ගරු අග්‍රාමාත්‍යතුමා මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතාගේ සුවදුක් විමසයි
Posted on May 11th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සිය නිවස ඉදිරිපිට දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතාගේ පියාට අද (11) දින අරලියගහ මන්දිරයේ සිට දුරකථන ඇමතුමක් දුන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, නෂීඩ් මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාගේ පියා අබ්දුල් සතාර් මහතාට මෙසේ දුරකථන ඇමතුමක් දුන් අග්‍රාමාත්‍යතුමා, නෂීඩ් මහතාගේ සුව දුක් විමසමින් එතුමා සුවපත් කිරීම වෙනුවෙන් කළ හැකි කිසියම් උපකාරයක් අවශ්‍ය නම් ඒ බව දන්වන ලෙස ද ඉල්ලා සිටියේය.

පසුගිය මැයි 06 වැනිදා රාත්‍රියේ දී මාලදිවයිනේ පිහිටි සිය නිවසේ පිටත නවතා තැබූ තම මොටර් රථයට පිය නගමින් සිටිය දී  මොහොමඩ් නෂීඩ් මහතා මෙම බෝම්බ ප්‍රහාරයට ලක්විය.

 මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඒ මහතා පැය 16ක සැත්කමකට ලක් වීමෙන් පසු මේ දක්වා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිධූරය දැරූ සමයේ මාලදිවයිනේ ජනාධිපතිවරයා (2008-2012) ලෙස කටයුතු කරනු ලැබුවේ මොහොමඩ් නෂීඩ් මහතාය. ඒ මහතා ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට කැපවී කටයුතු කළ දේශපාලන නායකයෙකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress