රට පුරා සිටින සියලුම වායුසමන ව්‍යවසායකයන් එක මිටකට සමස්ත ලංකා වායුසමන ශිල්පී සංගමයේ මහසභාව උත්කර්ෂවත් ලෙස පැවැත්වේ
Posted on February 10th, 2022

ජාතික සංවිධායක ජනක ප්‍රසාද් සමස්ත ලංකා වායුසමන ශිල්පී සංගමය

සමස්ත ලංකා වායු සමන ශිල්පී සංගමයේ මහ සභාව සහ වැඩමුළුව 2022. 02. 07 දින මොරටුව ‘ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේදී පැවැත්විනි. ලංකාවේ සියලුම දිස්ත්‍රික් නියෝජනය කරමින් වායු සමන ක්ෂේත්‍රයේ ව්‍යාපාර ලියාපදිංචියක් හිමි ව්‍යවසායකයෝ ඊට සහභාගි වූහ.
රට පුරා විසිරී සිටින සියලුම වායු සමන ව්‍යවසායකයන් එකම සංවිධානයකට ගොනු කිරීම, ඉහළ ගුණාත්මක හා විශ්වසනීය සේවාවක් ලබාදීම සඳහා ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, වෘත්තීයභාවය ඉහළ නැංවීම, වායු සමන ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලුවලට සාමූහිකව විසඳුම් සොයා ගැනීම, දැනුම – අත්දැකීම් හා හැකියාවන් හුවමාරු කර ගැනීම, නව නිපැයුම් දිරිමත් කිරීම ‘සමස්ත ලංකා වායුසමන ශිල්පී සංගමය’ පිහිටුවීමේ අරමුණ බව එහි ලේකම් අධිකාරී මහතා ප්‍රකාශ කළේය. නුදුරේදීම පළාත් මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් සංගමයේ ශාඛා පිහිටුවන බව ප්‍රකාශ කළ ලේකම් අධිකාරි මහතා ඊට සියලු දෙනා සාමූහිකව උනන්දු විය යුතු බවද අවධාරණය කළේය.
සංගමයේ සභාපති මිතිල ජයවර්ධන මහතාට හදිසි අසනීප තත්වයක් හේතුවෙන් මහසභාවාරයට පැමිණීමට නොහැකි විය. උප සභාපති සංජීව තිලකරත්න මහතා විසින් සභාවේ කටයුතු මෙහෙයවනු ලැබීය. භාණ්ඩාගාරික රොෂාන් ලියනගේ මහතා භාණ්ඩාගාරික වාර්තාව ඉදිරිපත් කළේය. උප ලේකම් ගාමිණී කුලරත්න මහතා ජාතික සංවිධායක ජනක ප්‍රසාද් මහතා ඇතුළු විධායක සභිකයෝ සියලු දෙනා ඊට සහභාගි වූහ.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක පියසිරි උදයකුමාර, ජාතික ආධුනිකත්ව සහ පුහුණු කිරීමේ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (අලෙවිකරණ හා වෘත්තීය මාර්ගෝපදේශ) එම්.එල්. ප්‍රියන්ත යන මහත්වරු වායුසමන ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන්ට ඉතා වැදගත් හරවත් දේශන දෙකක් සිදු කළහ.
ජාතික ගීය වාදනය කිරීමෙන් හා සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් ‘සමස්ත ලංකා වායුසමන ශිල්පී සංගමයේ’ මහ සභාවේ කටයුතු ආරම්භ කෙරුණු අතර පැමිණ සිටි සියලුම ව්‍යාපාර නාමයක් හිමි ව්‍යවසායකයන්ට සංගමයේ සාමාජික සහතික පත් එහි විධායක සභිකයන්ගේ අතින් ප්‍රදානය කිරීමද සිදු විය. පැමිණ සිටි සියලුම ව්‍යවසායකයන්ට වෙන වෙනම තමන්ගේ අදහස්, යෝජනා, ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසා තිබීමද විශේෂත්වයක් විය. එහිදී බොහෝ දෙනකු නව යෝජනා, අදහස් මෙන්ම රැකියාව කරගෙන යාමේදී මුහුණ දීමට සිදුවන ගැටලු ඉදිරිපත් කළ අතර ඒවාට සාමූහිකව විසඳුම් සපයා ගැනීම පිළිබඳවද මහසභාවේ අවධානය යොමු විය.
සමස්ත ලංකා වායුසමන ශිල්පී සංගමය ඉදිරියේදී රට පුරා විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වීමට සංවිධානය කොට තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress