“ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා”ලෙස අලුත් පරිච්ඡේදයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමු…!
Posted on June 3rd, 2022

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col)

ජනාධිපතිවරයා ජනතාව විසින් ඡන්දයෙන් තෝරා ගත්තද ජනාධිපතිවරයා ප්‍රශ්න කළ හැක්කේ මූලික අයිතිවාසිකම් නඩු වලින් පමණි.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ පාලනයට සහ ජනාධිපති සහ ජනතාව අතර ඇති සම්බන්ධතාවට හිතකර නැත.

මේ දුර්වලතාවය හේතුවෙන් වතුර බොර කර බොර දියේ මාලු බෑමට පාර්ලිමේන්තුව සහ අන්තවාදීන් උත්සාහ කරන අතර, පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයා පාලනය කිරීමට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අවස්ථාවක් කරගෙන ඇත. ජනාධිපතිවරයා ජනතාව විසින් සෘජුවම තෝරාපත් කර ගන්නා හෙයින්, ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුවටයටත් කිරීම නො විය යුතු අතර ජනාධිපතිවරයා ජනතාවට යටත් කිරීම සිඳුවිය යුතුය.

මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “ජනතාව සහ ජනරජයේ ජනාධිපතිවරයා”ලෙස අලුත් පරිච්ඡේදයක් (VII අ) ඇතුළත් කර ජනතාව සහ ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධතාවය ශක්තිමත් කළ යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අලුත් පරිච්ඡේදයට ඇතුළත් විය යුතු කෙටුම්පත පහත දක්වා ඇත.

1. ශ්‍රී ලංකා ජනරජයේ
ජනාධිපතිවරයා සිය කාර්ය කර්තව්‍ය යථා පරිදි ක්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටු කිරීම සමබන්ධයෙන් ජනතාවටද වගකිව යුත්තේය.

2. ජනාධිපතිවරයා වෙත පුරවැසියෙකු යවන යෝජනාවක්, ඉල්ලීමක් සම්බන්ධයෙන් පිළිතුර, විසඳුම දින 30ක් ඇතුළත යොමු කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුය.

3. ඉහත අංක 2 යටතේ ජනාධිපතිවරයා යොමු කරන පිළිතුර, විසඳුම මගින් අතෘප්තියට පත් වන්නේ නම් ඒ තැනැත්තා හෝ නීතිඥවරයා මගින් “විධායක ජනතා අධිකරණයට” පෙත්සමක් ඉදිරිපත් කළ හැකි අතර එකී පෙත්සමේ ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා වගඋත්තරකරු කළ යුත්තේය.

4. මේ පරිච්ඡේදයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන වෘත්තීය හෝ අධ්‍යාපන හෝ නීති හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිපුණතාවය දක්වන වයස අවුරුදු 60 නොඉක්මවූ
05දෙනෙකුගෙන් යුත්  “විධායක ජනතා අධිකරණ” දිස්ත්‍රික්කයකට 1 බැගින් පාර්ලිමේන්තුව විසින් පිහිටුවිය යුත්තේය.

5.”විධායක ජනතා අධිකරණය” ලබා දෙන තීරණ සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ලබා දිය යුත්තේය.

6. “විධායක ජනතා අධිකරණය” ලබා දෙන තීරණයකින් අතෘප්තියට පත්වන තැනැත්තන්ට දින 28ක් ඇතුළත පාර්ලිමේන්තුව  වෙත අභියාචනා කළ හැක්කේය.

7. “විධායක ජනතා අධිකරණය” ලබා දෙන තීරණවලට එරෙහිව එන අභියාචනා සළකා බැලීමට පාර්ලිමේන්තුව විසින් ස්ථාවර නියෝග මගින් විධිවිධාන සැළැස්විය යුත්තේය.

8. අවථාවෝචිත පරිදි “විධායක ජනතා අධිකරණය” හෝ පාර්ලිමේන්තුව ලබා දෙන තීරණ අවසානාත්මක වේ.

මෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිවරයාට එරෙහිව වර්තමානයේ පවතින මහජන විරෝධය ජනතා හිතවාදීව පාලනය කළ හැකි අතර, ගාලුමුවදොර විරෝධයට පදනම සපයා ඇත්තේද ජනාධිපතිවරයා ජනතාව සමග පවතින දුරස්ථ සම්බන්ධයම වේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.03)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress