දඩයක්කරුවෙකුගේ තුවක්වකුවකට හසුව දරුණු ලෙස තුවාල ලබා අවතැන්ව සිටි ගෝණා, ප්‍රතිකාර සඳහා අත්තිඩිය වනසත්ව රෝහල වෙත යොමු කිරීමට හැකිවිය.
Posted on June 26th, 2022

පරිසර ක්‍රියාකාරී පේශල පසන් කරුණාරත්න

මෙරට ඉහල ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන සංවේදී පරිසර පද්ධතියක් වන කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාවලකන්ද පාරිසරික කලාපයට මායිම්ව පිහිටි හලවල්කැලේ ග්‍රාමසේවා වසමේ ගම්වාසීන්ට හට  දඩයක්කරුවෙකුගේ බදින ලද තුවක්වකුවකට හසුව දරුණු ලෙස තුවාල ලබා අවතැන්ව සිටි ගෝණෙකු 2022.06.24 දින උදෑසන ප්‍රදේශයේ වනාන්තර කොටසක් තුල සිටියදී හමුවී තිබුණි.  

අවතැන්වූ සත්වයා පිලිබඳව වාර්තා වූ පසු ඒ පිලිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කලද එදින වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සත්වයාට ප්‍රතිකාර ලබා දීම සඳහා පැමිණීමට නොහැකි විය. එම නිසාවෙන් ගම්වාසීන් එකතු වී අවතැන් වූ ගෝණා වනාන්තර ප්‍රදේශයෙන් පිටතට ගෙනවිත් හලවල්කැලේ ග්‍රාමනිලධාරී තුමන්ගේ කාර්යාලයේ තබා සත්වයාට අවශ්‍ය මූලක ප්‍රතිකාර ලබා දී  වනජීවි නිලධාරීන් පැමිනෙන තෙක් ආහාර සහ රැකවරණය ලබාදෙන ලදී. පසුදින එනම් 2022.06.25 දින වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තිඩිය වන සත්ව රෝහලේ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර වෛද්‍යතුමන් ඇතුළු කණ්ඩායම පැමිණ සත්වයා හට වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහා වන සත්ව රෝහල වෙත රැගෙන ගියේය.

වෙඩි වැදී තුවාල ලැබූ මෙම සත්ත්වයා හමුවූ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල දුර්ලභ වන සතුන් වාසය කරන යගිරල, නාවලකන්ද, මීගහතැන්න, හලවල්කැලේ, කලුගල, පැණියාවල මූකලාන, හේකොක් වනාන්තර වැනි වනබිම් අති විශාල ප්‍රමාණයක් පවතින අතර විශාල වන ජීවින් ප්‍රමාණයක් ඒවායේ ජීවත්වේ. ඒවායේ වෙසෙන වනජීවීන්ගේ රැකවරණය සඳහා වනජීවී කාර්යාලයක් නොමැති නිසාවෙන් දැනට අත්තිඩිය වන සත්ත්ව රෝහල සහ හික්කඩුව වනජීවී කාර්යාලය මෙම ප්‍රදේශය ආවරණය කරන අතර ඔවුන්ට ඇති විශාල සීමාව නිසාවෙන් ඉක්මනින්ම ක්‍රියාත්මක වීමට හැකියාවක් නොමැති අතර ඒ නිසා මෙසේ අවතැන්වන වනජීවීන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීමට ඔවුනට අසීරුය.

මේ නිසා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී කාර්යාලයක් ස්ථාපනය කරන ලෙසට දිගින් දිගටම කල ඉල්ලීම් වලට අනුව 2022 වර්ශයේ මාර්තු මස සිට වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වනජීවී කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා දෙපාර්තමේන්තු අනුමැතිය ලැබුන අතර ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි සොයා දීමට පවා ප්‍රදේශවාසීන් කටයුතු කරන ලදි.

නමුත් අනුමැතිය ලැබුනු පසු කාර්යාලය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි වැඩකටයුතු බස්නාහිර පලාත් කාර්යාලය වෙත යොමු කර ඇති අතර ඔවුන් මේ වෙනතෙක්ම කාර්යාලය ස්ථාපනය සඳහා කටයුතු කර නොමැත. ඔවුන් නිසියාකාරව ක්‍රියාත්මක වූයේනම් මේ වන විට වලල්ලාවිට වනජීවී කාර්යාලයක් ක්‍රියාත්මක වන අතර එය එසේ වූයේ නම් මෙලෙස අවාසනාවන්ත ලෙස වනජීවින්ට වේදනා විදීමකින් තොරව ඉක්මන් ප්‍රතිකාර යොමුකිරීමට හැකියාව ලැබෙනු ඇත. ගම්වාසීන් පවසා සිටියේ මීට මාස 3කට පමණ පෙරද මෙම ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය ගෝනෙකු හමුවූ බවයි. මෙම ප්‍රදේශය ආශ්‍රිතව වනසතුන් දඩයම් කිරීම බහුලව සිදුවන අතර වගකිවයුතු බලධාරීන් මේ පිළිබඳ මෙතෙක් අවධානය යොමුකර නොමැති අතර එමගින් වනජීවීන්ගේ ජීවිත වලට දැඩි තර්ජනයක් එල්ලවේ. මෙම ප්‍රදේශය තුල වනජීවි කාර්යාලක් නොමැති නිසා මෙවැනි වනජීවි අපරාධ බහුලව සිදුවන අතර වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමෙන් සතුන්ට සිදුවන හානි වලක්වා සතුන්ට නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරය සකසා දිය හැකි වේ. මේනිසා වලල්ලාවිටට අනුමත වූ වන ජීවි කාර්යාලය කඩිනමින් ස්ථාපිත කරන මෙන් අදාල බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

පරිසර ක්‍රියාකාරී

පේශල පසන් කරුණාරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress