බෞද්ධ ජනරජ ප්‍රවාදය – 53 වැනි කොටස – ‍පංචශීල ප්‍රතිපදාව
Posted on January 17th, 2022

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

පංචශීලයෙන් හික්මුණු සමාජයක් බිහිකිරීම බෞද්ධ ජනරජයේ පරමාර්ථයකි. නිසි ගුරු උපදේශ සහ මගපෙන්වීම් තුළින් අදාළ ගුණධර්ම වගා කරගත් මිනිසුන් බිහි කරගැනීමෙන් මෙම පරමාර්ථය සාක්‍ෂාත්වන්නේ ය. මෙම කාර්යය උදෙසා මූලික කාර්යයක් ඉටුකළ යුත්තේ විධිමත් සහ අවිධිමත් අධ්‍යාපනික වැඩපිළිවෙළ විසිනි. පංචශීලය ඇසුරින් ගුණගරුක, සත්පුරුෂයන් බිහිවන ආකාරය අභිධර්ම පිටකයේ පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයේ එන චතුෂ්ක නිර්දේශය තුළින් විස්තර කෙරෙයි. එහෙයින් එවැනි ඉගැන්වීම් මත පදනම් වුණු අපරාධ නීතියක් සම්පාදනය කිරීම ජනරජයේ වගකීමක් වෙයි.

පන්සිල් සුරකින සමාජයක් නීතිය තුළින් බිහිකළ නො හැකි ය. කෙසේ වුව ද, වැරැදි සහ වැරැදිකරුවන් හඳුනාගැනීමට ද එ ලෙසින් හඳුනාගන්නා වැරැදිකරුවන් සියලු දෙනා ජනරජයේ පරමාර්ථවලට අනුකූල වන අයුරින් පුනරුත්ථාපනයට ද පංචශීල ආකෘතිය යොදාගත හැකි වෙයි. අපරාධ නීතියට අදාළ වැරැදි විශාල ප්‍රමාණයක් පංචශීල ආකෘතිය තුළින් විග්‍රහ කරගත හැක්කේ ය.

කයින්, වචනයෙන් සහ මනසින් කරනු ලබන දුසිරිතෙන් මිනිසුන් වළක්වාගැනීම පංචශීලයේ අරමුණ වෙයි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය සහ සුරාමේරය යන චර්යා තුළින් ආවරණය වන කටයුතු ප්‍රමාණය අති විශාල ය. නිදසුනක් වශයෙන් ගත් කල සොරකම්කිරීම, මංකොල්ලකෑම, අල්ලස්ගැනීම, අවභාවිතය වැනි ක්‍රියා විශාල ප්‍රමාණයක් අදත්තාදානය තුළින් විග්‍රහ කළ හැකි ය. මත්ද්‍රව්‍ය වශයෙන් සැළැකිය හැකි පංචසුරාවක් ගැන දීඝ නිකාය අට්ඨකතාවේ එන සිගාලක සූත්‍ර වර්ණනාවේ විස්තර කෙරෙයි. මෙ ලෙස ත්‍රිපිටක පෙළ අසුරින් ද, විධිමත්ව කරනු ලබන නිරීක්‍ෂණ තුළින් ද පංචශීල ආකෘතිය යටතේ වැරැදි විග්‍රහ කරගැනීම අසීරු කාර්යයක් නොවන බව පැහැදිළි ය.

අපගේ සංස්කෘතික ඇගැයීම් සැකැසීමටත් පස්පව් පිිළිබඳ අවබෝධය උපකාරී වී තිබේ. එහෙයින් පංචශීල ආකෘතිය තුළින් අපරාධ හඳුනාගැනීම සහ නිර්වචනය සංස්කෘතික ඇගැයීමක් ලෙසින් ද සැළැකිය හැකි ය. නීති සම්පාදනය විය යුත්තේ සංස්කෘතික ඇගැයීම් ඇසුරින් බව මෙයට පෙර ලිපියෙන් අපි හඳුනාගත්තෙමු. එහෙයින් ඒ අනුව ගත්ත ද පංචශීල ආකෘතියේ අවශ්‍යතාව තවදුරටත් තහවුරු වෙයි.

වැරැදි හඳුනාගැනීමෙන් සහ නිර්වචනයෙන් පසු කළ යුත්තේ ජනරජයේ මිනිසුන් ඒ වැරැදිවලට යොමුවීම වැළැක්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකකිරීම ය. මෙය මූලික වශයෙන් ගත් කල අධ්‍යාපනික කාර්යයකි. පංචශීල ආකෘතිය තුළ වැරැදි විග්‍රහ කෙරෙන බැවින් ආශ්‍රිත දැනුම ජනගතකිරීම ඉතා පහසු කාර්යයකි. මෙයට අදාළ මූලික දැනුමක් මෙම සමාජයේ වසන සියලු දෙනා විසින් ම කුඩා කල සිට ම ඇති කරගෙන සහ වර්ධනය කරගෙන තිබේ. එහෙයින් එවැනි දැනුම සහ ආකල්ප ඇති පිරිසක් වෙත ඒ ඇසුරින් සැකැසුණු නීති පැහැදිළි කරදීම අපහසු නොවේ.

දැනට අප රටෙහි ක්‍රියාත්මක වන්නේ ඉංග්‍රීසි යටත්විජිත උරුමය මත සම්පාදන කෙරුණු අපරාධ නීතියකි. මෙය මූලික වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදනය කෙරී ඇති අතර ලතින් වචන භාවිතයක් ද ඒ තුළ වෙයි. මෙවැනි නීතියක් සිංහල භාෂාවට පරිවර්තනය කළ ද ඒ තුළ ගැබ් වී තිබෙන මූලික අර්ථ සන්නිවේදනය පහසු කාර්යයක් නොවේ. මෙයින් යෝජනා කරනු ලබන ආකාරයට අපගේ අපරාධ නීතිය සම්පාදන කෙරෙනුයේ පංචශීල ආකෘතිය තුළ නම් උක්ත ගැටලුව ඇති නොවේ. මෙවැනි නීති ක්‍රමයක් සිංහල භාෂාවෙන් ම සම්පාදනය කළ හැකි අතර එය තුළට පාලි වචන අන්තර්ගත වුව ද ඒවා වටහාගැනීමේ හැකියාවක් මෙම සංස්කෘතිය තුළ හැදී වැඩුණු මිනිසුන් තුළ වෙයි.

මෙ ලෙසින් ජනරජයේ ජනතාව තුළ නීති සාක්‍ෂරතාව ඉහළ නැංවූ කල්හි නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාමත් පහසු කාර්යයක් බවට පත්වෙයි. වරද කුමක් ද, නොකළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ ඉතා පැහැදිළි අවබෝධයක් මෙම ක්‍රමය ඇසුරින් සැම දෙනා ම ලබාගනිති.

මෙයට පෙර ලිපියෙන් අවධාරණය කළ පරිදි, බෞද්ධ නීතියේ පරමාර්ථය වනුයේ යහපත් මිනිසුන් පිරිසක් ඇති කරගැනීම ය. යමෙකු යම් හේතුවක් නිසා වරදට පෙළැඹුණ ද ඔවුන් යහමගට ගෙන රටට වැඩදායක මිනිසුන් වශයෙන් සමාජගත කිරීම මේ තුළින් අපේක්‍ෂා කෙරෙයි. එහෙයින් වැරැදිකරුවන් වශයෙන් තහවුරු වෙන අය නිශෝධනය ජනරජයේ සියලු මට්ටම්වල වගකීමක් වන්නේ ය.

බන්ධනාගාර පැවැතිය යුත්තේ මිනිසුන් වරදින් ඈත් කරවීමේ උපායක් වශයෙන් විනා ඒවා වැරැදිකරුවන්ගෙන් පිරැවීමට නොවේ. යම් කාලයකට බන්ධනාගාර ගත කළයුත්තේ පහසුවෙන් මෙල්ල කළ නො හැකි දරුණු ගණයේ අපරාධකරුවන් පමණකි. එසේ නොවන සෑම වරදකරුවකු ම ප්‍රාදේශීය නිශෝධන වැඩපිළිවෙළ තුළින් පුනරුත්ථාපනය කළ යුත්තේ ය.

ප්‍රජා සේවය, ගොවිබිම් සහ කර්මාන්ත ශාලා තුළ සේවය වැනි කටයුතු මෙවැනි නිශෝධන වැඩපිළිවෙළකට ඇතුළත් කළ හැකි ය. එ මෙන් ම, අදාළ අධ්‍යාපනික සහ ශීල, භාවනාදී අධ්‍යාත්මික වැඩසටහන් ද ඒ තුළට අන්තර්ගත කළ හැකි ය. පිරුණු මිනිසුන් යහපත් ය” යන්න මෙවැනි වැඩපිළිවෙළක ආදර්ශ පාඨය විය යුත්තේ ය.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress