චීනය දැනටත් තරහයි.. රුසියාවත් දැන් ඒ පාරේ.. මිතුරන් අහිමි ශ‍්‍රී ලංකාව මහා මානව ආපදාවක් ඉදිරියේ…
Posted on June 5th, 2022

ජාතික නිදහස් පෙරමුණ

වත්මන් ආණ්ඩුව චීනය කල්තියාම තරහ කරගත් බවත් දැන් රුසියාව ද තරහ කර ගැනීමේ ඉම තෙක් රැගෙනවිත් තිබෙන බවත් පෙන්වා දුන් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, අද මෙරට ව්‍යවස්ථාදායකයත් විධායකය මෙන්ම අධිකරණයත් පවතින ආර්ථික ආපදාව මහා මානව ආපදාවක් බවටත් පෙරළීමට සාමූහික වගකීමෙන් කටයුතු කරන බව ද පෙනෙන්නට ඇතැයි චෝදනා කර සිටී.

අද(05) බොරැල්ල පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති ‘ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ’ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

මේ රට ඉතාමත් තියුණු දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව අපි කවුරුත් දන්නවා. මේ අර්බුදය උත්සන්න වීමට ඉඩහැර බලා සිටින ප්‍රතිපත්තියක ආණ්ඩුව නියැලී සිටින බවයි අපේ නිගමනය. මේ අර්බුදය උත්සන්න වීමට ඉඩ දීම කියන්නේ මහා මානව ආපදා තත්ත්වයක් මේ රට තුළ ඇති වීමයි. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නාම ලෝකයේ රටවල් පෝලිමේ ඇවිත් අපට උදව් කරාවි, කියලා ඇතැමුන් අනාවැකි පළ කළා. නමුත් අපට අද එහෙම තත්ත්වයක් දැකගැනීමට නැහැ. ඒ වගේම ‘එළඹෙන සැප්තැම්බර්, ඔක්තෝබර් වන විට ලෝකයේ මහා සාගතයක් ඇති වේවි, අපටත් එයට මුහුණ දීමට සිදුවේවි’ කියා කියනවා හැරුණාම ‘අපට හානියක් ඇති නොවන සේ එම තත්ත්වයට මුහුණ දීමට කළ යුත්තේ කුමක්ද?’ යන ප්‍රශ්නයට ආණ්ඩුවට පිළිතුරක් ඇති බවක් පෙනෙන්නේ නැහැ.

‘චීනය-රුසියාව තරහ කර ගැනීම’

මේ වන විට ගෑස් හිඟයෙන් නාගරික ජනතාව මෙන්ම ග්‍රාමීය ජනතාව ද ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. මේවාට විසඳුම් ලබාදීමට මිත්‍ර රටවල් සමග ආණ්ඩුව සාකච්ඡාවක් හෝ සිදු කරන ආකාරයක් දැක ගැනීමට නැහැ. ඒ වෙනුවට පෙනෙන්නට තිබෙන්නේ මිත්‍ර රටවල් ද තරහ වන දිසාවට ඇදගෙන යන ආකාරයක්. චීනය සහ රුසියාව කියන්නේ ඉතිහාසය පුරා ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට පමණක් නොවෙයි ඕනෑම ජාත්‍යන්තර අර්බුදයකට මුහුණ දුන්නාම සහයෝගය ලබාදුන් අවංක මිතුරන්. මේ ආණ්ඩුව චීනය කල්තියාම තරහ කර ගත්තා. දැන් වාණිජ අධිකරණමය ක්‍රියාදාමයක් හේතුවෙන් රුසියාවත් තරහ කර ගැනීමේ ඉම දක්වා රැගෙන විත් තිබෙනවා. දැනට ඩොලර් 110කට පමණ ලබාගන්නා තෙල් බැරලය ඩොලර් 30 -70 අතර මිලකට ලබාගත හැකි, අපි මුහුණ දී සිටින රසායනික පොහොර ගැටළුවට උත්තරයක් ලබා දීමට හැකියාව තිබෙන, ඒ වගේම අපි මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට විසඳුමක් ලෙස සංචාරකයන් රැසක් මේ රටට ගෙන්වාගත හැකි, රටක් තමයි රුසියාව කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ තේ වෙළඳපොළෙහි දෙවන ස්ථානයේ සිටින්නේ ද රුසියාවයි.

‘ලිඛිත සහතිකයට මොකද වුණේ?’

රුසියාවේ ගුවන් සේවය තම රක්ෂණ ගෙවීම් ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් නතර කළාම, ශ්‍රී ලංකා රජය, රුසියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා, ‘අපි ඉන්නෙත් අමාරුම තත්ත්වයක. ඒ නිසා සංචාරකයන් අපේ රටට ගෙන්වා ගැනීමට ඔබගේ ගුවන් සේවය යළි සක්‍රීය කරන්න. අපි සහතික වෙනවා ඔබට කිසිදු අපහසුතාවකට මුහුණ දීමට සිදු නොවන බවට’ කියා. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හරහා රුසියානු ගුවන් සේවා බලධාරීන්ට ඒ ලිඛිත සහතිකය ලබා දීමෙන් පසුව තමයි මේ ගුවන් ගමන් යළි ආරම්භ වුණේ. ඒ අනුව තමයි පසුගිය දිනවල රුසියානු සංචාරකයන් දහස් ගණන් මේ රටට ආවේ. එසේ නොආවානම් මේ රටට කිසිදු විදේශ විනිමය ප්‍රමාණයක් නොලැබෙන තත්ත්වයකුයි තිබුණේ. අපට බොහෝ උපදෙස් දෙන රටවල් තම රටවල සංචාරකයන්ට ‘සංචාරක තහනම්’ පනවා තිබුණේ ‘ශ්‍රී ලංකාවේ හැම තිස්සේම විරෝධතා, පෝලිම්. ඒ නිසා ඒ රටට යන්න එපා!’යන අවවාදය දෙමින්. එහෙත් රුසියාව, තම රටවැසියන්ට යාමට අනුමැතිය ලබාදී තිබූ විශ්වාසනීයම රටවල් 04න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබුණා.

එවැනි මිත්‍රශීලි, අප සමග අවබෝධයෙන් කටයුතු කළ රටක ගුවන් සේවයක, ගුවන් යානයක, ගුවන් වාරය නතර කිරීමට මෙරට අධිකරණයක තීන්දුවක් දීමේදී මොනතරම් සැලකිලිමත් විය යුතුද? අපි මේ අධිකරණයේ තීන්දු අභියෝගයට ලක් කරනවා නොවෙයි. අපට එසේ කිරීමට අවශ්‍ය නැහැ. අධිකරණයක තීන්දුවක් දෙන්නෙ පැමිණිල්ල හා විත්තිය දෙස බලා පමණක් නොවෙයි. එම තීන්දුව ලබාදීමෙන් පසු එය මහජන කැලඹීමකට, විරෝධයකට තුඩු දේවි ද, කියා විමසා බැලීමක් ද සිදු කෙරෙනවා. අඩුම තරමින් ඉහත තීන්දුව ලබා දීමේදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලධාරීන් හෝ ගෙන්වීමට තිබුණා. සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කරුණු විමසන්නේ නැහැ, කියන්නේ ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසා නැහැ, කියන එක. දැන් හොඳින් බලන්න, ‘අයර්ලන්ත රක්ෂණ සමාගමක් – රුසියානු ගුවන් සේවයක් – කොළඹ අධිකරණ තීන්දුවක්’ යන සියල්ල දෙස. එම අයර්ලන්ත රක්ෂණ සමාගම සිංගප්පූරුවේ බේරුම්කරණ අධිකරණයක් හරහා තමන්ට සිදුව ඇති පාඩුව පියවාගැනීම සඳහා පියවර ගනිමින් සිටින බව දැනගැනීමට තිබෙනවා. එසේ තිබියදී ශ්‍රී ලංකාවේ අධිකරණයක් හරහා මෙවැනි පියවරක් ගත්තේ ඇයි? මෙම රුසියානු ගුවන් සේවයේ ගුවන්යානා ඉන්දියාවටත් එනවානේ. මෙම අයර්ලන්ත රක්ෂණ සමාගම ඉන්දියානු අධිකරණය වෙතිනුත් මෙවැනි ඉල්ලීමක් නොකළේ ඇයි? මේ සියල්ල සැකයට තුඩු දෙන හේතු.

පිස්කල්වරයාගෙන් ලෝක වාර්තාවක්

එසේම මට හිතාගන්නම බැරි දේ තමයි, කොළඹ වාණිජ මහාධිකරණ පිස්කල්වරයා එම වාරණ නියෝගය ලබාදී විනාඩි 15ක් ඇතුළත කටුනායක ගුවන්තොටුපොළට ප්‍රාදුර්භූත වීම. ඒක නව ලෝක වාර්තාවක්. ‘මොනර කොළවලට මොන තරම් බලපෑමක් කරන්න පුළුවන් ද? තවත් මොහොතකින් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක් තමයි සිවිල් ගුවන් සේවා කාර්යාලයට ගොස් බලපෑම් කර මෙසේ නතර කරවා ගෙන තිබෙන්නේ. මෙවැනි තීන්දුවක් නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට, තේ වෙළඳාමට සිදුවන අගතිය අධිකරණය සලකා බැලිය යුතු නැද්ද? ශ්‍රී ලංකා රාජ්‍යයේ එක් එක් බලාධිකාරීන් දැන හෝ නොදැන මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමෙන් ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන ආර්ථික ආපදාව මහා මානව ආපදාවක් දක්වා වර්ධනය වීමට ඉඩ සලසනවා, යන බරපතළ සැකය අපට ඇති වී තිබෙනවා.

‘ආපදා අධිරාජ්‍යවාදය’

‘ආපදා අධිරාජ්‍යවාදය’ යන සංකල්පය පිළිබඳව සබුද්ධික ඔබ සියලුදෙනා මේ මොහොතේ සොයා බැලීම අත්‍යවශ්‍ය දෙයක්. ආපදා අධිරාජ්‍යවාදයේ ස්වභාවය තමයි යම් රටක සිදුව ඇති ආර්ථික ආපදා තත්ත්වය මානව ආපදාවක් බවට පරිවර්තනය කිරීම. ඒකට ඕනෑ විදිහට කවුරු කවුරුත් මැච් එක ගහන බවයි පෙනෙන්නේ. මෙතැන දී රුසියානු සංචාරකයන්ගේ පැමිණීම නතර වුණාම, රුසියානු වෙළඳපළ අපේ තේවලට අහිමි වුණාම ආර්ථික ආපදාව උත්සන්න වී මානව ආපදාවක් බවට පරිවර්තනය වීමයි සිදුවන්නේ. ව්‍යවස්ථාදායකයත් විධායකයත් අධිකරණයත් යන මේ සියල්ල එක්ව අර මානව ආපදාව නිර්මාණය කිරීමට සාමූහික වගකීමෙන් වැඩ කරන බවයි පෙනෙන්නේ. මේක ඛේදවාචකයක්. මහජනතාව මෙවැනි ආර්ථික ආපදාවකදී මෙවැනි පාර්ලිමේන්තුවක් හෝ විධායකයක් හෝ අධිකරණයක් බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා අපි මේ සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා, ‘මේ රටේ පණ නළ මොනර කොළවලට බිලි දෙන්නේ නැතිව කටයුතු කරන්න’ කියා.”

මෙම මාධ්‍ය හමුවේ දී විජයධරණී ජාතික සභාවේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහතා ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress