ගෝල්පේස් අරගලය (2022) හා ඩොනමෝර් ආණ්ඩුක්‍රම සමය (1931-47)
Posted on June 5th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

නීතිය (ව්යවස්ථාව) කියන්නේ අකුරු ගොඩක් !’ ඇල්ලේ ගුණවංශ හිමි

හැඳින්වීම

මෙය ලංකාවේ සිංහල කතාකරණ ජනතාව දැනුවත් කරණු පිණිස මා විසින් ලියනලද ලිපි පෙලේ අටවන කොටසය. මෙම ලිපිවල කිසියම් හෝ අසත්‍ය කරුණක් නොලියන්නට මම වගබලා ගත්තෙමි. අලි-මිනිස් ගැටුම, රටේ ගොවි ජනතාවගේ පෝර ප්‍රශ්ණය,  මාක්ස්වාදී ස්ටාලින්ලා ගෙනා ගුරුවරුන්ගේ වැඩවර්ජන, යනාදිය මඟින් ක්‍රමයෙන් වර්ධනයවූ පෙලපාලි, ගෑස්, තෙල්, භූමිතෙල් පෝලිම් වශයෙන් උඩුදුවා ගිය විට දුර දිග නොබැලූ ආණ්ඩුව අසරණ විය. මින් ප්‍රයෝජනගත් jvp- පෙරටුගාමි කොටස් එය තමන්ට බලයට ඒමට ලැබුණු අවස්ථාවක් සේ යොදා ගන්නට ක්‍රියාකලේය. සමහරවිට අවංක චේතනාවෙන් යම් තරුණයින් පිරිසක් විසින් ආරම්භකල යුක්තිසහගත  <සටනක්>, ඔවුන් සිතා හෝ නොසිතා හෝ කාරණා කාරණා නොදන්නාකමට හෝ රට අරාජික කර, රට කැබලිකිරීමේ ව්‍යාපාරයක් බවට පෙරළින. මොවුනුත් රනිල් ප්‍රමුඛ අළුත් කැබිනට් එකත් මධ්‍යම ආණ්ඩු යන්ත්‍රණය හීලෑකර ගැනීමේ (ප්‍රජා-තන්ත්‍රවාදී!) ක්‍රියා පටිපාටියකට අවතීර්ණව සිටී.

විධායක තෘෂ්ණාව!

විධායක ජනාධිපති ධූරය, විධායක අගමැති කමක් කිරීමට චන්ද්‍රිකා හා රනිල් 2000 දී එකඟවිය. එහෙත් එය තමන්ට ලබාගැනීම චන්ද්‍රිකාගේ ප්ලෑන බව දැනගත් විට රනිල්, ඇගේ නීලන්-GL පැකේජ් ඩීල් ව්‍යවස්ථා කෙටුම්පත දියවන්නා හෝටලය තුල ගිනිබත් කලේය. හැමදේම වෙන්නේ හොඳට යයි කියන්නා සේ ඔහු එය එසේ නොකරන්නට,  ඒ කාලයේදීම රට කොටස් දහයකටවත් කැබලිවී, දකුණු ආසියාවේ පලස්තීනයක්වී යන්නේය. මේ ප්ලෑන 2018 දී ඔරුමිත්තනාඩු ජරමරය වශයෙන් රනිල්, සුමන්තිරන් හා ජීනීවා වලට පින් මන්ත්‍රීකමත් දමා පැනගිය ජයම්පති  වික්‍රමරත්න විසින් නැවත ගෙන ආ විට චන්ද්‍රිකා ඒ ගැන ප්‍රීති ප්‍රොමෝදයට පත්විය.

ඩොනමෝර් භූමිකාව හා JVP අභියෝගය

පසුගිය මාසවල තමන්ට සියේට තුන නොව සියේට 70 ක් 90 ක් චන්ද තිබෙනවා කියු හඳුන්නෙත්තිලා, ටිව්ලින් සිල්වලා දැන් කියන අළුත්ම කතාව නම් ඔවුන්ට අගමැතිකම බාරදී, ගෝටාත් අස්වූදාට පහුවදාම, පිටරට තම ශාඛා සංවිධාන ලවා රටට ඩොලර් බිලියන් එකහමාරක් ගෙන්වා ගන්නවා යන්නය. මෙසේ දෙන්නන් කාසි වෙනුවට මෙය සතියක් ඇතුලත කර පෙන්නුවොත් මේ රටේ ජනයා ඔවුන්ට ආණ්ඩුව භාරදෙන ලෙස ඉල්ලා මුළු කොළඹම වටලනවා නිසැකය! මෙහිදී මගේ මතකයට එන්නේ යාපනේ ඔවුන්ගේ නැයින්ට හානිකරණවා යයි තර්ජනය කර, ටයිගර්ලා, ඇමෙරිකාවේ වසන දමිළයින්ගෙන් ඩොලර් එකතුකල ආකාරයය.

පවතින රාමුව යටතේ ගැලවීමක් සෙවීමට හදන රනිල් විසින් ඩොනමොර් යුගයට යෑමට කරණ යෝජනාව ඔහු විසින් අඩුම තරමින් ඒ සම්බන්ධයෙන් ලියා ඇති පොත් දෙකක්වත් නොකියා ගෙනෙන කළුසුද්දන් විසින් වරින් වර කරණ කෙඳිරි ගෑමකි.  ඉන් එකක් නම් ජේන් රසල් විසින් මේ යුගය ගැන ලියූ ඇගේ ආචර්ය උපාධි නිබන්ධනයය (Communal Politics under the Donoughmore Constitution, 1931-1947, Colombo, Tisara Prakasakayo, 1982).   අනික නම් 1960-70 දශකවල, රනිල් OL/AL විභාග කරණ කාලයේ පාසැල් පන්තිවල භාවිතය සඳහා රජයෙන් අනුමතකල  චෙල්වනායගම්ගේ බෑණාවන A. J. විල්සන් විසින් ලියන ලද ආණ්ඩුක්‍රමය හා දේශපාලනය නම් පොතය/ පොත් පෙලය (Government and Politics). 1832 සිට අවුරුදු සීයක් පුරාම ජාතිවාදය උපයෝගී කර ගනිමින් රටපාලනය කල සුද්දා ලන්ඩන් කවුන්ටි කොමිටි ක්‍රමය අනුගමණය කරමින් සිංහල-දෙමළ කළුසුද්දන්ට සම්මුති ප්‍රජා-තන්ත්‍රවාදය ඉගැන්වීමට ගත් උත්සාහයය අසාර්ථකවූ අන්දම මේ පොත්වල වාර්තාකර ඇත.

1832-1931 ජාතිවාදී නියෝජන ක්‍රමය හා සර්වජන චන්ද බලය

1832 සිට කෝල්බෲක් ක්‍රමය යටතේ පැවතියේ ජාතීන් අනුව ආණ්ඩුකාරයා විසින් පත්කල නියෝජන ක්‍රමයකි.  සිංහල. දෙමළ, මුස්ලිම් වර්ග තුනටම එක නියෝජිතයෙකු වශයෙන්, බැගින් එය ආරම්භ විය. 1910 න් පසුව සිට චන්ද මඟින් තේරීම ප්‍රචලිතවී යාමත් සමඟ, වත්කම හා ඉංග්‍රීසි අධ්‍යාපන සුදුසුකම් මත තිබුණු චන්දදායක ලැයිස්තු ක්‍රමයෙන් ප්‍රසාරණය විය. උඩරට සිංහල හා පහතරට සිංහල වශයෙන් සිංහල මහජාතියට සුද්දන් විසින් කල බෙදීම ක්‍රමයෙන් අහෝසිවී යද්දී, (D. S. විවාහය, SWRD විවාහය), හා චන්දදායකයින් සංඛ්‍යාව වර්ධනය වීමත් සමඟ සුද්දා වෙනත් උපාය මාර්ඟයක් අනුගමණය කලේය. මැනිං ආණ්ඩුකාරයා මෙය සංකේතවත් කලේය. එය නම් සුළු ජනවර්ග එකතුකර ඔවුන් හා මහජාතිය නියෝජන සංඛ්‍යාව අතින් සමකර (කරට කර) තැබීමය (ඩොනමෝර් කාලයේදී පනහට-පනහ වශයෙන්  G. G. පොන්නම්බලම් සටන්කලේ මේ අනුව යමින්ය). සමානුපාතික චන්ද ක්‍රමය හා  R. ප්‍රේමදාස විසින් අෂ්‍රොෆ්ට ලබාදුන් දිස්ත්‍රික් අවම චන්ද කඩඉම සියේට 12 සිට 5 දක්වා අඩු කිරීම නිසා සුළු ජනවර්ග වලට ලැබුණ බලය මෙම උපක්‍රමය චන්ද හෝ සංඛ්‍යාත්මකව සමානවන මන්ත්‍රී සංඛ්‍යාවක් නැතිවම ලබාගැනීමකි  (ෂොපින් බෑග් එකකින් ගමන ඇරඹූ බදියුර්දීන්ට යහපාලනකාලයේදී හා ඊට පෙර තිබුණු <ඇමති බලය> ගැන සිතා බලන්න).

ආණ්ඩුකාරයා කොට උඩ යෑම

1910 න් පසුව සිදුවූයේ සිංහල ක්‍රිස්තියානි කළුසුද්දන් හා සුළු ජනවර්ග අතර සිදුවූ කේවල් කිරීමකි. ඒ අනුව සුළු ජනවර්ග එකතුව ගත්විට මහජාතිය හා සමානවන ලෙස නියෝජන ක්‍රමයක් සඳහා දෙපාර්ශවය එකඟ විය. එසේ වෙතත් 1921-24 වනවිට ආණ්ඩු ක්‍රමය ගෙන යා නොහැකි තත්වයක් උද්ගත විය. ව්‍යවස්ථාදායක සභාවේ නිලනොලත් පිරිසට නිලලත් ආණ්ඩුකාරයාගේ පිරිසට වඩා වැඩි චන්ද බලයක් හිමිවීම නිසා ආණ්ඩුකාරයා ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර-වාදය අනුවම කොට උඩ යන තත්වයක් උදාවිය. ඩොනමෝර් කොමිෂම ආවේ මෙවන් පසුබිමකය.

වඳුරන්ට දැලිපිහි දීම

එංගලන්තයේ පැතිරෙමින් ගිය ලිබරල් අදහස් අනුව ලංකා කොලනියට 1931 දී සර්ව ජන චන්ද බලයදීම විප්ලවකාරී ක්‍රියාවක් වැනිය. ඒ රටේ ස්ත්‍රීන්ටත් එය ලැබුණේ අවුරුදු කීපයකට කලින්ය.  ලංකාවේ හැම දේශපාලකයාම ඊට විරුද්ධ විය (කම්කරුනායක  A. E. ගුණසිංහ හැර). දෙමළ වෙල්ලාලයින් පහත් කුලවල යයි සළකණ ජනයාට එය දීම ගැන විරුද්ධ විය. මුස්ලිම් අය ගෑණුන්ට  එය දීමට විරුද්ධ විය. සිංහල ධනවත් පවුල් එය වඳුරන්ට දැලිපිහි දීමක් යයි කිව්වේ ජනයා  නූගත් නොදියුණු පිරිසක් යන අදහසිනි. ඉතා සුළු පිරිසක් හැර ඩොනමෝර් මන්ත්‍රීලාවුයේ ගම්වල හොර අඹුවන් තබාගෙන සිටි, වලව්වල යයි සිතන අයය. මොවුන්ව සමාන කල හැකි ඇමෙරිකාවේ වහල් හිමි වතුකාරයින්ටය. පසු කාලයක හා දැන් 2022 වනවිට ප්‍රත්‍යක්ෂ වන අන්දමට වඳුරන් වූයේ දේශපාලකයා මිස සාමාන්‍ය ජනතාව නොවේ. අනුරාධපුර මන්ත්‍රීවූයේ කලින් දිසාපතිව සිටි W. H.  ෆ්‍රීමන් ය. ඔහු 1936 දී පත්වූයේ නිතරඟයෙනි.

සුදුසු පුද්ගලයෙක් ඉදිරිපත්වූ විට ඔහු හඳුනාගැනීමේ විඥානයක් ගම්බද ජනයාට තිබුණේය. කැඩිච්ච සිංහල කතාකල වංක දේශපාලකයා ඩොනමෝර් (ඕ මයි ගෝඩ් බොරු) බෞද්ධයින්වී, ගමේ හාමුදුරුවරු භාෂා පරිවර්තකයින් ලෙස යොදාගනිමින් චන්ද දිණුවේය.  C.W.W. කන්නන්ගර නිදහස් අධ්‍යාපන ක්‍රමය හැරෙන විට ඩොනමෝර් යුගය තුල රටට ලැබුණ දෙයක් නැත. D.S.S විසින් ඉවක බවක් නැතිව ආරම්භකල වියළි කලාපයේ ගොවි ජනපද ව්‍යාපාරය ඇමෙරිකන් TVA සමාගමට, ප්‍රයෝජනයට ගත නොහැකිව අත්හැරදමා මලකඩ කෑ යෝධ යන්ත්‍ර සූත්‍ර වලට, රන්පවුම් පොම්පකල විදේශ විනිමය නාස්තියකි. එය රටේ භූගෝල විද්‍යාවට නොගැලපෙන මහාපරිමාණ පිස්සුවක් විය. මේ නාස්තිය ගැන ලංකාවේ කෘෂිකර්මය පිළිඹඳව බොහෝ පර්යේෂණ කල  බ්‍රිතාන්‍ය භූගෝල විද්‍යාඥයෙකුවූ  B.H ෆාර්මර් පොතක්ද ලියා ඇත (Pioneer Peasant Colonization in Ceylon: A Study in Asian Agrarian Problems. By B. H. Farmer. (London, New York, and Toronto: Oxford University Press. 1957).

පනහට-පනහේ ඉල්ලීම නොහොත් <සමතැන> සංකල්පය පටලවා ගැනීම

ඩොනමෝර් යුගය, 1915 සිංහල-මුස්ලිම් ගැටුමේදී සුද්දන් විසින් මුස්ලිම් පැත්ත ගෙන ක්‍රියාකිරීම හේතුවෙන් මරණයට පත්වූ හා හිරභාරයට පත්ව බේරීම නිසා ජනප්‍රිය බවට පත්වුණ, රටේ මතුවූ සිංහල බෞද්ධ නායකයින් බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමණය නොකිරීම හා ඉන් රටට සිදුවූ හානිය පිළිඹඳ කදිම නිදසුණකි. වෙස්ට්මිනිස්ටර් පක්ෂ දේශපාලන ක්‍රමය අනාගතයේදී රටට කරණ විනාශය එහි සටහන්විය.   සුද්දා විසින් කළුසුද්දාට රට පවරා දුන් විට වන දේ ධර්මපාලතුමා පෙන්වා දුන්නේ මේ කාලයේය. උතුරේ හරිජනයා වසන ප්‍රදේශවලට වගුරු බිම් උඩින් පාලම් පාරවල් දැමීමට පවා දෙමළ නායකයින් භාධා කිරීම් කල හැටි ජේන් රසල් පෙන්වා දේ. ඩොනමෝර් ක්‍රමය ප්‍රතික්ෂේප කල උතුරේ දෙමළ නායකයින්ට පසුව තමන් ගත් මෝඩ තීරණය වැටහී, පිටිපස්ස බිම ඇනී, ප්‍රමාදව ඊළඟ චන්දෙයෙන් රාජ්‍ය  මන්ත්‍රණ සභාවට ඇතුල් විය. එහෙත් ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපයට දඬුවමක් වශයෙන්, මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් ලවා සූත්‍රයක් සාදාගෙන ඇමැතිධූර හතෙන් එකක්වත් දමිළ නායකයින්ට නැති, තනිකර සිංහල අමාත්‍ය මණ්ඩල.යක් පිහිටුවා ගෙන පොන්නම්බලම්ගේ පනහට-පනහේ ඉල්ලීමට විරුද්ධව සිංහල නායකයින් ක්‍රියා කලේය. නියම සිංහල බෞද්ධ නායකත්වයක් තිබුණා නම් බුදු දහමේ මධ්‍යම ප්‍රතිපදාව අනුව දමිල අසාධාරණ ක්‍රියාකලාපය දමණය කල හැකිව තිබුණි. කළුකොඳයාවේ නාහිමියන් විසින් සිය සමාජ-ආර්ථික සංහිඳියා වැඩ පිළිවෙල මඟින් එය ක්‍රියාවෙන්, බිම් මට්ටමින්, ඔප්පු කලේය. ඩොනමෝර් ඇමතිලාට අමතරව,  මැලේරියා ප්‍රදේශ වලට බඩු ලොරි ගෙන ගිය තරුණ මාක්වාදීන්ද ඊට සහයෝගයක් දුන්නේ නැත.

අශ්වයින් (බූරුවන්) හත්දෙනා

සෝල්බරි කොමිෂම එනවිට දෙමළ දේශපාලකයින් සිටියේ හොඳටම හෙම්බත් වීය. ඩොනමෝර් ක්‍රමයේ අසාර්ථක භාවය සෝල්බරි කොමිෂම ඒමට මූලිකම හේතුව විය. අප ඒ දිනවල ඉගෙන ගත්තේ ඩොනමෝර් ඇමතිවරු හත් දිසාවට අදින බූරුවන් හත් දෙනක් වගේ වූවාය යන්නය. 1815 දී සිංහල බෞද්ධයාට අහිමිකල දේ ආපසු ලබාදීමක් පිළිඹඳ ව කිසිම අදහසක් චන්දයෙන් පත්වූ සිංහල කළුසුද්දන්ට නොවීය. මේ කාලයේදී මේ ඇමතිවරු සිදුකල හානිකර දේවල් නම්, ධර්මපාලතුමාට හිරිහැරකර රට අතහැර යන තරමට ඔහු කළකිරීමට පත් කිරීම, රටේ අගමැතිවීමට සිටි සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකම උගත්  D. B.  ජයතිලක ඉන්දියාවට යැවිමේ ප්ලෑන හා ධර්මපාල මඟ ගනිමින් ග්‍රාමාරක්ෂක හා අපරාද මර්දන  ව්‍යාපාරය යනුවෙන් 1933 දී කළුකොඳයාවේ ප්‍රඥාශේඛර  නාහිමියන් විසින් දියත් කල දීප ව්‍යාප්ත වැඩසටහන (‘පරලොවටම සීමා නොවූ ධර්මදේශනා ක්‍රමයක් රටට අත්‍යාවශ්‍යය,’ ස්වයංලිඛිත ශ්‍රී ප්‍රඥාශේඛර චරිතාපදානය, 1970, 283 පිටුව), සුද්දන්, කළුසුද්දන් හා නිලධාරීන් විසින් කඩාකප්පල්කර දැමීමත්ය.

ඉහතින් සඳහන් කර ඇති කරුණු වල ඇති වැදගත් කම නම්, ඩොනමෝර් කොමිටි ක්‍රමය කොපිකිරීමට යෝජනා කිරීම, දෑන් 2022 මැදදී, 19 න් 20 ට, නැවත 20 න් 21 හරහා 19+ වලට යෑම වැනිම, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නා බව පෙන්නුම් කරදීමය. මෙහිදී වැදගත් වන තවත් කරුණක් නම් ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි දේශපාලක පංචස්කන්ධ විසින් මොන ක්‍රමයක් වුනත් තමන්ගේ වාසිය පතා අවභාවිතා කරණවාය යන්නය. මෙම ලිපි මාලාවේ පස්වෙනි කොටසේ පෙන්වූ රූප සටහන මෙහි පහතින් නැවතත් ඉදිරිපත් කරන්නේ මේ නිසාය.

සිස්ටම් චේන්ජ්: බුදුහාමුදුරුවන් හා ජේසුතුමා අතර වෙනස

බුදුහාමුදුරුවන් හා ජේසුතුමා සිස්ටම් චේන්ජ් කිරීම සඳහා වෙනස් ක්‍රම දෙකක් අනුගමණය කලේය. රෝම අධිරාජ්‍යය හා එවකට පැවති පූසාරි අධිකාරියට එරෙහිව ජේසුතුමා ක්‍රියාකලේ කලහකාරී ලෙස ඔවුන්ගේ බිස්නස් පූජාසන පෙරලා දමමින්ය. එහෙත් එය වසර තුනකදී අවසාන විය. බුදුහාමුදුරුවන් මිනිසාට මඟ පෙන්වා දුන්නා මිස බමුණන්ගේ සිස්ටම් එක සමඟ භෞතිකව ගැටුණේ නැත.  එක් එක් පුද්ගලයා විසින් පමණක්ම තම දුකට විසඳුම සොයාගත යුතුබව පෙන්වා දෙමින් සාමකාමි, යහපත්, දිවිපෙවතකට උපකාරවන චර්යා ධර්ම/රටා සඳහන් කලේය (නිදසුන්: සිඟාලෝවාද, මහා මංගල, පරාභව සූත්‍ර). රජවරුන්ට උපදෙස් දුන්නේය. ‘බමුණන් උපදින්නේ බ්‍රහ්මයාගේ හිසෙන් නොව ස්ත්‍රීන්ගේ යෝනියෙන් යයි කල ප්‍රකාශය, ගැලීලියෝ විසින් පොලොව ඉර වටේ කැරකෙනවා යයි පවසා කතෝලික පල්ලියේ උදහසට ලක්වූවා වැනිමය (1633).

රූප සටහන – 1

මේ අන්දමට ඉතිහාසයෙන් කරුණු වටහාගෙන සළකා බලන විට ගෝල්පේස් අරගලකරුවන් ගෝටාගෝහෝම් යන ඉල්ලීම දරදඬු ලෙස බදාගෙන කරන්නේ සිස්ටම් චේන්ජ් යෝජනාවක් නොව රෙජීම් චේන්ජ් කුමණ්ත්‍රනයකට යටවීමකි. පාර වෙනුවට කානුවට බැසීමකි. අවාසනාවකට මෙන් ඔවුන්ට මඟ පෙන්වන්නට හැකි, කැලෑව හා ගස් යන දෙකම දකින,  රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව හරිහැටි දත් විශ්ව විද්‍යාල ගුරෙක් වත් නැත. ඉන්නේ මාක්ස්වාදය හා J.R. ගේ මත්ස්‍ය න්‍යාය යන දෙලොවක අතරමංවූ තම වෘත්තිය කෙළෙසන පංචස්කන්ධය.

LAWGEOGRAPHYBUDDHISM
Doctrine of ReasonablenessBioregionalismThe Middle Path
Doctrine of Separation of PowersEcologyMind/Matter
Rights/DutiesHuman ScaleIndividual
Group RightsSocial CapitalFamily/Society
Actionlocation (space/place)Perception

Spatial Inequality

Sustainable Development

Figure 2: Three merging approaches (paths) to mitigate spatial inequality

භූමිය මත සිදුවන අයුක්තිය (spatial inequity/inequality)

ලංකාවේ තිබෙන්නේ භාෂාව හෝ ආගම අනුව සිදුවන අගතීන් හෝ අසාධරණකම් හෝ නොව, භූමියේ සම්පත් බෙදීයාමේලා ඇති විෂමතාවය (spatial variation in resource distribution) හා සෑම ජන වර්ගයකටම සමාන අවස්ථා (equal access of opportunity) සලසා නොදීමේ අර්බුදයකි. ස්වාභාවිකව ඇතිවන විෂමතා/විවිධත්වය, දේශපාලකයින්ගේ අත පෙවීමෙන් තව තවත් තීව්‍ර විය. අවුරුදු 74 ක් පුරා මුන් රටකෑවා කියන්නේ මේ නිසාය. උදාරණයක් වශයෙන්,  R. ප්‍රේමදාසගේ ගම් උදාවෙන් සිදුවුණේ ගම තිබුණාටත් වඩා බකල් කර දමා යෑමය. පක්ෂ දේශපාලකයින් රටේ හැම පොදු සම්පතක්ම සිය කෙටි වාසිය සඳහා සූරා කෑවේය. මෙම හැසිරීම ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස් යයි හැඳින්වේ (tragedy of the commons).

මධ්‍යම ආණ්ඩුව නමැති මුව හමට තලනවා හා කොළඹ, දියවන්නා බොරුකාරයින් පස්සේම දුවනවා/පන්නනවා වෙනුවට, ජනතාවට බලය පවරාදීම නමැති සිස්ටම් චෙන්ජ් එකකට අරගලකාරයින්වත්, ඔවුන්ගේ පුරෝහිතයින්වත්, කොල, රතු, නිල්, පොහොට්ටු දේශපාලකයින්ගේ වත් අවධානය යොමු නොවන්නේ, ඔවුන්ට බුදු දහම අනුසාරයෙන්  මෙම සිස්ටම් චේන්ජ් එක දෙස බැලීමට හැකියාවක්, දැණුමක් හෝ ඕනෑකමක්  නැතිකමය. අර්ථවත් ලෙස මහජන බලයක් (people-power) සඳහා ඉඩක්දීමට ලක්ෂයක් පමණ වන පක්ෂ දේශපාලක කළුසුද්දන්  රැළ සුදානම් නැත. හේතුව ඔවුන්ගේ ගසා කෑමේ සෙල්ලම ඉන් අවසාන වන නිසාය. ජනයා නිල්-රතු-කොල යනාදී වශයෙන් බෙදා කරගෙන ගිය බොරු ප්‍රජා-තන්ත්‍ර (නාස්ලණූ) වදය නැතිකල හැක්කේ ජන සභා ක්‍රමයක් හරහාය.

පක්ෂ දේශපාලනයෙන් තොර, පවතින චන්ද ක්‍රමයෙන් තොර බිම්මට්ටමේ මහජන සභා ක්‍රමයක් හා මධ්‍යම ආණ්ඩුවක් මිස, පලාත් සභා හෝ ප්‍රාදේශීය සභා රටට  අවශ්‍ය නැත. මේවායේ ඉන්නේ වල්බූරු මන්ත්‍රීලාය. දැලිපිහි අතට දුන් වඳුරන්ය. මේ බව දැන දැනත් අරගලකාරයින් එය තමන්ගේ පලවෙනි නොවුනත්, දෙවන ඉල්ලීමවත් නොකරන්නේ නොදන්නාකමටය. අශීලාචාර, විනයක්, සදාචාරයක් නැති, ණයට හා ලේසියට කන, බොන, ජොලිකරණ, රටක ප්‍රශ්ණ සියේට 70 ක් පමණම ජන සභා සිස්ටම් එකක් මඟින් ඉෂ්ටකරගත හැකිය. ජාතික මට්ටමින් චන්ද කොට්ඨාශ 150 ක පාර්ලිමේන්තුවකට අමතරව, ජන සභා නියෝජනයෙන් සැදුම්ලත් 100 ක  ජාතික ජන සභා මණ්ඩලයක් දෙවන ව්‍යවස්ථාදායකයක් ලෙස පිහිටුවීමෙන් මහජන මතය හා මන්ත්‍රී මතය සංකලනය කරගත හැකිවේ.

ජන සභා සංකල්පය- බෞද්ධ විසඳුම

තිරසර සංවර්ධනය ගැන කතාකරණ අය භූමිය (පොලෝතලය) මතුපිට/මත දක්ණට ලැබෙන  භූගෝල විද්‍යාව, දෙස බලන්නේ මධ්‍යම-පර්යන්ත සඹඳතා (center-periphery relations) යන දේශපාලන විද්‍යා කෝණයෙනි. රට කැඩීම අරමුණ කරගත් ඔරුමිත්තනාඩු ව්‍යවස්ථා ජරමරයේ (2018) ජන සභා ගැන සඳහන්වූයේ එසේ නොකරම බැරි බරවා කකුලක් ලෙසටය. මෙහි ඇති රූප සටහන්  අංක 1 හා 2 මඟින් පෙන්වන්නේ හුදෙක් දේශපාලන විද්‍යා මෙවලමක් වශයෙන් ගමට ආවඩන, ගම සංවර්ධනය කරණවා කියන ගම් උදාව, ගම නැඟුම, ගම්පෙරළිය යනාදී පක්ෂ දේශපාලක සෙප්පඩවිජ්ජා වශයෙන් නොව නොව මහජන ශුභසෙත සඳහා (බහුජන හිතාය-බහුජන සුඛාය)  රටේ දැනට පවතින භූමීය අයුක්තිය අවම කිරීමට ගත හැකි එකිනෙක හා බැඳුන ප්‍රවේශ තුනක් (නීති විද්‍යාව, භූගෝල විද්‍යාව හා බුදුදහම) ජන සභා සංකල්පය තුලින් පිළිඹිබු වන බවය. මෙහිදී බුදුදහමින් කරන්නේ මිනිසා සිත-කය-ආශා දමණය කිරීම දෙසට නැඹුරු කිරීමය. මහාචාර්ය W. S. කරුණාරත්න විසින් අනාගත ධර්මිෂ්ට සමාජයක් සඳහා 1977 දී J.R. ගේ චන්ද රැස්වීම්වලදී රට වටේ යමින් ප්‍රචාරය කල, කෙළෙස් භරිත පංචස්කන්ධ වල සිදුවිය යුතු වන බාහිර හා සන්තානගත යන විප්ලව දෙක ප්‍රායෝගිකව ලබාගත හැකි හොඳම උපකරණය පක්ෂ දේශපාලකයාගෙන් තොර ජන සභාවය.

 ඉතාමත් සරලව විස්තර කරනවා නම් මෙම ජන සභා සිස්ටම් එක ක්‍රියාත්මක කරවිය හැකි  ක්‍රමවේදය මෙසේය. මෙය දැනට අවුරුදු දහයකටත් පෙර සිටම නැවත නැවතත් පාලකයින්ට ලියා දන්වමින් තිබෙනා දෙයකි.

1.ස්වාභාවික මායිම් සහිත කුඩා භූමි ඒකක සදා ගැනීම (දැනට ඇති ග්‍රාම සේවා වසම් 14,025 වෙනුවට ස්වාභාවික මායිම් සහිත භූමි ඒකක (ජල ද්‍රෝණී) හඳුනා ගැනීම.  දැනට පත්කර ඇති රාජ්‍ය සීමා නිර්ණ කොමිෂම අනවශ්‍ය සම්පත් නාස්තියකි. අවුරුදු තිහ හතලික් තිස්සේ කෙඳිරිගාන දිනේශ් ගුණවර්ධන චන්ද සංශෝධන කොමිටියද මීට දෙවෙනි නැත

2.එම නව එකක් හෝ කීපයක් එකතුකර ජන සභා ප්‍රදේශ හඳුනා ගැනීම

3. මෙම ජන සභාවකට පක්ෂ දේශපාලනයෙන් තොරව නියෝජිතයින් 12 දෙනෙකු චන්දයෙන් තෝරාගැනීම

4. පොලිසිය/යුද හමුදා සාමාජිකයින් තිදෙනෙක් බැගින් නම් කිරීම

5. පන්සල/පල්ලිය/ කෝවිල /මොස්ක් සඳහා ඒවා විසින් නම් කල එක් නියෝජිතයෙක් බැගින් පත්කිරීම

6. සෑම අවුරුද්දකට වරක් චන්දයෙන් පත්වු අය 4 දෙනෙක් ඉවත්වී, අළුතෙන් හතර දෙනෙක් චන්දයෙන් පත්වේ. දැනට සිටින නියෝජිතයින්ට නැවත චන්දයකට ඉදිරිපත් විය හැකි තව එක් වරකට පමණය.

7. ජන සභාවේ තීරණ චන්දයෙන් පත්වූ අයගේ සම්මුතිය අනුව (වැඩි චන්දයෙන් නොව) ගත යුතුය. එසේ සම්මුතියකට නොපැමිණිය හොත් අංක 3 හා 4 යන දෙකොටසේ චන්දයෙන් තීරණයකට එළඹේ.

8.මාස තුනකට වරක් ජන සභා මහජන රැස්වීමක් කැඳවිය යුතුය. රැස්වීමේ න්‍යාය පත්‍රය සති දෙකකට කලින් ප්‍රසිද්ධ කල යුතුය.

9. ජන සභාවේ පර්යේෂණ ඒකකය විසින් ප්‍රදේශයේ භූමි පරිභෝගය හා සම්පත්, පරිසර හානි, ගංවතුර, නායයාම් යනාදී ආපදාවලට ගොඳුරුවන ස්ථාන යානාදිය පෙන්වන සිතියම් පිළියෙල කර ඒවා ප්‍රසිද්ධ කල යුතුය. මෙම සිතියම් සංශෝධනය කිරීමේ බලය ඇත්තේ, ජන සභා අධ්‍යක්ෂක ජෙනරාල්ගේ අනුමතියට යටත්ව ජන සභාවේ පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂකට පමණය.

10. ජන සභාවේ පර්යේෂණ අධ්‍යක්ෂක, සෑම මාස තුනකට වරක්ම ජන සභා මහජන සභාවට ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කල යුතුය. 

ඒ අනුව සිදුවන අදහස්/යෝජනා ඔහු/ඇය විසින් ජන සභා අධ්‍යක්ෂක ජෙනරාල්ට (කොළඹට) වාර්තා කල යුතුය.

11. ජන සභාවේ සියළුම සේවකයින්ගේ එදිනෙදා කාර්යාල හැසිරීම් ජන සභාවේ සභාපතිගේ පාලනයට නතුවේ. ඔවුන් පිළිඹඳ විනය කටයුතු ජන සභා මහජන සභාවේ සාකච්චා කිරීමෙන් පසු කොළඹට  වාර්තාකර අනුමතිය ලබාගත යුතුය.

12. ඉහත අංක 9 යටතේ සඳහන් සිතියම් පරිගණක දත්ත (maps & tables) වශයෙන් ගබඩා කල යුතුය. මේ සිතියම් මුළු රටටම පොදුවන ක්‍රමයකට (standardized) පිළියෙල කල යුතුය. මේ අනුව ඕනෑම ජන සභාවක සිතියම් දත්ත රටේ වෙනත් ඕනෑම ජන සභාවකට දැක බලා ගත හැකිවිය යුතුය.

13. මධ්‍යම ජන සභා අධ්‍යක්ෂක ජෙනරාල් (කොළඹ) පාර්ලිමේන්තුවට හා ජන සභා ජාතික සභාවට වග කියන තනතුරක් වන්නේය. ඔහු/ඇය එක් ජන සභාවක් ලංකා සිතියමේ තිතක් වශයෙන් පෙන්වන ජාතික සිතියම් පිළියෙල කල යුතුය. උදාහරණයක් වශයෙන් ජන සභා විසින් පිළියෙල කල table වල පෙන්වන  තොරතුරු අනුව නායයාම් වලට ලක්වන හෝ මුංඇට වගාකරණ ජන සභා පෙන්වන සිතියමක්, පරිගණකයක් මඟින් රටේ ජනාධිපතිට හෝ ඕනෑම පුරවැසියෙකුට හෝ දැක බලා ගැනීමට සැලැස්විය යුතුය.

අංක 3, 4, 5 මඟින් බලතුලනයක් සිදුවන අතර දැනට ගම්මට්ටමින් දේශපාලකයින් පෙන්වන වනචාරී හැසිරීම වෙනුවට ලැජ්ජාව හා භය  ගොඩනඟා ගැනීමට මඟක් පාදාගත හැකිවේ. අංක 4 යටතේ පොලිසිය හා හමුදා දෙපැත්ත කැපෙන පිහියක් වැනිය. පොලිසියේ දූෂණත්, සිවිල් සමාජයේ දූෂණත්, ආගමික ආයාතනවල අනිසි ක්‍රියාකලාපත් මාළු ටැංකියක මාළුන් මෙන් නිරාවරණය වේ.

ජන සභාවල කාර්යභාරය, බලතල යනාදිය ව්‍යවස්ථාව මඟින් තහවුරු කල ‍යුතුය. රජයේ කාර්යාලයකින් මහජනයාට ලබා ගත හැකි හැම සේවයක්ම ජන සභා කාර්යාලය මඟින් ලබාගත හැකිවිය යුතුය.

තම බල ප්‍රදේශය තුල තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා තීරණ ගැනීම හා ඒවා කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවීම ජන සභාවේ වගකීම හා යුතුකමය. මෙහිදී සෑම ජන සභාවක්ම මධ්‍යම රජයේ සංවර්ධන තීරණ සමඟ ජාතික ආරක්ෂාව මත පදනම්ව අනුගත විය යුතුය.

ජන සභා සේවකයින් වෙනම සේවයක් වශයෙන් හඳුනාගත යුතුය. සමෘධි සේවය ඉදිරියේදී ජන සභා සේවය හා බද්ධ කල යුතුය. ග්‍රාම සේවා වසමක දැනට ඉන්නා නිලධාරීන් පස් දෙනා  ජන සභා සේවාවට එකතුකල යුතුය.

ජන සභා වලට අවශ්‍යවන විශේෂඥ සේවා මධ්‍යම ආණ්ඩුවේ දෙපාර්තමේන්තු/ආයතන මඟින් ලබාදිය යුතුය.

විශ්‍රාමික පුරවැසියන්ගේ දැණුම හා සේවය ලබාගැනීම පිණිස, ඒ සඳහා විෂය අනුව ඩිරෙක්ටරියක් (Directory of Retired Talent) ජන සභා මට්ටමින් හා ජාතික මට්ටමින් පිළියෙල කල යුතුය.

පිටරට සිටිනා ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්ද මේ හා සමාන ඩිරෙක්ටරියක් Directory of Experts Living Abroad) සකස් කල යුතුය.

මෙම ජන සභා සංකල්පය ප්‍රථමයෙන් දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික් තුනක අත්හදා බැලිය යුතුය.

මීළඟ ලිපියේ මාතෘකාව:

ගෝල්පේස් අරගල කරුවන් ඉල්ලන සිස්ටම් චේන්ජ් එක  හා ජන සභා සිස්ටම් එක

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress