ආණ්ඩුවේ කාබනික පොහොර වැඩපිළිවෙළ අසාර්ථකයි.. ගොවි ජනතාව සමග පාරට බහිනවා..- ශ‍්‍රීලනිප මූලස්ථානයේ මාධ්‍ය හමුවක්..
Posted on July 21st, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කාබනික පොහොර සම්බන්ධ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථක බවත්,ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ගොවි ජනතාව මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ගොවි ජනතාව සමග අරගල කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් අරුණ දේශප්‍රිය පැවසුවේය.

කාබනික පොහොර භාවිතය නිසා ගොවීන්ට ඇතිවන ගැටලු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රධාන ලේකම්වරයා මේ බව පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය.

‘කාබනික ගොවිතැන සම්බන්ධ කටයුත්තට අද සම්බන්ධ කරගෙන ඉන්නේ කෘෂිකර්මාන්තයට ඝෘජුව සම්බන්ධ නොමැති විද්වතුන් පිරිසක්. ආණ්ඩුව කඩිනමින් කාබනික ගොවිතැනට යෑම ගැන අපි විරුද්ධයි. ලෝකයේ කිසිදු රටක් සියයට සියයක්ම කාබනික ගොවිතැන කරන්නේ නෑ. ගොවියාට කාබනික පොහොර බෙදීමෙන් පමණක් කාබනික ගොවිතැන සාර්ථක වන්නේ නෑ. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට මේ අයුරින් කටයුතු කිරීම මගින් සිදුවන්නේ අස්වැන්න අඩුවීමෙන් ගොවීන්ට සහණාධාර ලබාදීමට සිදුවීම පමණක් නොව පිටරටින් ආහාර ආනයනය කිරීමට සිදුවීමයි.

කාබනික පොහොර ගැන ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථකයි. මේ සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නෑ. මේ තත්ත්වය මෙලෙස පැවතුණොත් ජනාධිපතිවරයාට තවත් වසර පහක් බලයේ ඉන්න ඡන්දය දෙන්න ගොවි ජනතාව සූදානම් නෑ. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ගොවි ජනතාව මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ගොවි ජනතාව සමග අප අරගල කරනවා’

– aruna

3 Responses to “ආණ්ඩුවේ කාබනික පොහොර වැඩපිළිවෙළ අසාර්ථකයි.. ගොවි ජනතාව සමග පාරට බහිනවා..- ශ‍්‍රීලනිප මූලස්ථානයේ මාධ්‍ය හමුවක්..”

  1. Ratanapala Says:

    බලු කුක්කෙක් බුරනවා කන්දක් බිම හෙලීමට.

  2. chandrasena Pandithage Says:

    කාබනික පොහොර ලොවට හදුන්වා දුන්නේ, ඔබව මාව ලොවට හදුන්වා දුන් ස්වභාවය විසින්ය. ස්වභාවය උත්ත්රිතරය. ඊට එහා එය අභිබවා ගිය කිසිවක් නැත. මේ කාබනික පොහොර නිෂ්පාදනය ස්වභාවය විසින් ආරම්භකරන ලද්දේ අප නිශ්චිතව හඳුනා නොගත් අවුරුදු මිලියන ගණනාවකට පෙරය. රසායනික පොහොර නිෂ්පාදනයට වසර 100කට වඩා එහා ගිය කාලයක් නැත.නිකම් බොරුවට නොදන්නාකම ප්‍රදර්ශනය නොකර සිටීම මැනවි.

  3. nimal_r Says:

    කාබනික පොහොරවලට යා යුතුය . එහෙත් එය එක කන්නයකින් හෝ අවුරුද්දකින් නොව , සැලැස්මක් ඇතිව අවුරුදු කීපයකින් කලයුතුය. ඇතිතරම් කාබනික පොහොර ලංකාවේ නැත. එය පළමුව නිෂ්පාදනය කළයුතුය . එසේ නොකර ගොවියාට බැන වදින්න එපා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress