වෛද්‍ය නිලධාරීන්ගේ මාරු මණ්ඩලය මෙතෙක් පැවති ක්‍රමවේදයටම පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්
Posted on January 4th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රේණිධාරී වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලය මෙතෙක් පවත්වාගෙන ආ ක්‍රමවේදයටම ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ අද (04) පැවැති සාකච්ඡාවේ දී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

මෙතෙක් පැවැති ක්‍රමවේද ඇතැම් නිලධාරීන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යාමෙන් අර්බුද මතුවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවයට පත් නොකර වෘත්තිය සමිති සමඟ ආයතන සංග්‍රහයට අනුව ක්‍රියා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ ලෙස දෙකොටසකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියැදියක තබා කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා මෙහි දී යෝජනාවක් ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී එස්.සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච් මුණසිංහ, ජාතික වැටුප් කොමිෂන් සභාවේ ලේකම්  චන්ද්‍රානි සේනාරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, අග්‍රාමාත්‍ය සහකාර ලේකම් ෆාතිමා ෆර්සානා , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහත්ම මහත්මීහු ඇතුළු එම සංගමයේ වෛද්‍යවරු රැසක් සහභාගී වුහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress