අයි.සී.ටී.ඒජන්සිය හා පරිගණකය ගමට ගෙනයාම
Posted on December 11th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,.Ph.D.

මහාචාර්ය චරිත හේරත්,
සභාපති, කෝප් කොමිටුව
පාර්ලිමේන්තුව
සිංහලේ (සිලෝන්)

මන්ත්‍රීතුමණි,

කෝප් කොමිටුව ගැන ඒ කාලේ අප අසා ඇත්තේ, බර්‌නාඩ් සොයිසා එය කරණ කාලයේ ඊට රටේ නිලධාරීන්ගේ තිබුණ ගෞරවය හා පිළිගැනීම පිළිඹඳවය. ඒ කාලයේ වුනත්, එංගලන්තයේදී මෙන් නොව, මේ සංකල්පයෙන් රටට එතරම් වැඩක් වුනේ නැතැය යන්න මගේ අදහසය. එය පාලක <කළුසුද්දන්> විසින් කරගෙන ගිය මිස්මැනේජ්මන්ට් සෙල්ලමට දුන් බොරු සැරසිල්ලක් පමණක් විය. මෑත කාලයේ කෝප් කොමිටු වල රඟ ගැන ෆුට්නෝට් කල්ලියේ වැඩවලින් එලිවිය.

රටේ සිදුවිය යුත්තේ විශාල විපර්‌යාසයක්‌ය. <මඩ්ලිං ත්‍ර‌ෑ ෆ්රූගලිටි> හෙවත් පැලැස්තර න්‍යාය තව කෙතරම් දුරක් යාවිද? ජනාධිපති ගෝටාව, බලයට ගෙනා හාමුදුරුවරු හා රටේ සිංහල බෞද්‌ධ ජනතාව බලා පොරොත්තු වන්නේ ප්‍රඥාවන්තව, දැඩි, සාධාරණ, තීරණ ගන්නා පාලන තන්ත්‍රයක් මඟින් රට ප්‍රාපතයෙන් ගොඩ ගැනීමය. ඔබගේ නායකත්‌වයෙන් ඇති කෝප් කොමිටුව නිර්දේශ දෙනවා වෙනුවට ඉන් ඉදිරියට ගොස් දඬුවම්ද දෙන ආයුධයක් ලෙස සංශොධනය වෙනවා නම් මිස ඔබලාගේ ව්‍යායාම හුදෙක් ගඟට ඉණි කැපීම් නොවේද කියා සිතේ. සිස්ටම් එක වෙනස් කල යුතු සිස්ටම් එක මගින්ම බවද (ලිංකටෙන්ම ගොඩaේම) බෞද්‌ධයින් වශයෙන් අප නොදන්නවාද නොවේ.

මෙම සංදේශය ඔබතුමා වෙත එවන්නට තීරණය කලේ මේ දිනවල ඔබේ කොමිටිය විසින් තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන ආයතනය සම්බන්‌ධයෙන් සොයා ගත් අයථා ක්‍රියා මාධ්‍යවල වාර්‌තා වෙනවා දුටු විටය (ඉකොනොමිනෙක්ස්ට්, 10/12/2020). මෙම ආයතනය පිහිටුවීමේ සිටම රටට හානියක්ම ගෙනා ආයතනයක් විය. එයට මුල සිටම ගෑවී ඇත්තේ, (ප්‍රොපෙසර් සමරනායක හැර) කබල් කළුසුද්දන් පිරිසක් බව අතීත ඉතිහාස වා‌ර්‌තා බැලුවොත් පෙනී යනවා ඇත. ගමට පරිගණකය ගෙනයාම, ගමට ඉංග්‍රීසි ගෙනයාම යනාදි නොයෙක් තේමා හරහා මෙය කරගෙන ගිය වැඩ ගැන කිසිවෙකු දන්නේ නැත.

මේ ආයතනය කෑදරයෙන් බදාගෙන (මම මෙය පුද්ගලිකවම දනිමි) අපැහැදිලි චක්‍ර ලේඛන යැවූ ජනාධිපති ලේකම්ව සිටි ලලිත් වීරතුංග හෝ චන්දකාලයේ ඔහුට වෙබ් ආධාර කල නිසා මංගල සමරවීර විසින් මෙයට ගෙනා පසුව වංචා කොට අසුවූ මුහුන්දන් හෝ මෙහි ඉන්නා කොන්ත්‍රාත් ක්‍රමයට ඉන්නා නිලධාරීන් හෝ මෙයට සම්බන්‌ධව ඉන්නා පරිගණක උපාධියකට අමතරව, ලංකා ඉතිහාසය හෝ සිංහල භාෂාව හෝ ගැන දැණුමක් නැති කොළඹ හා කටුබැද්දේ විශ්ව විද්‍යාල ආචාරීන් එකතුව කර ඇති හානිය ඔබ විසින් වත් අපක්‍ෂපාතීව විමසා බැලිය යුතුයයි සිතමි.

කෙටියෙන් කියනවා නම් ඒ කාලයේ පරිගණක ශාස්ත්‍රය නොදත් හිටපු සිංහල මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා හා සිංහල භාෂාව නොදත් පරිගණක පී.එව්.ඩී.කරුවන්ද එකතුව විදේශිකයින් දෙදෙනෙකුගෙන් කොපිකරගත්, සිංහල යුනිකෝඩ් මඟින්, සිංහල භාෂාවට කර ඇති හානිය ජාතික අපරාධයකි. සිංහල භාෂාව, යුරෝපීය භාෂා 14 මෙන්, ලෝක යුනිකෝඩ් බස් එකේ ඉදිරිපස අසුනක තැබීමට තිබූ අවස්ථාව, මයික්‍රොසොෆ්ට් ආයතනයේ උපදේශ වලට යටවී මේ ආයතනයට සම්බන්‌ධ <පණ්ඩිත නිලධාරීන්> විසින් නැතිකිරීම, ලංකාවේ කඳු කපා තේ වවා ඒවා බ්‍රෝකන් ඔරේජ් පැකේජ් වශයෙන් සුද්දන්ට යවා, පැක්ටේරියේ අතුගාන තේ දූවිලි කුඩු සිංහල අපට බොන්න දුන්නා වැනිය. යුනිකෝඩ් මාවතේ අන‌ර්‌ග පැත්ත වෙනුවට, අපි ඩබල් බයිට්, ට්‍රෙබල් බයිට් ගැටයකට හිරවී සිටිමු. ඉන්ටර්නෙට් හරහා රටේ විප්ලවයක් කරන්නට සදන ජනාධිපතිට මේ ලිපියේ සඳහන් කරුණු විචාරාත්මකව පෙන්වා දීම චරිත හේරත් වශයෙන් ඔබට කල හැකි සේවයක් නොවේද කියා මට සිතේ.

අයිස්ලන්තයේ භාෂාවද ඇතුළු යුරෝපා භාෂා මෙන් තනි බයිට් (සිංගල් බයිට්) ක්‍රමයක්, ඇමෙරිකාවේ වසන, තියඩෝර් උන්නාන්සේගේ සිංහල ව්‍යාකරණ පොතේ (1932) සිට සිංහල හා පාලි ඉගෙනගත්, සිය පියාගේ මුද්‍රණාලයේ වැඩකර හා පසුව ඇමෙරිකාවේ පරිගණක ශාස්ත්‍රය ඉගෙනගත් ජයන්ත අහංගම විසින් අවුරුදු 15 ක් පමණ කාලයක් තුල මයික්‍රොසොෆ්ට් වැනි සමාගම් සමඟ අරගල කරමින් නිර්‌මාණය කල ක්‍රමය, මේ අයි.සී.ටී.නිලධාරීන්ට අවස්ථා කීපයකදීම ඉදිරිපත් කලත් ඔවුන් එය ටෙස්ට් කිරීමටවත් කැමති නොවූයේ මන්ද යන්න අදටත් ප්‍රහේළිකාවක් වන්නේ එවැනි අත්‌හදාබැලීම් දිරිගැන්‌වීම ඔවුන්ගේ මිෂන් එකට අයත් නිසාය. ලංකාවට දෙවරක්ම ගියත් ඔවුන් කිසිවෙකු සමඟ අවස්ථා දෙකේදීම මූණට මුහුණ කතා කිරීමටවත් ඔවුන් ඉඩක් දුන්නේ නැත.

මේ සමඟ අමුණා ඇති දූෂණ විරෝධී පෙරමුණට, 2015 පෙබරවාරි මාසයේ යවන ලද සංදේශය ඔබට එවන්නේ එය මෙම ආයතනයේ <කටයුතු> ගැන සරල වාර්‌තාවක් වන නිසාය. කෝප් කොමිටියට මේ වැනි කරුණකට අතගහන්නට නොහැකි බව දනිමි. ඊට හේතුව ඔඩිටර් ජෙනරාල් ඉන්නේ මේවා ගැන වාර්තා කරන්නට නොවන නිසාය. එහෙත් මෙය ඔබවෙත එවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් මේ කරුණු ගැන සොයා බලතැයි යන විශ්වාසයෙනි. ඇමෙරිකාවේ මියයාමට නියමිත අප දෙන්නාට ඇත්තේ, අපේ මව් භාෂාව ගැන ඇති ආදරය මිස කිසිවෙකුට අපහාස කිරීමේ තෘප්තියක් නොවේ.

සිංහල භාෂාවට (ජාතියට) විනකල ලංකාවේ යුනිකෝඩ් සිංහල” (දූෂණ විරෝධී පෙරමුණට ඉදිරිපත් කල සංදේශය)

මා විසින් අවුරුදු 15 ක සිටම සිංහලෙන් ලියන්නේ මේ ක්‍රමය අනුවය. ජයන්ත මෙය ලංකාවේ පත්‍ර කතෘලාට පෙන්‌වූ විට ඔවුන් ඒ ගැන බලවත් සේ සතුටු වූයේය. ජනව‌ර්‍ග අතර සංහිඳියාව භාරව ඇමතිව සිටි වාසුදේව නානායක්කාර හා යහපාලන ඇමතිව සිටි චම්පික රණවක ඇමති යන දෙන්නා මේ ක්‍රමය ගැන පැහැදී කල කී දේ ගැන ඉහත සඳහන් සංදේශය බලන්න. මෙහිදී මට මතක් වන තවත් වැදගත් කරුණක් නම් ජනාධිපති ගොඨාභය විසින් මෙම ආයතනයට පත් කල ලෝක ප්‍රසිද්‌ධ දක්‍ෂ තරුණයෙකුවූ සංජීව වීරවර්‌ණ ඉන් ඉල්ලා අස්වීමය. ඔහුට අවශ්‍යවූයේ නිලධාරී මාෆියා වෙන් ඔබ්බට ආයතනය ගෙනයාම වුවත්, අළුත් සභාපති ඊට එකඟ නොවීය. එහෙත් ගෝඨාභය නම් බලාපොරොත්තුවූයේ පරණ පිළිකාවට කෑම දීම නොවේය යන්න ගෝඨාභය ගැන පුද්ගලිකව දන්නා මගේ අදහසය.

මෙහි කොපියක් පාර්ලිමේන්තු මහලේකම්ට හා මෙම ආයතනයේ සභාපතිට යවන්නේ ඔබේ පාර්ලිමේන්තු ඊමේල් එකට එවන මේ ලිපිය ඔබට ඇත්තටම ලැබේද යන්න මට විශ්වාස නැති නිසාය. එසේ කලින් මා මන්ත්‍රීන්ට යැවූ ලිපි ලැබුණාද නැද්ද යන්න මෙතෙක් මම නොදනිමි. මේ සම්බන්‌ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍ය නම් කරුණාකර ඊමේල් මගින් මට දන්වන්න.

මීට, විශ්වාසී

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B,.Ph.D.
දෙසැම්බර් 11, 2020

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress