එදා පෙනී සිටියේ ධර්ම රාජ්‍යයක් වෙනුවෙනි. අද සිංහල බෞද්ධ බලය දැන් ඉවරයි. බාරගත් කොන්ත්‍රාත් එකත් ඉවරද?
Posted on July 17th, 2022

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මධ්‍ය මණ්ඩලය දේශප්‍රේමි ජාතික පෙරමුණ

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
බෝධිරාජාරාමය
ඇඹිලිපිටිය

2022 ජූලි මස 09 දින ජනාධිපති මන්දිරය අසල ඇතිවූ ජන අරගලයට සමගාමීව ඔබ වහන්සේ සහ කිතුණු පූජකයන් එක්ව මාධ්‍ය වෙත නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හැට නව ලක්ෂයක් චන්දය ලබා දුන් අතර එම සිංහල බෞද්ධ බලය දැන් ඔහුට අහිමි වී ඇති බවද ලංකාවේ ජනතාවගෙන් සියයට අනූහතක්ම මේ ජන වරම ප්‍රතික්ෂේප කර ඇති බවද මේ ප්‍රකාශයේ අන්තර්ගතයයි.

2019 වර්ෂයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත් කරලීම පිණිස ජනතාව පෙළ ගැසුණේ පැවති යහපාලන රජයේ අමනෝඥ ක්‍රියාකලාපය සහ විදෙස් ගැති බෙදුම්වාදී පිළිවෙත නිසාය.ලංකාවේ හමුදා යුධ අපරාධ කළ බවට හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී පිළිගැනීම මෙන්ම යහපාලන රජය විසින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට කරන ලද විවිධ අඩන්තේට්ටම් ඔබ වහන්සේ ඇතුලු අතැම් භික්ෂූන් වහන්සේලා ඉවසා වදාරමින් සිටි බව අප සිහිපත් කරමු.එවකට යහපාලන රජයේ ප්‍රබල ඇමති ධූරයක් දැරූ චම්පික රණවක මහතා අගයමින් ඔහුගේ නාස්තිකාර මෙගා පොලිස් සෙල්ලම් සාධාරණීකරණයටද තැත් කළ අකාරය මෙහදී මතක් කර සිටිමු.රනිල් වික්‍රමසිංහ සහ ජනපති මෛත්‍රී පාලනය විසින් සිංහල බෞද්ධයා අනතුරේ හෙළා දෙමළ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දී රටේ ඒකීය පාලනය සහිත ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළ කල්හි ඇතිවූ සාධාරණ ජනතා අරගලය ජනපතිවරණයේ දී උච්චස්ථානයකට පත් විය.මුස්ලිම් අන්තවාදීන් සහ දෙමල බෙදුම්වාදීන් විසින් මෙතෙක් අත්පත් කරගෙන තිබූ තීරක බලය සියතට ගනිමින් සිංහල බෞද්ධයා විසින් තමන්ගේ උපරිම ශක්තිය යොදා අත්පත් කරගත් ජයග්‍රහණය 2019 දී ප්‍රකාශයට පත් වූයේ කුමන්ත්‍රණකාරී විදේශ බලවේගයන්හි අභිලාශයන් විනාශ කරමිනි.

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය මූලික කොට ගෙන සිහළ උරුමයද පසුව ජාතික හෙළ උරමය වටා සිටි සිංහල බෞද්ද ජාතික බලවේග වල ප්‍රාර්ථනාව වූයේ ද එයයි. එදා ඔබ වහන්සේ දළදා මන්දිරය ඉදිරිපිට මාරාන්තික උපවාසයකින් කළ යතිවර අදිටන මගින් සනිටුහන් වන්නේද සිංහල බෞද්ධ බලවේගයන්ගේ දෘඩතර අධිෂ්ඨානයයි.

2019 දී බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා රුවන්මැලි මහ සෑ රදුන් ඉදිරියේ කළ ප්‍රකාශය සිංහල බෞද්ධ ජනතාව කාලයක් තිස්සේ බලා සිටි නායකත්වයක මුහුණුවර ප්‍රදර්ශනය කරන්නක් විය. එහෙත් ඒ ප්‍රකාශයේ ගැඹුර සහ බර සිය උර මතට නොගෙන ආරම්භයේ සිටම ජනපතිවරයා කළ මහා පාවා දීම් කරණ කොට අද වන විට ඔහු සමස්ත ජනතාවගේම පිළිකුලට සහ කෝපයට භාජනය වී ඇත. නමුත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් ගෙන් ඇරඹි වත්මන් ජාතික ව්‍යාපාරයේ වුවමනාවන් සහ අභිලාශයන් කිසිවක් පරාජයට පත් වී නැත.

ඔබ වහන්සේ ප්‍රමුඛ සංඝ බලවේගය එදා පෙනී සිටියේ ධර්ම රාජ්‍යයක් වෙනුවෙනි.නුමුත් වර්තමානයේ ඒ උත්තරීතර ප්‍රාර්ථනාවන් වෙනුවට නව දේව ධර්ම රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ දැරීම පිණිස ඊනියා සර්ව ආගමික පදනමක් යටතේ ඔබ වහන්සේ කටයුතු කරන බව නිරික්ෂනය වේ. ඒ ඔබ වහන්සේලාට නිරන්තරව අවවාද කරන චම්පක රණවක මහතාගේ බල ව්‍යාපෘතිය සඳහා දැයි අප නොදනිමු. කෙසේ වෙතත් ඔබ වහන්සේලා ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පිරිස අද මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලද රවටමින් උන්වහන්සේලා ගේ අත්සන පවා ව්‍යාජව යොදා ගනිමින් විදේශ වුවමනාවන් වෙනුවෙන් පෙළ ගැසී සිටීම ගැන අප බලවත් සේ කම්පාට පත් වී සිටිමු. විවිධ නඩු තීන්දු මගින් ජනපති තනතුර සතු විධායක බලය හෙවත් ජනතා පරමාධිපත්‍ය අත්හල නොහැකි බව සහතික කොට ඇති අවස්ථාවකදී ඒ තීන්දු ද නොසලකා හරිමින් විධායකය අහෝසි කොට පාර්ලිමේන්තුව ට සම්පූර්ණ බලය ලබා ගෑනීමට තැත් කිරීමද මේ විදේශ වුවමනාවේම කොටසකි. ඒ නම් මෙරෙට ජාතික රාජ්‍යය තව දුරටත් දුර්වල කොට ඇමරිකානු සහ ඉන්දීය දඩබිමක් බවට ශ්‍රීලංකාව පත් කිරීමේ මාර්ග සිතියමයි.

මෙම මාර්ග සිතියම අනුවකටයුතු කරමින් කරන ලද සියලුම බල ව්‍යාපෘති මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතියට බලවත් අභියෝගයක් වනවා නො අනුමානය. එබැවින් මෙම දුෂ්ඨ බල වේග සමග කටයුතු කිරීම නවතා දමා සැබෑ සිංහල බෞද්ධ බලවේගයන් සමග නැවතත් එක පෙළට වැඩම කරන මෙන් ඔබු වහන්සේ ගේ අප ගෞවරනීය ලෙසට ඉල්ලා සිටිමු.

මෙයට,

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
මධ්‍ය මණ්ඩලය
දේශප්‍රේමි ජාතික පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress