ඔබ ලබාගත් ජයග්‍රහණවල වටිනාකම රටට හඳුන්වාදී තව තවත් ජයග්‍රහණ කරා යා හැකි පිරිසක් බිහිකරන්න.
Posted on October 12th, 2021

– තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා –

පසුගියදා ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් උළෙලේදී පදක්කම් දිනූ හා උපරිම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවේ කීර්තිය ලොවෙහි රැන්දූ පැරාලිම්පික් ක්‍රීඩකයන් හට උපහාර පිදීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අද (11) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝක වාර්තාව ද සමඟින් රන් පදක්කම හිමිකරගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි පහක මුදලක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටියක මුදලක් ඇතුළුව රුපියල් කෝටි හයක මුදලක් ප්‍රදානය කෙරිණි.

හෙල්ල විසිකිරිම ඉසව්වෙන් ලෝකඩ පදක්කමට හිමිකම් කියූ සමිත දුලාන් ක්‍රීඩකයාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් පිරිනැමීමත් සිදුවිය.

පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ඔරු පැදීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ එම්. ප්‍රියමාල් ජයකොඩි, මීටර් 400 දිවීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ එස්.එම්.ඒ.එස්. මධුරංග සුබසිංහ, දුර පැනීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කළ ඩී. එම්. කුමුදු ප්‍රියංකා, හෙල්ල විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ එච්.සී. සම්පත් හෙට්ටිආරච්චි, යගුලිය විසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ එච්.ජී. පාලිත බණ්ඩාර යන ක්‍රීඩකයන් හට ද රුපියල් ලක්ෂ දහය බැගින් වූ මුදල් ප්‍රදානයන් ලබාදීමත් මෙහිදී සිදුවිය.

පැරාලිම්පික් ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකුගේ ම පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් එක් කෝටි හැත්තෑ හත් ලක්ෂ පනස් දහසක මුදලක් ද ප්‍රදානය කෙරිණි.

යූ.පී.ඩී.පෙරේරා පුහුණුකරු හට රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් හා සෙසු පුහුණුකරුවන් හට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීමත් සිදුවිය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සුබාශිංසන එක් කළ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අපි අමාත්‍යාංශයක් විදියට හැකිතාක් උත්සහා කරන්නෙ මේ රට තුළ ක්‍රියාශීලී දරු පරම්පරාවක් නිර්මාණය කරන්නයි. රට තුළ ක්‍රියාශීලී දරු පරම්පරාවක් බිහිවීමෙන් ඒ ක්‍රියාශීලි පුද්ගලයින් අතරින් ජාත්‍යන්තරය තරණය කරන්න පුලුවන් පිරිසක් බිහිකරගන්න පුලුවන් කියන කාරණය අපි විශ්වාස කරනවා.

2032 වර්ෂය දක්වා ඉලක්ක සහගතව නොයෙක් තරග කාණ්ඩයන් තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ සදහා අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යාමට ජාතික ක්‍රීඩා සභාව හරහා අපි වැඩපිළිවෙළක් හදලා තිබෙනවා.

අපි ඉතිහාසයේ දැක්කේ තරගාවලියක් ලංවෙන විටයි ක්‍රීඩකයින් මතක් වෙන්නේ. ක්‍රීඩකයාටත් තරගාවලිය මතක් වෙන්නේ. ඒ තත්ත්වය වෙනස් කර වසර කීපයක ඉලක්කයක් ඇතිව ජයග්‍රහණවලට යන්න සූදානම් විය යුතුයි.

පැරාලිම්පික් සංගමයේ සාර්ථකත්වය තිබෙන්නෙත්, අද රන් පදක්කමකින්, ලෝකඩ පදක්කමකින් අපට ජයග්‍රහණවලට යන්න හැකියාව ලැබුණෙත් වසර තුන හතරක් පුරා ඉලක්කයක් අරගෙන ඒ ඉලක්කයට ගමන් කළ නිසායි.

පැරාලිම්පික් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් 09 දෙනාගෙන් 08 දෙනෙකුටම ලෝකයේ පළමු 16 දෙනා අතරට එන්න හැකියාව  ලැබුණා. ඒ ඉලක්කයක් සහිතව කටයුතු කළ නිසයි.

ජාතික ක්‍රීඩා සභාව විසින් අනෙක් හැම ක්‍රීඩාවකටම ඉලක්කයක් ලබාදී 2032 වර්ෂය දක්වා ජයග්‍රහණ කේන්ද්‍රකරගත් ගමනක් යන්න සූදානම් වෙනවා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම වගේම ඔවුන්ට ක්‍රීඩාව තුළ ඉදිරියට යාමට අවශ්‍ය පහසුකම් සළසන්නත් අපි අමාත්‍යාංශයක් විදියට කටයුතු කරනවා.

එහිදී විනය කියන කාරණය ක්‍රීඩාව තුළත්, ක්‍රීඩාවෙන් පිටතදීත් ආරක්ෂා කරගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් කියන කාරණය මමත්, අපේ අමාත්‍යාංශයත් දැඩි ලෙස විස්වාශ කරනවා.

අපි දකිනවා සමහර අවස්ථාවල ක්‍රීඩකයින් ජයග්‍රහණය නොලැබුවත් තමන්ගේ දක්ෂතාවය තුළ ක්‍රීඩාවේ ජයග්‍රහණය කරා යනවාට වඩා දක්ෂව තමන්ට ප්‍රයෝජනය ගන්නා අවස්ථාවන් තිබෙනවා. එවැනි අවස්ථාවන්වල අපි බොහෝ වෙලාවට දකින්නේ සමස්ථ ක්‍රීඩකයා දිහාම සමාජය වපර ඇහෙන් බලන්න පුරුදු වෙලා ඉන්නවා කියන දේ.

මම පෞද්ගලිකව කැමති නැහැ තරගාවලිය සදහා පිටත්ව යෑමේදී තරග සංචාරය කියලා කියනවාට. සමහර විට අපේ අය යන්නේ ම සංචාරවලට. තරගයට නෙවෙයි. එහෙම වුණාම යන තරගය අමතක වෙනවා. සංචාරය ගැන තමයි මතක තියෙන්නේ.

පාසල් ක්‍රීඩාවලිනුත් මම ඉල්ලීමක් කරන්න හදන්නේ ජාත්‍යන්තර තරගාවලියකට සම්බන්ධ වෙනවා නම් ක්‍රීඩා සංචාරය කියන වචනය අයින් කර තරගාවලියකට සම්බන්ධ වෙනවා කියන වචනය භාවිතා කරන්න කියන කාරණය.

එසේ නොවුනහොත් සිදු වන්නේ රටෙන් එළියට යන්නේම සංචාරයකට. ඊට පස්සේ සමහරු ආපසු එන්නෙත් නැහැ. පසුගිය කාලේ එහෙම ප්‍රශ්නයකුත් ඇති වී තිබෙනවා.

අවසානේ අපකීර්තියට පත් වෙන්නේ අමාත්‍යවරයා හා අමාත්‍යාංශය පමණක් නොවෙයි. සමස්ත රටම.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා සභාව මේ හැම තරගාවලියක් හා සියලුම ක්‍රීඩකයින් සම්බන්ධව සොයා බලනවා. එහිදී අපි නිර්දේශ ලබා දෙනවා.

අපි නිර්දේශ ඉදිරිපත් කළාම මාධ්‍ය හා සමාජය ඒ දෙස වපර ඇහෙන් බලන අවස්ථා තිබෙනවා. පසුගියකාලේ එහෙම සිදු වුණා.

මාධ්‍ය මගින් වාර්තා කර තිබුණේ ඇයි මේ අයට යන්න දෙන්නේ නැත්තේ කියලා. අපි යන්න දුන්නා. ආවේ නැහැ.

එක පැත්තකින් අපි ජයග්‍රහණ කරා යා යුතුයි. ජයග්‍රහණ කරා යනවා වගේම අපේ රටේ ගෞරවය ආරක්ෂා වෙන විදියට කටයුතු කිරීම පිළිබඳ අපි සියලුදෙනාටම විශේෂ වගකීමක් තිබෙනවා..

ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක්, පරිපාලකයෙක්, සංගමයක් කරන ක්‍රියාකාරකම් නිසා අපේ රටේ සමස්ථ ක්‍රීඩා පද්ධතියම දිහා වපරැහෙන් බලන එක සාධාරණ නැහැ.

අපි අමාත්‍යාංශයක් විදියට ක්‍රීඩකයාගේ සහ පුහුණුකරුගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී වැඩ කටයුතු සිදු කරනවා.

මම අමාත්‍යාංශය භාර ගන්නකොට කිවුවේ පෙන්වන දක්ෂතා අනුව තමයි කටයුතු කරන්නේ කියලා. ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ සුබසාධන අමාත්‍යාංශය නෙවේ. ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ ජයග්‍රහණ සදහා ක්‍රීඩකයින් බිහි කරන තැන. ඒ වගේම ක්‍රියාශීලි සමාජයක් හදන්න පසුබිම හදන මධ්‍යස්ථානය.

අපි ක්‍රියාශීලී සමාජයක් හදනකොට ඒ තුළින් ජාත්‍යන්තරය ජයගන්න පුලුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන එක තමයි අපේ අරමුණ.

ඒ ගමන යනකොට දක්ෂතාවය පදනම් කරගෙන දිරිගැන්වීම්වලට ක්‍රීඩකයා ක්‍රීඩිකාව යොමු කරවීම, පුහුණුකරුවන් යොමු කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ලබන වසර ඉතාමත් තීරණාත්මක වසරක්. ක්‍රීඩා ක්ෂේත්‍රයට වැදගත් වසරක්. ආසියානු ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එනවා. ක්‍රිකට් ලෝක ශූරතාවලි තිබෙනවා.

මේ වසර කීපය තුළ ඉතාමත් වැදගත් තරගාවලි බොහොමයකට සහභාගී වී කෙටි කාලීන ජයග්‍රහණ කරා යන්නත්, 2024 න් ඔබ්බට මධ්‍යකාලීනවත්, 2032 න් එහාට දිගුකාලීන ජයග්‍රහණවලට යන්නත් අවශ්‍ය සැළසුම් අපි ක්‍රියාත්මක කරනවා.

පැරාලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් රන් පදක්කම හා ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරපු ඔබ දෙපොළ ඇතුලු සියලුමදෙනාට, ඉතාමත් අභිමානයෙන් කටයුතු කළ හැකි පිරිසක්.

එයට හේතු කීපයක් තිබෙනවා. ඔබේ පුහුණුවීම් කටයුතු වසර ගණනාවක් මුලුල්ලේ නොකඩවා පවත්වාගෙන යාම, ඔබේ විනය ආරක්ෂා කරගෙන අනිත් ක්‍රීඩකයින්ටත් ආදර්ශයක් වෙමින් කටයුතු කළා.

දැන් ඔබේ අභියෝගය වෙන්නේ මින් ඉදිරියට කොහොමද ජයග්‍රහණ වලට යන්නෙ…ඒ  වගේම ක්‍රීඩාව තුළ හා ක්‍රීඩාවෙන් එළියේදී ඔබ ලබාගත් ජයග්‍රහණවල අභිමානය රැකගෙන කටයුතු කිරීම කියන කාරණා.

ඔබ දිහා සියලුම දෙනා බලාගෙන සිටිනවා. රටේ තරුණ පිරිස, අනාගතයේ ක්‍රීඩාට පැමිණෙන පිරිස ඒ අතර ඉන්නවා.

ඔබ සියලුදෙනාම ක්‍රීඩකයින් ලෙස තමයි අපි හැදින්වූයේ. ඔබ සියලුදෙනාම ක්‍රීඩකයින් ලෙස කැපවීම් කර දක්ෂතාවය මත පැමිණි අය. වෙනත් ක්‍රමවේදවලින් ආපු අය නොවෙයි. ඒ සදහා නිසි ගෞරවය ලබාදීමයි අපේ වගකීම.

දිරිගැන්වීම් ලබාදෙන විටත් අපි පැරාලිම්පික් ද සාමාන්‍ය ද කියලා වෙනසක් කළේ නැහැ. හැම ක්ෂේත්‍රයක්ම එකම තලයේ තියලා තමයි අපි කටයුතු කරන්නේ.

ඔබ මේ ජයග්‍රහණ වගේම මේ ආදර්ශ ගමට ගෙනියන්න. තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබ දෙන්න. මේ පණිවිඩය ඔබ දෙන්න ඕනේ. අපි විස්වාශ කරනවා ඔබලා මේ පණිවිඩය ගමට සහ අනිත් ක්‍රීඩකයින්ට දුන්නොත් තමයි  තව තවත් ජයග්‍රහණ කරා යා හැකි පිරිසක් බිහි කරන්න පුලුවන් වෙන්නේ. අමාත්‍යාංශය විදියට ඒ සියලුදෙනාගේ වගකීම අපි භාරගන්නවා.

ලබන වසරේ විදේශ පුහුණුවීම් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පසුගියදා කෙන්යාව සමග සාකච්ඡා කළා දුර ධාවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සදහා යොමු කිරීමට. අනෙකුත් ක්‍රීඩාවන්වල පුහුණු කටයුතු පිළිබඳවත් රටවල් ගණනාවක් සමග සාකච්ඡා කර තිබෙනවා.

අපි ක්‍රීඩකයින්ගේ සුබ සාධනය හා අවශ්‍යතා ගැන සොයා බලනවා. පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයින්ට තිබෙන්නේ තමන්ගේ දක්ෂතාවය උපරිම මට්ටමට ගෙනැත් රටට ගෞරවයක් සහ ආඩම්බරයක් රැගෙන එන්න කටයුතු කරන එකයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග අපිට මෙම උත්සවය ඉතා චාම් අයුරින් පැවැත්වීමට සිදු වූවා. මෙය කෙටි චාම් උත්සවයක්. මෙය පණිවිඩයක් පමණයි. ඉන් එහාට ගිය ගෞරවයක් ඔබ රටට ගෙනැත් තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, ජාතික ක්‍රීඩා සභාවේ සුබාශිංසන හා ආශිර්වාදය ඔබ තමුන්නාන්සේලාට ලැබෙනවා.

පැරාලිම්පික් සංගමයේ සභාපතිතුමා විශාල කැපකිරීමක් කරනවා. එය අනෙකුත් සංගම්වලටත් ආදර්ශයක්. ඒ ආදර්ශයත් සමග දිගු ගමනක් යා හැකියි. ඒ සදහා අමාත්‍යාංශයේ ආශිර්වාදයත් තිබෙනවා” යැයි අමාත්‍යවරයා පැරාලිම්පික් කණ්ඩායමට සුබපැතුම් එක්කරමින් වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික සංජීව වික්‍රමනායක, ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් එල්.ආර්.ටී.ඩි. හේරත් (විශ්‍රාමික) යන මහත්වරුන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය.

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය.

ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress