්ට එක ලෙස සලකන්නේ නැත. නිවාඩු ගන්නට කියා ජූනි 17 සවස 6 දක්වාම ලිඛිත උපදෙසක් දී නැත. පිටිසර අහිංසක මහියංගනයේ සබාපතිට සලකන ආකාරයට මොරටුවේ, ජයවර්ධනපුර නගරාධිපතිවරුන්ට සලකන්නේ ද නැත. (එකිනෙක ඉදිරියේ දී කථා කරමු) (ඇ) – ‘පරිපාලනය අවුල්වීමට හේතුවක් වන බව‘ සේනක කියයි. මහියංගනය, මොරටුව, මහරගම ගැන ගත් කළ එය සත්‍යයකි. (ජා ඇළ, මොරටුව, මහියංගනය ගැන සවිස්තරව පසුව කථා කරමු)

3. තෙවන ඡේදයෙන් සේනක, මුල් ලේඛකයා ලියූ වැකිය ‘බළලුන් ලවා කොස් ඇට බෑවීම‘ නැවත උපුටා ඇති අතර, ‘එපා වාහේට හොදි බෙදන්නා වාගේ‘ යැයි කියයි. මැ.කො. ප.පා.කො.වරු මීයන් ලෙස සලකා මරණයට පෙර සෙල්ලම් කරන විට, ඒ උපහැරනය ලාචෝරු වැඩිය.

දේශප්‍රිය, හූල් ප්‍රමුඛ මැ.කො. රටට පෙන්වන්නේ තමන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාවුන් ලෙසය. නිවාඩු ප්‍රශ්නයේ දී, ඔවුන්ගේ සැබෑ ස්වරූපය, එක එක පුද්ගලයාට වෙන් වෙන්ව සැලකීම හොදින්ම හෙළිදරව් වී ඇත. අද මැ.කො. ට අවශ්‍යව ඇත්තේ තමන්ට එරෙහිව වචනයක් හෝ කියන රාජ්‍ය සේවකයින් සියළු දෙනා නිහඩ කොට ඔවුන්ගෙන් වහළුන්ගෙන් මෙන් වැඩ ගැනීමටය. ඒ සදහා, තමන්ට නැති බලයක්, ආරෝපනය කර ගනී. මේ රටේ ‘ස්වාධීන කොමිෂන් සභා‘ පිහිටවනු ලැබූවේ රාජ්‍ය සේවකයින් තලා පෙළමින් මෙවැනි මරි මෝඩ වැඩ කිරීම නම් නොවේ. පළාත් පාලන ආයතන වල සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නය විසදිය යුත්තේ මැ.කො. මිස පලාත් පාලන කොමසාරිස්වරු නොවේ. මැ.කො. නොහැකියාවට රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛන වල එල්ලීම ලැජ්ජා නැති වැඩකි.

අතීත කථාවකි කියමි. 2008 නැගෙනහිර පළාත් සභා මැතිවරණ ලංකාවේ දුෂිතම මැතිවරණයකි. එදා මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිට ‘ඒ බව කීවෙමි. මගේ වැඩ තහනම් කොට විනය පරීක්ෂණයක් පැවැත්වුණි. ලංකාවේ අන්ත දුෂිත නැගෙනහිර මැතිවරණයට ‘දුෂිත යැයි‘ නොකීම තරම් අපහාසයක් තවත් නැත! පළාත් පාලන සභිකයින්ගේ නිවාඩු ප්‍රශ්නය විසදා ගත නොහැකිව දගලන මැ.කො. අදටත් මොරටුව, ජයවර්ධනපුර නිවාඩු ප්‍රශ්නය විසදා නැත. මැ.කො. ට හත්පොළේ ගා ගැනීම හොදය. ගාමිණී ඒ බව පෝස්ට් එකකින් කීමත්, සේනක එය ශෙයා කිරීමත් විනය විරෝධීය! බම්බුව තමයි!!

කෝවිඩ් තත්වය, හේතුවෙන් මැතිවරණයට ගැටළු ඇති වූ විට එය නිර්මාණාත්මව කලමනාකරණය කර ගැනීම වෙනුවට මැ.කෝ. දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකට එළැඹියේය. ජනාධිපතිවරයාගේ අතට බලය ලැබීම වලක්වා ගැනීමට දින දමා ගැසට් ගැහුවේය. දැන් ‘රාජා හෙළුවෙන්‘ යැයි ලියූ ගාමිණී ගේ ලිපියේ එල්ලී සිටී. ඕව් රජා හෙළුවෙන්‘ තමා යැයි කියූ සේනකට විනය පරීක්ෂණ යෝජනා කොට ඇත. කැතයි – ලැජ්ජයි – නින්දිතයි!

සේනක ලියූ සටහනින්, ‘‘මැතිවරණ කොමිෂන් සභාවට ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට සිදු වන්නට, මහජන විශ්වාසය බිද වැටෙන්නට, සරණ පාරේ ඇත්තේ බිත්තර කටු කොමිසමක් ද?

ජනාධිපතිවරණයක දී බලයේ සිටින ජනාධිපතිවරයා සිය ධූරයේ කටයුතු කරමින් ඡන්දය කරයි. අගමැති, කැබිනට් මණ්ඩලය එසේම කරයි. නමුත්, පළාත් පාලන ආයතනයක සභිකයෙකුට නිවාඩු ලබා, මහජන දේපල අයථා පරිහරණයකින් තොරව මහා මැතිවරණයකට ඉදිරිපත්වීමේ ක්‍රමයක් නීත්‍යානුකූලව සකසන්නට මැ.කො. ට හැකිව නැත. ඒ නොහැකියාවට පලාත් පාලන කොමසාරිස්වරු පළි නැත. එබැවින්, මැ.කො. රාජ්‍ය පරිපාලන ලේකම්ට ලියා ඇති ‘විනය පරීක්ෂණ යෝජනාව‘ ඉවත් කර ගත යුතුය.

සේනක ගේ ඡේද තුනේන් ‘අගෞරවයට, අපහසුතාවට, අප්‍රසාදයට පත් වන අයුරින් හා මහජන විශ්වාසය බිද වැටෙන‘ වා යැයි තවදුරටත් මැ.කො. සභාව සිතන්නේ නම්, එහි තේමා පාඨය විය යුත්තේ නම් ‘නමට ප්‍රජාතන්ත්‍රවාදය – ශෙයා කළොත් විනය පරීක්ෂණ‘ යි.

රජිත් කීර්ති තෙන්නකෝන්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress