බාලවයස්කාර දැරියක් බදියුදීන්ගේ නිවසේ.. පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි..
Posted on July 7th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ළමා අපචාර බහුතරයක් සිදුවන්නේ සමාජයේ දැනුවත් භාවයකින් යුත් සමාජ පිළිගැනීමක් ඇති පුද්ගලයන් අතින් වන බවත්, සමාජයේ මිනිසුන් තුල ආකල්පමය වෙනසක් ඇති කරමින් මල් වැනි දරුවන් දෙස ආදරයෙන් කරුණාවෙන් බැලීමට මිනිසුන්ගේ මනස හුරු කල යුතු බවත්, අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී වර්තමානයේ වාර්ථාවන ළමා අපචාර පිළිබඳව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මහතා සදහන් කරන ලදී.

ගල්කිස්ස ප්‍රදේශයේ අවුරුදු පහළොවක දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය තමන් නින්දිත ලෙස හෙළාදකින බවත්, නීතියේ කොතරම් හිල් තිබුන ද තරාතිරම නොබලා අදාළ පුද්ගලයින්ට දඩුවම් කිරිමට සිය අමාත්‍යාංශය හා ළමාරක්‍ෂක අධිකාරිය මැදිහත් වන බවද, ඔහු මෙහිදී සදහන් කරන ලදී.

එමෙන්ම සිය අමාත්‍යාංශයත්, ළමාරක්‍ෂක අධිකාරියත් අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්වී සෑම පළාතකටම ළමා අධිකරණයක් පිහිටවීමට කටයුතු සැලසුම් කරමින් පවතින බව සඳහන් කල ඔහු ළමයින් කාමාතුරයින්ගෙන් ආරක්ෂා කිරීම දේශපාලන අධිකාරියට හා නීතියට පමණක් කල නොහැකි බවත්, ඒ සඳහා සමාජයේ සෑම පුද්ගලයෙක්ම එකට එක්වන මෙන් තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කරන ලදී.

එමෙන්ම ගිය වසරවලට සාපේක්‍ෂව මෙම වසර තුලදී ළමා අපචාර සම්බන්ධයෙන් සුභදායී ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වුයේ සිය අමාත්‍යාංශය හා ළමාරක්‍ෂක අධිකාරිය ක්‍රියාත්මක කරන විධිමත් වැඩපිළිවල හේතුවෙන් බවත් එය තවදුරටත් වර්ධනය කරමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රකාශ කරන ලදී.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී මෙහෙකාර සේවයේ යෙදවූ අවුරුදු 16 දැරිය සම්බන්ධ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බවද, මාධ්‍යවේදීන් ඒ සම්බන්ධව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

– චානුක ගුණතිලක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress