අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉඳි වූ නඳුන් මහ සෑයේ නිධන් වස්තු තැන්පත් කිරීම.
Posted on January 17th, 2022

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

ඓතිහාසික තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉඳිකරන ලද නඳුන් මහ සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීම දුරුතු පුර පසළොස්වන පොහොය යෙදුණු අද (17) දින අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ සාදවා නිම කිරීමේ මාහැඟි වූ පුණ්‍ය කර්තව්‍යය, පන්නිපිටිය පැලැන්වත්ත විද්‍යා සමාධි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධූරන්දර අති පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි පූජ්‍ය හක්මන නන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදු කරන ලදි.

ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ අභිනවයෙන් ඉඳිකරන ලද මෙම නදුන් මහ සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවයේ පිළිගැනීමේ කතාව සහ පුණ්‍යානුමෝදනාව ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි පූජ්‍ය හක්මන නන්දරතන මාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ.

එහිදී පැවති කෙටි අනුශාසනාව විද්‍යා සාමධි ජාතික සංඝ සභාවේ ගරු සභාපති, අමරපුර සිරි සද්ධම්මවංස මහ නිකායේ කාරක සංඝ සභික හිපන්කන්ද විද්‍යා සමාධි මහ පිරිවෙන්පති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ රාහුල නාහිමියන් වහන්සේ විසින් සිදුකළහ.

ඉන් අනතුරුව පෙ.ව.9.31ට යෙදුණු සුබ මුහුර්තයේදී චෛත්‍ය ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීම අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක ධූරන්දර අති පූජ්‍ය හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේ, විද්‍යා සමාධි මහ පිරිවෙන්පති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ රාහුල නාහිමියන් වහන්සේ,  ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහ පිරිවෙන් කෘත්‍යාධිකාරි පූජ්‍ය හක්මන නන්දරතන යන හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන්, සංඝයා වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ අමාත්‍ය චමල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ සතර පේරුවේ දායකකාරකාදීන්ගේ සහභාගීත්වයෙන් සිදුවූහ.

නඳුන් මහ සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිධන් වස්තු තැන්පත් කිරීමේ මහෝත්සවයේ අවසන් අනුශාසනාව උරගස්මංහන්දිය, බොරළුකැටිය, ශ්‍රී ආනන්දාරාම නියෝජ්‍ය විහාරාධිපති පූජ්‍ය සාලියපුර සමිද්ධි ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කළහ.

සියලු ම කොවිඩ් – 19 මාර්ගෝපදේශවලට යටත්ව පැවති මෙම පුණ්‍ය මහෝත්සවයට අතිපූජනීය මහා සංඝරත්නය වැඩමකොට වදාළ අතර ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපති රසික දිනේෂ්, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.ඩබ්.උපුල්, ප්‍රාදේශීය සභා කොට්ඨාශ මන්ත්‍රී රෝහණ රත්නායක මහතා, ලුණුගම්වෙහෙර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් අයි.එල්. වික්‍රමනායක, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුන් සමඟ බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, රාජ්‍ය සේවා බෞද්ධ සංගමය, ජාතික වෙළඳ හා ව්‍යවසායකත්ව සම්මේලනය, පහන්සිත් පදනම, යොවුන් ශීල සමාධි පදනම නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහ තිස්සමහාරාම බෙරලිහෙළ සාලියපුර ශ්‍රී දුටුගැමුණු රාජමහා විහාර පිරිවෙන් විහාරස්ථානයේ සතර පේරුවේ දායකකාරකාදීන් බොහෝ පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය,සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress