මව්රට පුවත්පත හා මව්රට වෙබ් අඩවිය සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (05) කළ ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කරන විශේෂ මාධ්‍ය නිවේදන යි.
Posted on July 6th, 2022

ම. ප. තමීර මංජු, මව්රට ප්‍රධාන කර්තෘ සහ ප්‍රකාශක,

මව්රට පුවත්පත සහ මව්රට වෙබ් අඩවිය සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ම  ප්‍රතික්ෂේප කෙරේ.

මව්රට පුවත්පත සහ මව්රට වෙබ් අඩවිය ස්වාධීන මාධ්‍ය ආයතනයකි. ‘සමඟි ජන බල වේගය’ දේශපාලන පක්ෂයට හෝ එම දේශපාලන පක්ෂය හා බැඳුණු පාර්ශ්වයකට මව්රට පුවත්mතේ හෝ එහි වෙබ් අඩවිය වූ මව්රට වෙබ් අඩවියේ කිසිදු සම්බන්ධතාවක් නො මැත. දේශපාලන, සාහිත්‍ය සහ සමාජීය කරුණු විෂය කර ගත් මව්රට පුවත්පත සහ වෙබ් අඩවිය කාලීන පුවත් ඉතා වගකීමෙන් යුතුව මාධ්‍ය සදාචාරය හා සමාජ වගකීම ඉහළින් ම රකිමින් වාර්තා කරයි.

අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  හානිදායක හෝ වැරදි අර්ථකථන ඇති වන සේ ව්‍යාජ පුවත් හෝ විකෘති පුවත් කිසිදු අවස්ථාවක මව්රට පුවත්පත හෝ මව්රට වෙබ් අඩවිය වාර්තා කර නො මැත. නැවත වරක් අවධාරණය කරන්නේ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද ප්‍රකාශ කළ අන්දමේ පුවත් මව්රට පුවත්පත හෝ මව්රට වෙබ් අඩවිය කිසිදු අවස්ථාවක වාර්තා කර නො මැති බව යි.

මේ හේතුවෙන් මව්රට පුවත්පත සහ මව්රට වෙබ් අඩවිය සම්බන්ධයෙන් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද පාර්ලිමෙත්න්තුවේදී කළ,

‘සජබෙන් පඩි ගෙවන පත්තරයක් තියෙනවා මව්රට කියලා. ඒ පත්තරේ කියන්නේ වෙබ් පත්තරයක්…’,

‘සමඟි ජනබලවේගයේ කුලී මාධ්‍යවේදීන්…’,

යනාදි ප්‍රකාශ නැවත වරක් මව්රට පුවත්පත සහ මව්රට වෙබ් අඩවිය තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. ඒ අනුව  පාර්ලිමේන්තුවේ දී අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා තමන් විසින් අද සිදු කළ ප්‍රකාශ ඉදිරියේ දී නිවැරදි කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එම නිවැරදි කිරීම සිදු කරන ලෙස ද මව්රට පුවත්පත සහ වෙබ් අඩවිය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ම. ප. තමීර මංජු,

මව්රට ප්‍රධාන කර්තෘ සහ ප්‍රකාශක,

මව්රට.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress