ලෝක ප්‍රසිද්ධ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව අනුරූ ප්‍රතිමාවක් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි
Posted on October 8th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වෙහෙරගලින් හමු වී ඇති ලෝක ප්‍රසිද්ධියට පත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාවේ අනුරූ ප්‍රතිමාවක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා විසින් ඊයේ (07) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.

වෙහෙරගලින් හමු වී ඇති අවලෝකිතේෂ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව ක්‍රි.ව.7,8 සියවස්වලට අයත්ය. අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ කරුණාව,මෛත්‍රිය වැනි ගුණාංග නිරූපණය කෙරෙන මෙම ප්‍රතිමාවේ ශරීරාංග ද මැනවින් පිළිබිඹුව ඇත.

වම් පාදය පහතට දමා වම් අත බිම තබා ගෙන සිටින මෙහි දකුණු අත විතර්ක මුද්‍රාවෙන් යුක්ත ය. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන විශිෂ්ට  කලාත්මක ලක්ෂණ හේතුවෙන් එය ලෝක ප්‍රසිද්ධියට පත්ව ඇති බව මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පෙන්වා දුන්නේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ බිතුසිතුවම්, වාස්තු, මූර්ති පුරාවිද්‍යා සියවසට සාපේක්ෂව මධ්‍යම සංස්කෘතික අරමුදල මුද්‍රණය කළ ග්‍රන්ථ මාලා 100ට ශිව මූර්ති ග්‍රන්ථය ද  ඇතුළත් විය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභාණු විසින් ශිව මූර්ති ග්‍රන්ථය මෙහි දී අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වන ලදි.

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මෙරට පාඨකයන් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට මාර්ගගත ක්‍රමය ඔස්සේ පොත් සහ අනුරූ අලෙවි කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සැප්තැම්බර් 16 වැනිදා සිට ආරම්භ වී තිබිණි. මෙම වැඩපිළිවෙල ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට ද මෙහි දී තීරණය විය.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර තැන්පත් නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහත්වරු අතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීහු මෙම අවස්ථවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress