ඇප්ලිකේෂන් එකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන ගමේ දේශපාලනඥයන් කරා යන යුගය අවසන් කරනවා.
Posted on January 4th, 2022

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පත (Digital Youth ID) හඳුන්වාදෙමින් ඊයේ (03) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

‘මේ යෞවන සමාජ සම්මේලන තුළ සිටින තරුණයා ඇප්ලිකේෂන් එක ප්‍රින්ට් කරගෙන අපි ගාවට ගෙනැත් දෙන්න අවශ්‍ය නැහැ. ඇප්ලිකේෂන් එකේ ප්‍රින්ට් එකක් අරගෙන තමන්ගේ ගමේ දේශපාලනඥයා කරා යන්න අවශ්‍ය නැහැ. මේ Digital Youth ID එක ඇතුළේ තමන්ගේ සියලු විස්තර තිබෙනවා’ යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.

ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන Block Chain තාක්‍ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්‍ෂණ මෙවලමක් භාවිත කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම අනුව ජාතික තරුණ සේවා සභාව විසින් මෙම හැදුනුම්පත සකස් කොට ඇති අතර, මෙහි විශේෂත්වය වනුයේ අදාළ තරුණයාගේ හෝ තරුණියගේ නිපුණතාවයන් අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස මෙය ප්‍රයෝජනයට ගත හැකිවීමයි.

මෙම හැදුනුම්පත ඔස්සේ ඇති තොරතුරු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා යෝජකයින් තම කාර්ය මණ්ඩල අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී දත්ත බැංකුවක් ලෙස භාවිත කරන නිසා මෙමගින් තරුණ තරුණියන්ට සෘජුවම රැකියා අවස්ථා ලබාගැනීමේ අවස්ථාව උදාවේ.

තරුණ තරුණියන්ට තම උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා සඳහා සෘජුවම ඕනෑම ආයතනයක ලියාපදිංචිවීමට මෙන්ම මේ සමග සම්බන්ධ වන පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් ආකර්ෂණීය වට්ටම් ලබාගැනීමේ අවස්ථාව ද මෙම හැදුනුම්පත හරහා ලබා ගත හැක.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ විස්තර ද මෙම හැඳුනුම්පතේ දත්ත මඟින් ලබාගත හැකි වීමද මේ තුළින් තරුණ ප්‍රජාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

වයස අවුරුදු 15 සම්පූර්ණ කළ ශ්‍රී ලංකාවේ ඕනෑම තරුණයෙකුට හෝ තරුණියකට ජාතික තරුණ සේවා සභාව හරහා මෙම ඩිජිටල් හැදුනුම්පත (Digital Youth ID) ලබාගත හැකි අතර තම හැකියා හා දක්ෂතාවයන් මත රැකියා ක්ෂේත්‍රයට සහ ව්‍යවසාය ක්ෂේත්‍රයට යොමුවන තරුණ පිරිස්වලට පුළුල් පරාසයක් ඔස්සේ විහිදුණු ප්‍රතිලාභ සහ අවස්ථාවන් මෙමගින් ලබාගත හැක.‍‍

එම අවස්ථාවේදී අමාත්‍යවරයා මෙසේ ද කීය‍

‘‘මේ රටේ තාරුණ්‍යය වෙනුවෙන් අපි ගොඩනගන්න බලාපොරොත්තු වෙන දේශය යථාර්ථවත් කරමින් රට ඩිජිටල්කරණය කරා ගෙන යන මාවතේ පළමු පියවර ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මුල පුරන්න අවශ්‍යයි කියන කාරණය අපි තීරණය කළා.

ඩිජිටල්කරණය කරා ගමන් කිරීමේදී තරුණ අමාත්‍යාංශය ඊට ආදර්ශවත් ඌණ පූර්ණයක් ලබා දිය යුතුයි. ඒ අනුව සම්පූර්ණ ඩිජිටල් තාක්ෂණය භාවිතා කළ හැකි හා භාවිතා කළ යුතු ජන කොටස නියෝජනය කරන අමාත්‍යාංශය ලෙස අපි තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය තුළ එය ආරම්භ කිරීම ඉතාමත් කාලෝචිත යැයි මා විශ්වාස කරනවා.

තරුණයාට, වැඩිහිටියාට, ක්‍රීඩකයාට රාජකාරි කටයුතුවලදී  වඩා පහසුවන පරිදි අවශ්‍ය නව රෙගුලාසි හදුන්වා දෙන්න අපේ අමාත්‍යාංශය බලාපොරොත්තු වෙනවා.

රෙගුලාසි හදුන්වාදීමේදී යම් කිසි පාර්ලිමේන්තු අණ පනත් අවශ්‍ය වුවහොත් ඒ සදහා ද අපි කටයුතු ක්‍රියාත්මක කරනවා. 

රටේ ජනතාව නිවාඩු දාගෙන පෝලිම්වල රස්තියාදු විය යුතු නැහැ. අද ලෝකයේ තාක්ෂණය උපරිමයෙන් දියුණුයි. අපේ රටේත් ඒ තාක්ෂණය තිබෙනවා. අපි ඒ තාක්ෂණය භාවිතය හා භාවිතය සදහා පෙළඹවීම කියන කාරණයේදී යම් පසුබෑමක ඉන්නවා.

යෞවන සමාජ සාමාජිකයින්, තරුණ පාර්ලිමේන්තු සාමාජිකයින් විදියට ඔබට වගකීමක් තිබෙනවා ඔබේ සාමාජිකයින් මේ තාක්ෂණය භාවිතය සදහා පොළඹවන්න. එතනින් අපි පටන් ගත් පසු සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණය ම තාක්ෂණය සමග පරිවර්තනය කරන්න පහසුයි.   

පළමු කාර්තුවේදී ලිපිගොනු භාවිතය 50% ක් පමණ ඩිජිටල්කරණයට පරිවර්තනය කරන්න තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අපි තීරණය කළා. එහිදී අපි බලාපොරොත්තු වෙනවා සමහර ලිපි එකම අනුමැතිය සදහා ආයතන දෙකකට යවන්න අවශ්‍ය නම් එය එක් ආයතනයකට පමණක් සීමා කරන්න.

ලිපි මේසයෙන් මේසයට යවන යුගය අවසන් කළ යුතුයි. මේ තාක්ෂණය හරහා අවසන් අත්සන ලබා ගැනීම සදහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම කළ හැකියි. ඒ අනුව අපේ අමාත්‍යාංශය ඉතා කාර්යක්ෂම අමාත්‍යාංශයක් බවට පත් වේ යැයි මා විස්වාස කරනවා.

ජනතාවට රස්තියාදු නොවී පහසුකම් රැසක් සමග තමන්ගේ කටයුතු ඉටු කරගන්න හැකි වේවි. තවත් පැත්තකින් අමාත්‍යාංශය තුළ කඩදාසි සදහා යන වියදම අවම කර ගැනීම වගේම පරිසරයට මුදා හැරෙන ප්‍රමාණයත් අඩු කරගෙන පරිසර හිතකාමී අමාත්‍යාංශයක් විදියට පවත්වාගෙන යන්නත් හැකියාව ලැබේවි. මේ සදහා අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනවල සහයෝගය උපරිමයෙන් අපේක්ෂා කරනවා.

අද අපි අපේ රටේ ව්‍යවසායකයින් ගොඩ නඟනවා. අනාගත පරම්පරාව යැපෙන මානසිකත්වයෙන් මුදවා ගත යුතුයි. ඔවුන් ව්‍යාපාරිකයින්, ආයෝජකයින් බවට පරිවර්තනය කළ යුතුයි. අපි එක කාලයක් පාන් පිටි නැව එනකල් මුහුද දිහා බලාගෙන ඉන්නවා. ශ්‍රී ලාංකිකයින් ලෙස අපි පිටරටින් දේවල් එනකල් බලා සිටිම අවශ්‍ය නැහැ. මෙම ක්‍රමවේදය වෙනස් කරන්න තරුණ පරපුර මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුයි.

අද බොහෝ දේශපාලනඥයින්ගේ සටන් පාඨය වී තිබෙන්නේ සීයාගේ කාලයේ තිබු සටන් පාඨමයි. නිදහසින් පසු ඒ සටන් පාඨවල කිසිදු වෙනසක් සිදු වී නැහැ. සමාජය දෙස බැලුවොත් තවමත් දුප්පත්කම ගැන අධ්‍යාපනය ගැන ඩිස්පැන්සරියේ වෛද්‍යවරයෙක් නොමැතිවීම, පාසලේ ගුරුවරයෙක් නොමැතිවීම, රැකියාවක් නෑ කියන කාරණය, ගමේ තරුණයින්ට අවකාශයක් නැහැ කියන කාරණය වැනි එදා තිබුණු ගැටලු ගැන අදටත් ඒ ආකාරයෙන්ම කතා කරනවා.

අපි දේශපාලනය කරන අය ලෙස ඔබ රාජ්‍ය යාන්ත්‍රණයේ කොටස්කරුවන් ලෙස නිදහස ලබා අවුරුදු 74 වන විටත් ඒ ගැටලු අපි වෙනස් විදියකට සාකච්ඡා කරනවා නම් අපේ ගමන පිළිබදව දෙපාරක් කල්පනා කර බැලිය යුතුයි. නොයෙක් යුග තිබුණා. ඒ යුගවල නායකයින් බිහි වුණා. ඒ නායකයින් ඒ කාලසීමාවට අනුරූපව වැඩ කළා.

අපි දන්නවා එක කාලයක් පසු කර මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ත්‍රස්තවාදය පරාජය කර, රට සංවර්ධනය කරා යොමු කරමින් ඒක පුද්ගල ආදායම වසර 40 කට පසු දෙගුණයක් බවට පරිවර්තනය කළා. ඒ ආපු ගමන තුළ තවත් පිරිසක් යහපාලන ආණ්ඩුවක් ගැන කතා කළා. විනිවිදභාවය ගැන කතා කළා. ඒ වගේම අද අපි නූතනත්වය හා නවීකරණය ගැන කතා කරනවා.

නූතනත්වය හා නවීකරණය ගැන කතා කරද්දි අද බොහෝ රටවල තාක්ෂණික අමාත්‍යාංශයක් නැහැ. අද බොහෝ රටවල තිබෙන්නේ තාක්ෂණික ආර්ථිකයක් ගැන කතා කරන අමාත්‍යාංශයක්. අද මැදපෙරදිග රටවල් කතා කරන්නේ Block Chain වලට සමස්ථ රාජ්‍ය පාලනය ම පරිවර්තනය කිරීම යන කාරණය යි. ඒ පැත්තෙනුත් අවම අවුරුදු 20 ක් 30 ක් පිටිපස්සෙන් අපි ඉන්නේ.  මේ කාරණා ඔබ මම තව අවුරුදු 4 ක් කතා කර, ආයෙත් තව අවුරුදු 5 ක් කතා කර නැවතත් තව අවුරුදු ගාණක් කතා කර අපේ ළමයින්ටත් කතා කරන්න ඉතුරු කරමින් ඉන්නවාද එහෙම නැත්නම් මේ සාධනීය වෙනසට අපි ගමන් කරනවාද?

ඒ සාධනීය වෙනසට ගමන් කිරීමේ අපහසුතාවය අපි මනසේ තබාගෙන ඉන්නවා. ඒ වෙනසට මුල පුරන්න අපි සූදානම් විය යුතුයි. ඒ වෙනසට සරිලන විදියට අපේ ජීවිත ගොඩනගා ගන්න අපි සූදානම් විය යුතුයි. වැඩ කරන විදිය, පරිපාලනය කරන විදිය වෙනස් කරගන්න අවශ්‍යයි.

Hope for Sri Lanka වැඩසටහන යටතේ ව්‍යවසායකියින් බිහි කරනවා. ඔවුන්ට අපි ජාතික හා ජාත්‍යන්තර වෙළදපොළ සම්බන්ධ කරදෙනවා. මෙවර අය වැයෙන් රුපියල් බිලියන 30කට වැඩි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කර තිබෙනවා.

ලංකාවේ සිට පිටරටට අපේ භාණ්ඩ යවන්න පුලුවන් ආකාරයේ පරිසරයක් අපි නිර්මාණය කරනවා. Block Chain පිළිබදව Policy එක හදාගෙන යනවා. ඒ Policy එක හැදුවා වගේම මහ බැංකුවත් සමග සාකච්ඡා කරනවා Crypto Currency, Digital Currency සංචාරක ක්ෂේත්‍රයේ දී පාවිච්චි කරන්නේ කොහොමද කියන කාරණය.  Digital Currency වලින් කොහොමද සංචාරක ක්ෂේත්‍රයේ ගෙවීම් සිදුකරන්නේ වගේ දේවල්. ඩිජිටල් ගනුදෙනු හරහා අලුත් ආයෝජකයින් සම්බන්ධ කර ගන්න පුලුවන්.

අපි ලෝකයත් එක්ක ගනුදෙනු කරනවා වගේම එම ගනුදෙනු වලින් ආදායම් උත්පාදනය කළ හැකි පිරිසක් බවට අපේ තාරුණ්‍යය අපි පරිවර්තනය කළ යුතුයි. 

අපිට සමාජ මාධ්‍ය වැනි Platform ගොඩක් තිබෙනවා. දැන් අපිට ලෝකය සමග ගනුදෙනු කරන්න අවස්ථාව තිබෙනවා. ලෝකයෙන් ආදායම් උත්පාදනය කිරීමේ වගකීම තරුණයන්ට ලබාදෙමින් ඒ සඳහා ඔවුන්ට අපි අවස්ථාවන් සකස් කර දිය යුතුයි.

Block Chain Network එකට පරිවර්තනය කිරීම තුළ මේ සියලු කාරණා එක ඇගිලි තුඩකට ගේන්න හැකියාව ලැබේ යැයි මා විස්වාශ කරනවා.

මේ යෞවන සමාජ සම්මේලන තුළ සිටින තරුණයා ඇප්ලිකේෂන් එක ප්‍රින්ට් කරගෙන අපි ගාවට ගෙනැත් දෙන්න අවශ්‍ය නැහැ. ඇප්ලිකේෂන් එකේ ප්‍රින්ට් එකක් අරගෙන තමන්ගේ ගමේ දේශපාලනඥයා කරා යන්න අවශ්‍ය නැහැ. මේ Digital Youth ID එක ඇතුළේ තමන්ගේ සියලු විස්තර තිබෙනවා. තමන් ව්‍යසායකයෙක් නම් තමන් ව්‍යසායකයෙක් හැටියට තමන් කරගෙන යන වැඩ පිළිවෙළ පිළිබදව තමන්ගේ අවශ්‍යතාවය කුමක්ද කියන කාරණය පිළිබදව මේ තුළ අන්තර්ගත කරන්න පුලුවන්.

තමන් අපේක්ෂා කරන රැකියා වෙළදපොළ, තමන් අපේක්ෂා කරන පුහුණු පාඨමාලා, තමන් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ කුමන ආකාරයකින් ගොඩනගා ගන්න ද ඒ තුළ තරුණ සේවා සභාවේ ඇති වැඩපිළිවෙළ පිළිබදව කඩදාසි කොළ වෙනුවට මේ Platform එක හරහා අයදුම් කරන්න එහි ප්‍රතිලාභ ලබන්න ඒ තුළ ගනුදෙනු කරන්න ඔබට හැකියාව ලැබෙනවා.

මා ප්‍රතිපත්තියක් ලෙස යෝජනා කරනවා මින් ඉදිරියට යෞවන සමාජ ව්‍යාපාරය, තුරුණු ශක්ති වැඩසටහන, ඉදිරියේදී පවත්වන තරුණ වැඩසටහන් සියල්ලටම මේ Digital Youth ID හරහා ප්‍රතිලාභ ලබාදෙමින් ඉදිරියට යා හැකි බව.

ෆෝම් පුරවගෙන තරුණයින් රස්තියාදු කරන්නේ නැතිව මෙම තාක්ෂණය වෙත හැකිතාක් ඒ දරුවන්ව යොමු කරන්න කියන ඉල්ලීම තරුණ සේවා සභාව හා අධ්‍යක්ෂ මණ්ඩලයට සහ යෞවන සමාජ සම්මේලනයට මම යෝජනා කරනවා. අඩු වැඩි වශයෙන් අපිට බලපෑම් සහ අපහසුතා එයි. අමාරුවෙන් හරි මේ මාස කිහිපය තුළ එය නිරාකරණය කරගත්තොත් මෙම තාක්ෂණය හරහා අනාගතය සුබවාදී ලෙස අපිට ගොඩනගා ගන්න හැකිවේවි.

මීට සමගාමීව Hope For Sri Lanka වැඩසටහන යටතේ නවතම ව්‍යාපාර ආරම්භ කරනු ලබන කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් තරුණ තරුණියන් 50 දෙනෙකුට රු.500,000 සිට රුපියල් මිලියන 05 දක්වා වූ බැංකු ණය මුදල් ලබාදීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් ඩිල්ෂාන් ජයකුරු යන මහත්වරුන්, වාණිජ බැංකු ප්‍රධානීන්,  Future CX සමාගමේ නිලධාරී මහත්ම මහත්මින්, ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් කතානායකතුමිය ප්‍රමුඛ සභික පිරිසක්, ජාතික තරුණ සේවා සභාවේ සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය නියෝජනය කරමින් තරුණ පිරිසක් ද ඇතුළුව නිලධාරි මහත්ම මහත්මීහු රැසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress