කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මානයේ නව නිවාස හා ප්‍රතිසංස්කරණ රැසක් ජනතා අයිතියට පත්කෙරේ.
Posted on July 29th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. 

ග්‍රාමීය සංවර්ධනය යථාර්ථයක් කරන්නට තැනූ වේදිකාව ‘‘ගම සමඟ පිළිසදරක්‘‘ සිව්වන වැඩසටහනේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ පරිදි කණුගහවැව ආදරණීය ජනතාවගේ අපේක්ෂා මල්ඵල ගන්වමින් කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මානයේ නව නිවාස හා ප්‍රතිසංස්කරණ රැසක්  ගම සමග පිළිසඳර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) වන දින ජනතා අයිතියට පත් කෙරිණි.

ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතුවල දෙවන අදියර යටතේ සිදුකළ නව ඉදිකිරිම් හා ප්‍රතිසංස්කරණය කළ ගොඩනැගිලි ජනතා අයිතියට පත්කිරීම ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව සිදුවිය.

මෙහිදී කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මානය වෙත නිවාස අහිමි පවුල් සඳහා අංග සම්පූර්ණ නව නිවාස 12ක් ද, කණුගහවැව විද්‍යාලයට නව කාර්යාල ගොඩනැගිල්ලක් ද හිමි විය.

එමෙන්ම කණුගහවැව අභිනවාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල ද ප්‍රතිසංස්කරණය කරන ලදි.

කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මානය ප්‍රතිසංස්කරණය සහ නිවාස ඉදිකිරිම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදුකරන ලදි.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

මම හිතන්නේ අද ඔබ සියලුදෙනාටම සුවිශේෂි දවසක්. රටේ රාජ්‍ය නායකයා ඔබේ ගමට ඇවිල්ලා ඔබ සමඟ පිළිසඳරේ යෙදිලා ඔබේ ගැටලු හදුනාගත්තා. ඒ හඳුනාගත් ගැටලුවලට විසඳුම් ලබාදෙන්න කටයුතු කළා.

එහි එක් ප්‍රතිඵලයක් විදියට කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මානය  දෙවෙනි අදියර යටතේ ඉඳිකළ නිවාස හා ප්‍රතිසංස්කරණය කළ ගොඩනැගිලි අද අපි ඔබ තමුන්නාන්සේලාට භාර දුන්නා.

ඒ වගේම තමයි මේ කැබිතිගොල්ලෑව කොට්ඨාශය කිව්වාම චන්ද්‍රෙස්න ඇමතිතුමාත් සඳහන් කළා ලංකාවේ පමණක් නොවේ ලෝකයටම ප්‍රසිද්ධියට පත්වුණ ගමක්.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිසා අහිංසක මිනිසුන් ගණනාවක් බිලිගත් කැබිතිගොල්ලෑව බස් බෝම්බය අපි හැමෝම තවමත් සංවේදී කරවනවා.  එදා මේ ගම්මානයේ මිනිසුන් කළ ඉල්ලීමකට අනුව ත්‍රස්තවාදය අවසන් කළ යුතුයි කියන තීන්දුව ගන්න එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රවේශයක් ගත්තේ මෙම ගම්මානය තුළ ඉදලා.

එය ඉතා අවාසනාවන්ත සිදුවීමක්. එවැනි සිදුවීම් නැවත වතාවක් අපේ මාතෘභූමිය තුළ සිදු නොවන්න කටයුතු කළ යුතුයි කියන දැඩි අධිෂ්ඨානයෙන් සැවොම එක්වී කටයුතු කළා.  ත්‍රස්තවාදය අවසාන කරන තෙක්ම එම අධිෂ්ඨානයෙන් කටයුතු කර රට ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට අපිට හැකි වූවා.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කණුගහවැව ගම්මානෙයේ ජීවත් වන ඔබ එකපැත්තකින් වාසනාවන්තයි, රාජ්‍ය නායකයෝ දෙදෙනෙක් ඔබේ ගමට ආවා.

යුද්ධෙන් පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ආරම්භ කළ දැවැන්ත ආර්ථික සංග්‍රාමය නිසා ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය වෙන්න පටන් ගත්තා. මෙම ප්‍රදේශවලත් මාර්ග ටික හැදෙන්න ගත්තා.

නිවාස, විහාරස්ථාන නැවත ගොඩනැගුනා. මිනිසුන් තමන්ගේ ගම්මානවල පදිංචිවෙන්න, ගොවිතැන් කරන්න පටන්ගත්තා.

ඒ අනුව වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ‘‘ගම සමග පිළිසඳර‘‘ වැඩසටහනත් එක්ක ගමින් ගමට යනකොට තීන්දු කළා ඔබේ ගමටත් එන්න ඕනේ කියන කාරණය.

එහිදී කැබිතිගොල්ලෑව කණුගහවැව ආදර්ශ ගම්මානය ප්‍රතිසංස්කරණය කිරිමට යෝජනා වුවා.

ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රජයේ නිලධාරීන් ඇතුළු ඔබ සියලුදෙනා එක්ක සාකච්ඡා කරලා ගුවන් හමුදාපතිතුමන්ට භාරදුන්නා මේ ගම්මානය නැවත ගොඩනගන්න.

70 වෙනි සංවත්සරය සමරන මේ මොහොතේ ලෝකෙටම අපේ ගුවන් හමුදාවේ අභිමානය පෙන්නනවා වගේම අනෙක් පැත්තෙන් අපේ ජන සමාජය ගොඩනගන්න දායකත්වය ලබාදෙන්න ගුවන් හමුදාව කළ මෙහෙය ඉතා ප්‍රසංශනීයයි.

සෞභාග්‍යයේ දැක්ම තුළ අපි ප්‍රමුඛතාවය දෙන කාරණා අතරින් ග්‍රාමීය සංවර්ධනය කියන කාරණය ඉතාමත් ම සුවිශේෂී කාරණයක් විදියට හඳුන්වන්න පුළුවන්.

එහිදී ගමේ පාර, විදුලිය, ජලය වගේම ගමේ ජීවත් වන දෙමව්පියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඔබේ ගමේ මේ පුංචි දරුවට හොඳ අධ්‍යාපනයක් දීලා ඒ අධ්‍යාපනය තුළ සහතිකයකට එහාට ගිය ජාතික සහ ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ රැකියාවක් ලබාගන්න පුළුවන් දරුවෙක් බවට පත්කරන්න අපි කටයුතු කරනවා.

තවත් පැත්තකින් රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබාදෙන්න අවශ්‍ය දැඩි දේශපාලන තීන්දු තීරණ ගන්න අපි පසුබට වුයේ නැහැ.  මේ සියලු කාරණා සෞභාග්‍ය යේ දැක්ම තුළ සඳහන් වනවා වගේම අද ක්‍රමානුකුලව ඒවා යථාර්ථයක් බවට පත්කරමින් යනවා.

අපට ඉලක්කයක් තියෙනවා. අපි ආදායම් උපයන්නන් දෙලක්ෂ පනස් දාහක් මෙම වසර තුළ අපේ රටේ බිහි කළා.

අපේ ගමේ අපේ භාෂාවෙන් කියනවා නම් ස්වයං රැකියා කරන අය කියලා කියනවා. තවත් සමහරු මේ අය ව්‍යාපාරිකයෝ කියලා හඳුන්වනවා.

මේ කාරණා තුළ අපි විශ්වාස කරනවා අපේ රටේ අනාගත පරම්පරාව විශේෂයෙන්ම තරුණ පරම්පරාව ශක්තිමත් ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරන්න අපිට හැකියාව තිබෙනවා කියලා.

ඒ වගේම තමයි ගමේ නිවසක් නැති දෙමව්පියන්ට හා දරුවන්ට නව නිවාස ලබාදෙන්න ආණ්ඩුවක් විදියට අපි කටයුතු කරනවා.

එක පැත්කනින් නිවාස අමාත්‍යංශය සෑම ග්‍රාමසේවා වසමකටම රුපියල් ලක්ෂ 06 ක් වෙන් කර දීලා නිවසක් ඉදිකරගෙන යනකොට, සමෘද්ධි අමාත්‍යංශය අනෙක් පැත්තෙන් හැම සමෘද්ධි කළාපයකටම නිවසක් ඉඳිකරගෙන යනවා.

අද ඔබ තමුන්නාන්සේලාගේ ගම්මානයේ කටුමැටි බිත්ති තිබෙන, පොල් අතු සෙවිලි කළ සියලුම නිවාස සිමෙන්තියෙන් බැඳපු නිවාස බවට පත්කිරීමට ගුවන් හමුදාවත් එක්ක නව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

පාසලේ ගොඩනැගිලි නැත්නම් ඒ සදහා ගොඩනැගිලි ඉඳිකරන්න. ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා නම් ගුරුවරු ලබාදෙන්න යන කාරණා සම්පූර්ණ කරලා මේ ගම්වල දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න අපි කටයුතු කරනවා.

අනෙක් පැත්තෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර වලට අපේ ගමේ දෙමව්පියන් හුරුකරවන්න අවශ්‍ය වැඩපිළිවෙළ අද මේ ගම්මානවලින් ආරම්භ කර තිබෙනවා.

අද අපිට දේශපාලනික වශයෙන් රසායනික පොහොර තහනම් කිරීම පිළිබදව පහර එල්ල කළත්, අපි දන්නවා ග්‍රාමීය වශයෙන් සහ ජාතික වශයෙන් කාබනික පොහොර භාවිතා කර ගොවිතැන් කිරීමට ජනතාව තුළ ලොකු කැමැත්තක්, උවමනාවක් තියෙනවා. ගොවි මහත්වරු තවම මෙයට පෙළගැහෙමින් සිටිනවා.

මේ ගම්මානවල දෙමව්පියෝ බහුතරයක් ගොවිතැන් කරලා ජීවත් වෙන්නෙ. ආණ්ඩුවක් විදියට වගකීමකින් කියන්නේ අපි ඔවුන්ව ආරක්ෂා කරනවා.

ඔබට අවශ්‍ය කාබනික පොහොර ටික පෞද්ගලිකව හා ගොවි සංවිධාන හරහා ගමේ නිෂ්පාදනය කරන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකයි.

තවත් පැත්තකින් ගුවන් හමුදාව වෙන්න පුළුවන්. සමෘද්ධි ව්‍යාපාරය වෙන්න පුළුවන්. යෞවන සමාජ හෝ ස්වෙච්ඡා සංවිධාන වෙන්න පුළුවන් ඔබේම ගොවි සංවිධානය වෙන්න පුළුවන් ඒ හරහා කාබනික පොහොර නිෂ්පාදනය කරන්න අපි අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා.

කාබනික පොහොර භාවිතයෙන් යම්කිසි හෙයකින් ඔබේ අස්වැන්න තුළ ඔබට යම් පාඩුවක් සිදු වුණොතින් ඒ සඳහා වන මූල්‍ය වටිනාකම ලබාදෙන්නත් කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත් කෘෂිකර්ම අමාත්‍යංශයත් කටයුතු කරනවා.

ඒ තුළ  ගොවියාගේ ආරක්ෂාව, ගොවිජනතාවගේ ආදායම සහ ඔහුගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ වගකීම ආණ්ඩුවක් විදියට අපි භාරගන්නවා. ඒ නිසා අපේ ගම්වල ගොවි මහත්ම මහත්මීන්ට බියවීමට දෙයක් නැහැ.

ඔබ සියලුදෙනා එකතු වෙලා බිහිකරගත් ආණ්ඩුවක් මෙය. ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි 2005 තැබූ විශ්වාසය හා සමානවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි විශ්වාසය තැබුවේ. ඒ විශ්වාසය ආරක්ෂා කරන්න. තහවුරු කරන්න ආණ්ඩුවක් විදියට අපි බැඳිලා ඉන්නවා සහ කැපවෙනවා කියන කාරණය ඔබතමුන්නාන්සේලාට මතක් කරනවා.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස්  පරිදි අද මේ මොහොතට අනුරාධ ජයරත්න අමාත්‍යතුමන් මහනුවර ඉඳන් ඇවිල්ලා ඉන්නවා  මේ ප්‍රදේශයේ වැව් අමුණු  ප්‍රතිසංස්කරණය කරදෙන්න.

ඒ වගේම අපේ ඉඩම් ඇමතිතුමා හරහා අපි බලාපොරොත්තු වෙනවා නව තාක්ෂණය අනුව ඉඩම් ඔප්පු ලබාදෙන්න. ඒ සම්බන්ධව පසුගිය දින කිහිපය තුළ අපි සාකච්ඡා වට කිහිපයක් තිබ්බා.

සෞභාග්‍යා ගම්මාන රටපුරාම බිහිකරන කොට ඔබ තමුන්නාන්සේලාගේ ගම්මානත් කේන්ද්‍රකරගෙන සෞභාග්‍යා ගම්මාන බිහිකරන්න එතුමා ඉදිරි කාල වකවානුවේ බලාපොරොත්තු වෙනවා.

එ් හරහා ඔබේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

අපි ආණ්ඩුවක් විදියට මහා පරිමාණයේ ජාතික වශයෙන් වැදගත් රටට විදේශ විනිමය ගලාගෙන එන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා.

ග්‍රාමීය වශයෙන් ඔබේ ජීවිත ගොඩනගනවා වගේම සුන්දර පරිසරයක් තුළ සුන්දර ජීවිතයක් ගතකරන්න අවශ්‍ය වාතාවරණය සකසන්න අපි නිරන්තරයෙන් බැඳිලා ඉන්නවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෙහාන් සේමසිංහ, අනුරාධ ජයරත්න යන මහත්වරුන්, අනුරාධපුර දිස්ත්‍රික් කැබිතිගොල්ලෑව ආසන සංවිධායක කේ.එච්.නන්දසේන මහතා ඇතුළු  ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්තුමන්, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම්තුමන්, කණුගහවැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ සිසු දරුවන් ඇතුඵ  නිලධාරින් පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress