ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජා තන්ත්‍ර-නාස් ලණු-වාදය) හැඳින්වීම- part II
Posted on July 19th, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

පොතක් වශයෙන් මා විසින් පිළියෙලකල ඉහත සඳහන් මාතෘකාව සහිත ලිපි එකතුවට ලියනලද හැඳින්වීම කොටස් දෙකකින් ඉදිරිපත් කරන්නේ ජූලි 9 දා සිදුවූ ජනාධිපති ගෝඨභයගේ ඉවත්කිරීම සමඟ රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය ඉදිරියේ එහි සඳහන් කර ඇති කරුණුවල වැදගත්කම නිසාය. අලි-මිනිස් ගැටුම් ගැන ඇතිවූ පෙලපාලි මෙන් නොව, පෝර දියව් පෙළපාලි රෙජීම් චේන්ජ් එකක් සඳහා මානබලමින් සිටි රට කැබලිකිරීමේ දෙස්-විදෙස් ව්‍යාපාරයට ඉණිමඟක් ලබාදුන්නේය. රටේ යහපත සඳහා සිස්ටම් චේන්ජ් එකක් වේවිද, නැද්ද යන්න නුදුරු අනාගතයේදී දැනගැනීමට හැකිවනු ඇත. ලංකාව, ලෝකයේ වඳවෙමින් යන අතීත ශිෂ්ටාචාරයකට හිමිකම් කියන සිංහල බෞද්ධයාට ලෝකයේ ඇති එකම ඉඩම් කැබැල්ල බව පෙන්වා දෙන්නට තරම් දැණුමක් හෝ ආත්ම ශක්තියක් ඇති සිංහල බෞද්ධයෙක් මෙම අරගලකාරයින් අතරේ හෝ ඉන් පිටත නැතිවීම ඛේදජනකය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඉන්නේ දිවිපරදුවට තබා රට බේරා ගැනීමට සටන්කල සරත් වීරසේකර පමණය.

පෝර දියව්- ගෑස් දියව්-පෙට්‍රෝල් දියව්- ඩීසල් දියව්- භූමිතෙල් දියව්-ලයිට් දියව්-කන්න දියව්

Source:  Abraham Maslow, 1943

මූලාශ්‍රය: සුද්දගෙ නීතිය අපිට එපා, 2022

කළු සුද්දෙක් යනු කුමක්ද (what is a black-white)?

දහතුන්වන සංශෝධනයට එකඟවන හැමකෙනාම කළු සුද්දෙක් නොවේද යන නිගමනයට මා  පැමිණියේ, කළු සුද්දෙක් කියන්නේ කවුද යන්න නිර්වචනය කිරීමේලා ඇති දුෂ්කරතාවයෙන්  ගැලවීමේ මඟක් ලෙසය. ලංකාව මුහුණ දෙන ප්‍රශ්ණ සම්බන්ධයෙන් පලවන ලිපිවලට පිළිතුරු ලිපි ලිවීමට මා පෙළඹුනේ ඒවායේ මා දුටු අඩුපාඩු, වැරදි නිගමන හා විශේෂයෙන් ‘මහාවංශ විරෝධී’ ආකල්පය නිසාය. මේ දිවයිනේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය නමැති පදනම විනාශකර දැමීමට දේශීය හා විදේශීය බලවේග කරගෙන යන ව්‍යාපාරය ඉදිරියේ, වෙනත් ලෝකයේ රටවල් වල සිදුවෙනවා මෙන් මේ රට කැබලිනොවී ඉතිරිව තිබෙන්නේ යම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින්  එය රැකදෙන නිසා බව නිසැකය. මෙම පිළිතුරු, විශේෂයෙන් 13-A සංශෝධනයට අදාල ලිපි කළු සුද්දන්ට විරුද්ධව කල ව්‍යායාමයක් නොවේද යන කරුණ මට ඒත්තු ගියේ සිවුරු පොරවා ගත් කළු සුද්දනුත් සිටිනවා යයි  කිරම විමලජෝති හිමිඳුන් කල ප්‍රකාශයකට පසුවය (2014/09/28). ලංකාසීනිව්ස් නම් වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට (2014/1118) අනුව උන්වහන්සේ කියන්නේ රටට, සිංහල ජාතියට, සම්බුද්ධ ශාසනයට, බෞද්ධ සංස්කෘතිය ඇතුළු අපේ වාරි සංස්කෘතියට වින කරන පිරිස් හා ආදරය නොකරන පිරිස් කළුසුද්දන් බවය.

සිංහල ජාතියේ මුදුන් මල්කඩ දෙකක් බඳුවූ විද්‍යෝදය හා විද්‍යාලංකාර මහපිරිවෙන් දෙක 1959 දී පේරාදෙණිය මොඩලයේ විශ්ව විද්‍යාල කිරීම මෙම සංඝ සාසනයේ පිරිහීමට බලවත් හේතුවක් වූ බව මේ වනවිට ප්‍රත්‍යක්ෂවී ඇත. දැන් 2022 වනවිට කළු සුද්දන්ගේ සැඟවුණු බලය හා ආධිපත්‍යය එලිපිටම, රටපුරාම පැතිරී විසිරී අවසානය. මෙම මාතෘකාව සම්බන්ධයෙන්  පසුගිය දශකයකට වැඩි කාලයක් පුරා මා විසින් ලියූ ලිපි සමහරක් එකතුකර පොතක් වශයෙන් ලංකාවාසී  සිංහල දන්නා ජනතාවට ඉදිරිපත් කලයුතුයයි තීරණය කලේ එවැන්නක අවශ්‍යතාවය කිරම හාමුදුරුවන් විසින්ද සඳහන් කර තිබීමය. කළු සුද්දෙක් යයි කිවහැක්කේ කාටද, කළු සුද්දන්ගේ ආරම්භය හා වර්ධනයවීමේ ඉතිහාසය කුමක්ද, ඔවුන් ලංකාවට කල හානි හෙවත් රටේ ඇතිකර ඇති අර්බුද පිළිඹඳ නිදර්ශන මොනවාද යනාදිය සරල කතාකරණ භාෂාවෙන් මේ ලිපිවලින් විමසා බලා ඇත. මොවුන් කල විනාශ ඉදිරියේ, ඔවුන්ගේ පාරට වෙනස් පාරක්, වෙනත් ක්‍රමවේදයක් 1910-20 දශකවලදී  ධර්මපාලතුමාගේ කාලයේ සිටම ක්‍රියාත්මක විය. කළු සුද්දන් විසින් දිගින් දිගටම කලේ මෙම ස්වදේශීය ව්‍යාපාර කඩාකප්පල් කරදැමීමය. කළුසුද්දන් කල හානියෙන් මේ වනවිට අඝාධයට වැටී ඇති රටට ඉන් ගොඩ ඒමට ඇති විසඳුමක්ද මෙම ලිපිවලින් නැවත නැවතත් අවධරණය කර ඇත.

මෙම ලිපි එකතුව කොටස් හතරකට බෙදා ඇත. පළවෙනි කොටස වන,  කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය යන මාතෘකාව, ඒ සම්බන්ධයෙන් 2014 ඔක්තෝබර්-නොවැම්බර් මාස වල ලියූ ලිපි මාලාවය. මගේ අත්දැකීම නම් මෙම ලිපිවල ඇති කරුණු තරුණ පරම්පරා කෙසේ වෙතත් වයසක පරම්පරාවල අයටත් අමතකවී ගිය රටේ ඉතිහාසයට හා භූගෝල විද්‍යාවට අයත් විස්තර බවය. කළු සුද්දෙක් කියන්නේ කවරෙක්ද යන්න නිර්වචනය කිරීම පහසු කාරියක් නොවන්නේ එය යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන නිසාය. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ, බ්ලැක්වයිට්ස් ආ නොට්, දේ බිකම් (black-whites are not, they become) යනුවෙනි. තමන් කළු සුද්දෙක් බව බොහෝ විට ඒ පුද්ගලයා පවා නොදන්නවා විය හැකිය! 1492/1505 දී කලම්බස් හා වස්කෝ ද ගාමා යුරෝපයෙන් පිට, රටවලට යාමත් සමඟ, හමේ පැහැය කළු, දුඹුරු හෝ කහ වන මිනිසුන් සුද්දන් විසින් සැළකුවේ ශීලාචාර කලයුතු, ඒ සඳහා ක්‍රිස්තියානි කලයුතු, වනචාරී ජනයා ලෙසය. ඔවුන්ගේ සිත් තුලට හීනමානය  ඇතුළු කලාද, ඇතුළු වුනාද යන්න මෙහිදී වැදගත් නැත. ඔවුන් කළු සුද්දන් වුනේ හීනමානයට වඩා තමන්ට වාසි ලබාගැනීමටය.  එක් එක් කොටසින් ආවරණය කර ඇත්තේ ලංකාවේ අවිචාරමත් සමයේ කතාවය. පියදාස සිරිසේන මහතාගේ ජයතිස්ස හා රොසලින් නම් නවකතාවේ කියන ‘අපට වෙච්ච දේ’ය.

කළු සුද්දන්ගේ පාලන සමයේ  ප්‍රධාන ලක්ෂණ

1815 ගිවිසුමෙන් හා ඉන් පසු 1818, 1848 කැරළිවලින් පසු රටේ සිංහල බෞද්ධයාට අහිමිකල අයිතීන්, වෙනත් රටවලදී කලා මෙන් සාධාරණ ලෙස නැවත ලබාදීම වෙනුවට (නිදසුන්- Discrimination with Reason: The Policy of Reservations in the United States, India and Malaysia,  Devanesan Nesiah, 1997), 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තියෙන් එය දිගටම ගෙනයාමට අවශ්‍ය නීතිමය හා මානසික (psychological) වාතාවරණය සුළු ජනවර්ගවලට පාදා දෙන ලදී (එම ව්‍යවස්ථා කෙටුම්පත කතෝලික/ක්‍රිස්තියානි පල්ලිවල නායකයින්ට පෙන්නුවත්, මහානායකවරුන්ට  නොදුන්නාය යන කතාව සත්‍යද යන්න මම නොදනිමි). සංඛ්‍යාව අතින් වැඩිවුවත්, රටක මහජාතිය, ඒ රටේ සුළු ජන වර්ග/ කුඩා ජනකොටස් විසින් පාලනය කරණ අවස්ථා එමටය. රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය, දකුණු අප්‍රිකාවේ ඇපාතයිඩ් සුදු පිරිස, රුවන්ඩාවේ ටුට්සි සුළු ජනකොටස මගේ මතකයට එන උදාහරණය. සුද්දන්ගේ, සිය යටත් විජිත බෙදා පාලනය කිරීමේ උපක්‍රමය මීට ප්‍රධානම හේතුවය. මැතිවරණයට කලින් භික්ෂූ අභ්‍යාස විද්‍යාලයක් සඳහා ආධාර කරන්නට පොරොන්දුවී, අගමැති වූ පසු, ‘අපොයි  හාමුදුරුවනේ, ආණ්ඩුව සරණං ගච්චාමි යයි ශික්ෂාපදයක් නැතයි’ කියා හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ට, D S සේනානායක කිව්වේ, ඔහුම අනුමත කරවා ගත් 29 වගන්තියට අනුවය!

මිස්මැනේජ්මන්ට්

මෙම සමයේ, සමස්ථ ලක්ෂණය මිස්මැනේජ්මන්ට් ය (අදක්ෂ රාජ්‍ය පරිපාලනය, mismanagement). සුද්ද හිටිය නම් මීට වඩා හොඳයි යනුවෙන් සමහරු කියන්නේත්, මුන් 225 එපා යයි හැමෝම  කියන්නේත් මේ නිසාය. එහි පැති බොහෝය. (A) මෙම කාලය තුල, සුද්දා විසින් 1948 ට පෙර ගෙනගිය ජන වර්ග බෙදා පාලනය කිරීමේ උපක්‍රමයේ අනිසි විපාක, නිසි අන්දමට, යුක්තිසහගත ලෙස, කළමණාකරණය කරගන්නවා වෙනුවට, එය තවතවත් උග්‍ර විය.  (B) සුද්දා විසින් ඇතිකල යටත් විජිත, ආයත-නිර්යාත ආර්ථික රටාවෙන් ගැලවී විවිධාංගනයවූ කෘෂිකර්මයක් හා බැඳුණ කර්මාන්ත ව්‍යුහයක් (diversified rural agro-industrial base) ගොඩනැගීමට මොවුන් අසමත් විය. මෙවැනි වෙනසක් සඳහා අනගි සේවයක්  G.V.S. de Silva විසින් ඉටුකලේය. ඔහුගේ බොහෝ පර්යේෂණ කෘති අතරින් දෙකක් නම්, ‘Towards a Theory of Rural Development,’ හා ‘Poverty and People’s Power,’ ය. (උමංදාවේ හාමුදුරුවන්ගේ කෘෂිකර්ම ක්‍රියාවලිය රටේ චිරානුගත, කාලයක් සිට පැවති ගෙවතු, කොරටු, ඕවිටි වගා ක්‍රමයට සමානය).

(C) 1948 වනවිට තිබූ ඉංග්‍රීසි කතාකරන හා කතා නොකරන යන ලංකා දෙක, කොළඹ හා ගම වශයෙනුත්, ධනවත් කොළඹ හා දුප්පත් ගම වශයෙනුත් දිගටම පැවතියේ පැලැස්තර න්‍යාය යටතේය. කොළඹට කිරි-අපිට කැකිරි යන 1971 jvp සටන් පාඨයට හේතුව මෙයය. (D) 1948 වන විට රටේ තිබුණේ ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධව නැගී ආ බෞද්ධ බලවේගයය. මෙය සිංහල-දෙමළ භාෂා ගැටුමක් බවට හැරවීමට කළු සුද්දන් සමත් විය. (E) ලැජ්ජා භයෙන් තොර අවිනීත, අශීෂ්ට සමාජයක් බිහිවිය. (ධර්මිෂ්ට සමාජයක්, එදිරිවීර සරච්චන්ද්‍ර, 1982).  (F) පක්ෂ දේශපාලනය විසින් සමස්ත රටම, සමාජයම, දේශපාලනීකරණය කිරීම හා සුද්දා කලාටත් වඩා කාර්යක්ෂම ලෙසට පක්ෂ අනුව ගෙදර, ගම, කන්තෝරුව යන සියල්ලම බෙදා පාලනය කිරීම උග්‍ර විය.

මෙවැනි පසුබිමක් යටතේ මෙම කළු සුද්දන්ගේ පාලන සමයේ  කැපී පෙනෙන සමහර ලක්ෂණ මෙසේය:

*1. දෙමළ බෙදුම්වාදය

1921/23 කාලයේ පොන්නම්බලම් අරුණාචලම් විසින්, 1918 දී පමණ මැඩ්‍රාස් ප්‍රාන්තයේ මතුවු දකුණු ඉන්දියාවේ වෙනම දෙමළ රටක් යන ව්‍යාපාරයට අනුගාමිකව ආරම්භවුණ, ලංකා කොලනියේ දෙමළ බෙදුම් වාදය අදටත් සිංහල කළු සුද්දන් විසින් අල්ලා ගෙන දඟලන කොටි වලිගයකි. ලංකාවේ දෙමළ ජනවාර්ගික ප්‍රශ්ණය මුල සිටම බොහෝසෙයින්ම ක්‍රිස්තියානි කොළඹ වසන ද්‍රවිඩ නායකයින් අතලොස්සක් විසින් මෙහයවන ලද රට කැබලි කිරීමේ උත්සාහයකි. එයට උඩින් හා යටින් ක්‍රිස්තියානි පල්ලිවල අනුග්‍රහය නොඅඩුව ලැබුණේය.

ලංකාවේ පන්සල් වල වන්දනා භූමියෙන් (sacred space) සියේට 10-20 අතර ප්‍රමාණයක් වෙන්වී ඇත්තේ හින්දු දෙවි-දේවතාවියන්ටය. උතුරේ උග්‍ර කුලවාදයෙන් පල නෙලා ගන්නට හාමුදුරුවරු ගියේ නැත (අම්බෙඩ්කාර්ගේ ඉන්දියාවේ ඩලිත් ජනයා බුදුදහමට හැරවීමේ ක්‍රියාවේදීවත් ලංකාවේ හාමුදුරුවරු ඉදිරිපත්වූයේ නැත). යුදහමුදාව (කර්නල් රත්නප්‍රිය බන්දූ, බොදු බල සේනාව (හින්දු සංගමය හා එකමුතුව), අරුන් සිද්ධාර්ථන් (යාපනයේ කුලභේදයෙන් පීඩා විඳින ජන කොටස් වල නායක තරුණයා) යන අය හින්දු දමිළ-සිංහල බෞද්ධ පාලම් ගොඩ නඟමින් සිටී.

*2. ශාරියා-වහාබි-අරාබි ඉස්ලාම් ව්‍යාප්තවාදය

1951 දී සිංහල කළු සුද්දන් විසින් ලෝකයේ ප්‍රථම වරට නීතියක් මඟින් කාති උසාවි ක්‍රමය මුස්ලිම් දේශපාලකයින්ට ලබාදෙන ලද්දේ එක්සත් ජාතියක් (එක්සත් ජාතික පක්ෂය!) සඳහා යන මිථ්‍යාව අනුවය. ඒ කාලයේ සුළුවට තිබූ ශාරියා-අරාබි-වහාබ් ව්‍යාප්තිවාදය, මේ වනවිට කාන්තන්කුඩියේ හිස්බුල්ලාගේ අරාබි නගරයක සිට ක්‍රමාණුකූලව පල්ලිවල තණකොළ කපන්නට ගබඩාකල කඩු සහිත, රටපුරා තනිකර මුස්ලිම් ගම්මාන (ශාරියා බලකොටු) ඉදිකර ගැනීමේ ශූක්ෂම ව්‍යපෘතියක් බවට පත්ව ඇත.

*3. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට පහරදීම

සිංහල බෞද්ධයයි කියාගන්නා පක්ෂ දේශපාලකයින් සිංහල බෞද්ධයින් රැවටීම, සංඝ සංස්ථාවේ පරිහාණිය හා සිවුර ශූක්ෂම ලෙස අවමානයට ලක්කිරීම මෙන්ම බුද්ධාගමේ අභිවෘධිය සඳහා යයි දේශපාලකයින් කල දේවල් බුද්ධාගමටම හානිදායක විය (බෞද්ධ අමාත්‍යාංශය හා බුද්ධ ශාසන කොමසාරිස් යනාදිය බොරු සෝබන වැඩය). ලෝකයා සිතන්නේ රාජ්‍යය බුදු  දහම රකිනවා පෝෂණය කරනවා කියාය. එහෙත් සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාවකි. සංඝ සංස්ථාවේ මුරදේවතා සංකල්පය පිළිඹඳ දැණීමක් නැති රංජන් රාමනායක වැනි අය පමණක් නොව, යමක් කමක් දන්නා රාවයේ වික්ටර් අයිවන් වැනියවුන් පවා ඊට වඩා ශූක්ෂම ලෙස සිවුරට මඩගසමින් නිග්‍රහකරමින්, ශීලාචාරවීමට අවශ්‍ය උපදෙස් පවා ලියයි! (පන්සලේ විප්ලවය, වික්ටර් අයිවන්, 2006).

*4. අඛන්ඩව සිදුවන, අයුතුලෙස  බෞද්ධයින් හා හින්දූන් ඉස්ලාම් කරණය හා මූල ධර්මවාදී ක්‍රිස්තියානි කරණය. මේ හා සම්බන්ධ තවත් දෙයක් නම් ඉන්ටර්ෆේත් (සර්වාගමික හෙවත් හැම ආගමක්ම කියන්නේ එකම දේය යන මිථ්‍යාවය. බුදු දහම සර්ව බලධාරි දෙවියෙකු විශ්වාසකරන්නේ නැත. එය, එව බලව මිස එව අදහව යයි කියන්නේ නැත.

*5. යන්තමින් හෝ පැවති නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය 1978 න් පසුව ඇතිකල ව්‍යවස්ථා හා චන්දක්‍රම මඟින් විනාශකර දැමීම (බලපිරමිඩය හා ධර්ම චක්‍රය,  A. T. ආරියරත්න, 1988).

*6. දේශපාලකයා-නිලධාරියා-NGOකාරයා/බිස්නස්කාරයා යන දුෂ්ඨ ත්‍රකෝණයක් මඟින් දූෂිත (corrupt), ලොකු මාළුවා පොඩි මාළුවා ගිලගන්නා සමාජයක්, පාලන තන්ත්‍රයක් රටපුරා පැතිරීයාම. එකිනෙක හා සම්බන්ධ NGO ජාල (networks) මඟින් නොයෙක් විදේශ බලවේග රටතුල කරගෙන යන දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී  ව්‍යාපාර දමනය හෝ දපණය කිරීමට උවමනාවක් හෝ ශක්තියක් සිංහල බෞද්ධ යයි පිරිත්නූල් බැඳගෙන ඉන්නා දේශපාලකයින්ට නැත. සෙනාලි වඩුගේ විසින් මේවා එලිකරමින් ලියන ශාස්ත්‍රීය ලිපි ලංකාවෙබ් වෙබ් අඩවියේ නිතරම පලවේ (නිදසුණක් වශයෙන්: LankaWeb – Is foreign-funded Civil Society” attempting to replace the Political System in Sri Lanka?)

*7. මහා පරිමාණ පිස්සුව. වෙනත් දුගී රටවල මෙන් යෝධ ව්‍යාපාර ආරම්භ කිරීම රටේ බලය අල්ලා ගන්නා අයගේ මානසික රොගයකි. ගල් ඔය ජලාශයේ සිට නෙළුම් කුළුණ දක්වාම මෙය පැතිරී ගියේය. විටෝරියා බැම්ම හා වතුරට දියවන හුණුගල් ස්ථර අති භයානකය. කොළඹ වරාය නගරය නිසා බටහිර වෙරළ ඛාදනය උග්‍රවීමට ඉඩ නැද්ද? දියවන්නා පාර්ලිමේන්තු හෝටලය වතුරෙන් යට නොවී තාමත් බේරී ඇතත්, කොළඹ හත පවා දැන් ජලයෙන් යටවන්නේ එහි ප්‍රතිඵලයක් නිසාය.

*8. 1978 න් පසුව විදේශිකයින්ට මහා පරිමාණ තනි භෝග වගා සඳහා ඉඩම් විකිණීම මේ සමයේ ලක්ෂණයකි. මෙය දැන් රටේ දේපල විකුණාගෙන කෑමේ දේශපාලනයක් බවට පෙරළී ඇත.

*9. විදේශවලින් ණය ලබාගෙන අය-වැය රෝල් කිරීම මේ සමයේ ආර්ථික දැක්ම විය. ණය අරගෙන ඒවා සංවර්ධන කටයුතු වලට යොදනවාට වඩා සිදුවී ඇත්තේ කොමිස් කුට්ටි කඩා ගැනීම හා දේශපාලකයින්ගේ ගැත්තන්ට කොන්ත්‍රාත් භාර දීමය. මහවැලි ව්‍යාපාරයේදී කෙතරම් දූෂණ වූවාද යත් ඊට අයත් පෙට්‍රෝල් වලට කොල පාට  මිශ්‍රකලේ  ඒවා හොරාකෑම වැළැක්වීමටය.

*10. ස්ත්‍රීන්ගේ ශ්‍රමය සූරාකෑම මේ කාලයේ විශේෂ ලක්ෂණයකි. උදාහරණ වශයෙන් අරාබිකරයේ දුක්විඳිමින් ගම්බද ස්ත්‍රීන් ලංකාවට එවන ඩොලර් කන්දරාව කළුසුද්දන් විසින් අපහරණය කලේය. ගාමන්ට් පැක්ටරිවල සිය තරුණ ජීවිතය ගතකරණ ගතකරමින් දුක්විඳින ස්ත්‍රීන්, සුපවයිසර්ලාගේ හිරිහැරවලටද ලක්වේ. මීට අමතරව මුස්ලිම් ස්ත්‍රීන්, කාති උසාවි හා ට්‍රිපල් තලාක් ක්‍රමය යටතේ ජීවත් වන්නේ ගෙවල් ඇතුලේ පිරිමියාගේ කාමාශා වහළුන් වශයෙනි.

*11. මේ කාලය තුල නිලධාරී හා වෘත්තීය කොටස් විසින් මහජනයා සූරාගෙන කෑම ගජරාමෙට සිදුවෙන්නේය. නීතීඥයින්, දොස්තරලා හා පාසැල් ගුරුවරු උදාහරණ තුනකි.  පාසැලේ ඉගැන්වීම අතපසු කර හවසට හා සති අන්තයේ ටියුෂන් දෙන ගුරුවරු ටැක්ස් ගෙවන්නේද නැත. සිස්ටම් චේන්ජ් එකට, මේ අනු-සිස්ටම්ද අයත්විය යුතුය. විශ්ව විද්‍යාල ගුරුවරුද ඔවුන් විසින් මේ කාලය පුරා හදාගත් සිස්ටම් එකක් යටතේ සිය වගකීම් හා යුතුකම් හරියාකාරව ඉෂ්ට කරන්නේ නැත.

*12. මේ කාලය තුල පරිසරයට කරණ හානි, පරිසර දූෂණය ශීග්‍රයෙන් වැඩිවිය. උදාහරණයක් වශයෙන්, කැළණි ගඟේ මිනිසුන් නාන්නේ ඒ ලඟින් පාවෙන අශූචි දැක දැකය. පරිසර ආරක්ෂණ නීති ක්‍රියාත්මක නොවන්නේ දූෂිත නිලධාරි-දේශපාලක ක්‍රමය නිසාය.

*13. යහපත් චේතනාවෙන් ආරම්භ කරණ ක්‍රියා පවා කෙළසා දැමීම මේ සමයේ පොදු ලක්ෂණයකි. උදාහරණයක් වශයෙන් සිමෙන්ති, වානේ වැනි රාජ්‍ය සංස්ථා ඇතිකලේ රජයේ දෙපාර්තමේන්තු ක්‍රමය යටතේ ලබාගත නොහැකි නම්‍යභාවය හා බිස්නස් මොඩලය අනුව කර්මාන්ත හෝ වානිජ කටයුතු කරගෙන යාමටය. එහෙත් දේශපාලකයින් ඒවාට තම හෙංචයියන් පත්කර එම සංකල්පය විනාශ කලේය. ලංගම තවත් නිදසුනකි.

*14. ඉංග්‍රීසි භාෂාව යළි රජකරවීමට දරණ උත්සාහය ලැජ්ජා සහගතය. කලයුතුව ඇත්තේ විදේශ භාෂාවක් ඉගැන්වීමට නිපුනත්වයක් ඇති ගුරුවරුන් මඟින් සිසුන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමට, කියවීමට හා කතාකිරීමට පදනමක් ලබාදීමය. තම අවශ්‍යතාවය අනුව ඔවුන් එය වැඩිදියුණු කරගන්නවා ඇත. යමෙකුගේ නිර්මාණ ශක්තිය අවධිකරන්නේ යමෙකුගේ මව් භාෂාව මඟින්ය. හුදෙක් සිංහල මාධ්‍යය නිසාම විශ්ව විද්‍යාල ගුරුවරු වීමට අවස්ථාවක් ලද අය, දැන් සිංහලෙන් ඉන්ගිරිසියට මාරුවීමට සටන් කරන්නේ යම් හීනමානයක් නිසාය.

රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ඉගැන්වීම  1960 ගණන්වල සිටම බකල් කලේත්, උප්පැන්න සහතිකයෙන්, ජාතිය සිංහල වෙනුවට ශ්‍රී ලාංකික කියා වෙනස් කරන්නට උත්සාහ කරන්නේත් මෙසේ සිංහල මාධ්‍යයෙන් උපාධිගත් නිලධාරීන්ය. මෙවැනි අයගේ දරුවන් මේ වනවිට අක් මුල් සිඳගත්, දැණුමක්-දැකුමක් නැති අරගලකාරයින්වී, බැකෝ යන්ත්‍ර මඟින් සාමකාමී සටන් කල හැකියයි සිතන තරමේ මානසික ව්‍යාධියකින් පෙලෙමින් සිටී.

*15. සෙල් ෆෝන්, මුහුණු පොත, වෙබ් අඩවි, යූටියුබ් යනාදිය සාමන්‍ය ජනයාට, තනි පුද්ගලයාට, ස්වාධීනත්වය සහිත දැවැන්ත සමාජ බලයක් ලබා දුන්නේය. එය අවභාවිතා කිරීම ඉහළ යමින් පවතින බවක්ද පෙනේ. සම්ප්‍රදායික මාධ්‍ය ආයතනය වූ පුවත් පත් හැසුරුණ දේශ ද්‍රෝහි, බෞද්ධ විරෝධී ආකාරය ගැන, විශේෂයෙන් එස්මන්ඩ් වික්‍රමසිංහගේ (රනිල්ගේ පියා) කාලයේදී  ලේක් හවුස් ඉංග්‍රීසි පත්තර, 1964 දී  පුවත් පත් කොමිෂමෙන් පෙන්වා දුන්නේය.  අද වනවිට ලේක් හවුස් පවතින ආණ්ඩුවට කඩේ යන ගැෂට් එකක් වගේත්, සෙසු පුද්ගලික මාධ්‍ය ආයතන සිය පුවත් පත්, රූපවාහිනී, TV නාලිකා වැනි ආණ්ඩු මවන හා නසන සතුන් ලෙසත් හැසිරෙන්නේය. ඔවුන් සිය මහජන යුතුකම් පැහර හරින්නේ නොයෙක් පුද්ගලික වාසි තකාය.

පන්සලේ ඉතිහාස කතාව

මෙම පොතේ ඇති එක රචනාවකින් (සංඝ දමනය), 1802 න් පසු ලංකාවේ ඉතිහාසය සුද්දන්/කළු සුද්දන් හා පන්සල අතර ඇතිවූ නිරන්තර අරගලයේ වෘත්තාන්තයක් වශයෙන් විමසා බලා ඇත. එහි එකිනෙක හා බැඳුන අවධි/කාල රැසක්ම හඳුනාගත හැකිවිය. බුදු දහම කියන්නේ බොරුවක් යයි පැවසුන, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමවලදී මෙන් නොව 1948 න් පසු, විශේෂයෙන් 1978 න් පසු, සංඝ සාසනයට පහරදීම හරහා බුදු දහමට විශාල හානියක් කරන්නට ක්‍රිස්තියානි සිංහල කළු සුද්දන් උත්සුක විය. රෝසි සේනානායක හා චන්ද්‍රිකා මැතිණිය ලංකාවේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමිය යුතුයයි වහසිබස් දෙඩවූයේය.

සිස්ටම් චේන්ජ් කතාව

කළු සුද්දන්ගේ පාලන සමයේදී සිස්ටම් චෙන්ජ් කතාව එලියට ආ අවස්ථා කීපයක්ම හඳුනාගත හැකිය. 1815 ගිවිසුමෙන් සිංහල බෞද්ධයින්ට අහිමිකල ඔවුන්ගේ ඓතිහාසික උරුමය, 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය මඟින් තවදුරටත් තහවුරු කර දෙන ලදී. 1956 නිහඬ විප්ලවය මේ සිස්ටම් එක වෙනස් කිරීම සඳහා ජනයා දුන් තීන්දුවක් විය. තැපල් පියුන් කෙනෙක්, කවි කොල කාරයෙක් පාර්ලිමේන්තුවට ආවේය. නොයෙක් වැදගත් වෙනස්කම් වලට මුල පිරුණේය. එහෙත් එම විප්ලවයේ වින්නඹුවාවූ බණ්ඩාරනායක අගමැතිට, කලින් කැබිනට් රැස්වීමකදී වස කැවීමට තැත්කර පසුව, 1959 දී ඝාතනය කලේය. 1962 පොලිස්-නාවික ක්‍රිස්තියානි කුමණ්ත්‍රනය අන්තිම මොහොතේ මර්ධනය කල හැකිවූයේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරී ස්ටැන්ලි සේනානායක නිසාය (1962 දී බුරුමයේ සිදුවූ හමුදා කුමණ්ත්‍රනයෙන් බිහිවූ හමුදා පාලන ක්‍රමය අදටත් පවතී).

1964 දී වාමාංශික පක්ෂ සිරිමා ආණ්ඩුවට එකතුවී, 1970 දී බලයට ඒමත්, 1971 jvp කැරැල්ලටත් පසුව, පවතින සිස්ටම් එක චේන්ජ් කිරීම සඳහා, ආර්ථික හා සාමාජික පියවර කීපයක්ම ගත්තත් ඒවා පක්ෂ දේශපාලක-දූෂිත නිලධාරි පාලන යන්ත්‍රය යටතේ සිතූ ආකාරයට සාර්ථක නොවීය. එක් හොඳම උදාහරණයක් නම් පැක්ටරිවල, කන්තෝරුවල් පිහිටුවන ලද සේවක කවුන්සිල්ය. දූෂිත වෘත්තිය සමිති ඒවායේ බලය අල්ලාගෙන එම සංකල්පය විනාශ කලේය. මීට සමගාමීව ගම්වල ඵිහිටුවන ලද මහජන කොමිටි වලට පත්කලේ දේශපාලන හෙංචයියන් හා නුසුදුසු වෙනත් පංචස්කන්ධය. රාජ්‍ය සේවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීලාගෙන් ලියුම් ගෙන ඒම නිලවශයෙන් ආරම්භවූයේ 1964 සභාග ආණ්ඩු කාලයේ සිටය.

1970 න් පසු ආරම්භකල දිස්ත්‍රික් සංවර්ධන කොමිටු (DDC) ක්‍රමය සිස්ටම් චේන්ජ් කිරීමේ තවත් උත්සාහයක් විය. මහාචාර්ය H. A. de. S ගුණසේකර එහි මූලිකත්වයක් ගත්තත්, විශ්‍රාමගත් සිවිල් නිලධාරී ගාර්වින් කරුණාරත්න විසින් පුන පුනා ලංකාවෙබ් වෙබ් අඩවියේ ලියා පෙන්වා දෙන පරිදි එය සාර්ථක කර ගැනීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් විය. ඔහු උන් උපදේශකයෙකු වශයෙන් බංගලා දේශයට ගොස් එරටට විශාල සේවයක් කලේය! ඓම් රටවල් විනාශකරණ අන්දම ගැනද ඔහු පොත් ලියා ඇත. දැන් 2022 දී වත් කල යුතු ඔහුගේ සේවය ලබාගැනීමය.

ඉන් පසු ආ JR ගේ  ක්‍රමය යටතේ තිස් අවුරුදු යුද්ධය  2009 දී පරාජය කිරීම හැර සිස්ටම් චේන්ජ් එකක් සිදු නොවීය. හසලක වීරයා වැනි අය හැරුණු විට එය පරාදකිර්‍රිමට කෙළින්ම දායකවූ අනිත් එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂය. සරත් ෆොන්සේකාගේ දායකත්වය වැදගත්ය. එහෙත් තවත්   එවැනියන්ට යුද්ධය නිමාකල නොහැකිවූයේ යුද භටයින්ට ඔක්ෂිජන් සපයන නිසි දේශපාලන නායකත්වයක් JR ගේ සිටම නොතිබීමය.

රට ගැන නොව තමන් ගැන හා පක්ෂ දේශපාලනය ගැන මිස සබෑ සිස්ටම් චෙන්ජ් එකකට සිරිමා මැතිණිය, ජේආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන යන කිසිවෙක් ක්‍රියාකලේ නැත. ඔවුන් කලේ කටින් බතල කොල සිටුවමින්, මහජනයා  රවටමින් පැලැස්තර දැමීමය. තම ඉඩ කඩම් සියල්ලම වාගේ රජයට දීමෙන් සිරිමා මැතිණිය කල දේ වෙන කිසිම දේශපාලකයෙක් කරනැත. එහෙත් ඇය වටේ සිටියේ කළු සුද්දන් පිරිසකි.  මෙම බොරු ප්‍රජා (තන්ත්‍ර-නාස්ලණූ) වාදය ගැන කාලයක සිටම කළකිරී සිටි ජනයා අන්තිමේදී, 2019 දී, ගෝඨාභයට චන්දය දුන්නේ සැබෑ සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වෙමින්ය. ඔහු විසින් නොකල දෙය ගෝල්පේස් අරගලය හරහා සිදුවේවිද? 1977 දී පෝලිම්වල ඉන්නට සිදුවූ නිසා සිරිමා පරාජය කල චන්ද දායකයින් ඉන් පසු දිගින් දිගටම කබලෙන් ලිපට වැටුණේය. මෙවැනිම තිත්ත කසායක් ගෝඨාභය එලවා ගැනීමෙන් ඊට හවුල්වූ පාර්ශව වලට හා පොදුවේ රටේ  දුප්පත් ජනතාවට නුදුරු අනාගතයේදීම බීමට ලැබෙන බව නිසැකය!

රට කැබලි නොකර සිස්ටම් චේන්ජ් කිරීම: ගෝල්පේස් අරගලය

1948 න් පසු කාලය කළු සුද්දන්ගේ පාලන සමය වශයෙන් හඳුනා ගැනීම උපකාරවන ලක්ෂණ රාශියක්ම ඉහතින් සඳහන් කරණ ලදී. මෙම කාලය සම්බන්ධයෙන් නගන බලවත්ම විවේචනය වන්නේ ඕනෑම රාජ්‍ය පාලන විෂයකට අදාලව ජාතික ප්‍රතිපත්තියක් නැත යන්නය. සම්මුතිවාදී පාලන ක්‍රමයක් වෙනුවට, දේශපාලකයින් පක්ෂ අනුව ආත්මාර්ථකාමි ලෙස බෙදී, රටවැසියාවද පක්ෂ පාට අනුව බෙදීම නිසා පැරදුණ පක්ෂය නැවත බලය ලබාගැනීම සඳහා කරණ කඩාකප්පල්කාරී ක්‍රියා මීට හේතුවය. හැකි හැම අවස්ථාවකදීම මාන බලන්නේ, කුමණ ආකාරයකින් හෝ නැවත බලයට පැමිණ රටේ  පොදු සම්පත් සූරාකෑමය (tragedy of the commons). වෙනත් වචන වලින් කියනවා නම් මේ දේශපාලකයින් විසින් බෞද්ධ  රාජ්‍ය පාලන ප්‍රතිපත්ති අනුගමණය නොකිරීමය. ඔවුන් කලේ, ඇල්ලේ ගුණවංශ හිමිඳුන් කියන ආකාරයට, බුදු අම්මෝ බෞද්ධයින් ලෙස නොව  බොරු, ඕ මයි ගෝඩ් බෞද්ධයින්සේ රඟ පෑමය. පිරිත් නූල් හා අපේ හාමුදුරුවනේ යන ආමන්ත්‍රණය ඒ සඳහා උපයෝගී කරගත්තේය.

අවිචාරමත් සමය පිළිඹඳ ආවර්ජනයක්!

මෙම හැඳින්වීමෙන් කෙටියෙන් සඳහන්කර ඇති හා මෙම  පොතේ ඇතුලත් රචනා වලින් දීර්ග වශයෙන් විග්‍රහකර ඇති, ‘කළු සුද්දන්ගේ පාලන සමයේ ලක්ෂණ’, හා ගෝල්පේස් අරගලකරුවන් විසින් ජුලි 9 දාට පෙර හා පසුව කල ප්‍රකාශ වල ඇති බොහෝ අදහස් අතර ගැටුමක් මට නොපෙනේ. ඔවුන්ගේ අංක 14 යෝජනාව වන, ‘ග්‍රාම සේවක වසම් දක්වාවූ කුඩාම ඒකකයට බලය ලැබෙන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම,’ 2006 දී පමණ සිට දිගටම යෝජනාවූ සිස්ටම් චෙන්ජ් විසඳුමකි. ගෝල්පේස් අරගලය සම්බන්ධයෙන්, රටකැබලි නොකර සිස්ටම් චේන්ජ් කිරීම (බුදු දහම හා ජන සභා සංකල්පය) යනුවෙන් 2022 අප්‍රේල් 19 සිට ජූනි 12 දක්වා කාලය තුල ලියන ලද රචනා මාලාවේ අවසාන ලිපියේ මාතෘකාව වූයේ, ‘ගෝල්පේස් අරගලය: ජන සභා පාලන ක්‍රමයකට<සිස්ටම් එක චේන්ජ් කිරීම> විප්ලවයක් රහිත විප්ලවයකි’, යන්නය. මෙම ලිපි පැතුම් කර්නර්ටද යැව්වේ ඔහු විසින්  ඒවා අරගලයේ සෙසු පාර්ශවකරුවන්ටද ලබාදේවිය යන බලාපොරොත්තුව නිසාය. එහෙත් අද වනවිට (ජූලි 18) පැතුම් අතුරුදහන් වීය.

සිංහල බෞද්ධ ජනතාවගේ අදහස් පිළිඹිඹු කරණ එකම පෝස්ටර් එකක්වත් මෙතෙක් ගෝල්පේස්වල දක්ණට නොලැබීම ඛේදජනකය. අරගලය සිංහල බෞද්ධ විරෝධී හා රට කැඩීමේ සියුම් ව්‍යාපෘතියක් නොවේද යන සැකයක් මතුවන්නේ මේ නිසාය. ගෝටා ගෝ හෝම් යන්න හා සිංහල බෞද්ධයින්ට කළු සුද්දන් කරණ අසාධාරණකම් අතර ඝෘජු සම්බන්ධයක් නැත. මෙම පොතේ 5 වන කොටසින්  පෙන්වා දෙන විසඳුම්, විශේෂයෙන් ජන සභා සංකල්පය හැමෝම කියන ජනතාවට බලය පැවරීමකි. සැබෑ සමාජ සාමයක්, සංවර්ධනයක් ලඟා කරගත හැක්කේ උප්පැන්න සහතිකයෙන් සිංහල ජාතිය යන්න ඉවත් කිරීමට හෝ ලෝකයේ සිංහල බෞද්ධයින්ට ඇති එකම ඉඩම් කැබැල්ලට ඔවුන්ට ඇති ඓතිහාසික උරුමය අහිමිකිරීමට සැදීමෙන් හෝ ඉංග්‍රීසි භාෂාව යළි රජකරවීමෙන් හෝ නොවේ. මුලතිව් කුරුන්දි විහාරයේ චෛත්‍යය සංරක්ෂණ කටයුතු හා නටබුන් වහා ඉවත්කරන ලෙස මහෙස්ත්‍රාත් R සර්වනරාජා විසින් දී ඇති තීන්දුව බැලු බැල්මටම හිතුවක්කාරීය. පුරාවිද්‍යා පණතට හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඉහළින් බලයක් ඔහුට නැත. ඔහු මෙසේ හැසිරුණේ අරගලයේ ඌෂ්ණය වැදිලාද කියා සිතේ (Lanka C news, July 17, 2022). මේ අස්සේ සුමන්තිරන් උතුරු-නැඟෙනහිර රණවිරු ස්මාරක ගැන දෙමළ ජනයාට ලණු දෙමින් සිටී. අරගලයේ ජාතික සමඟියට අබ සරණයි!

ලංකාව සිංහල බෞද්ධයින්ගේ රට යයි කීමට ආත්ම ශක්තියක් නැති කිසිවෙකුට රටේ පාලනය භාර නොදිය යුතුය. ලොව සෑම දෙයක්ම තාවකාලිකය, අනිත්‍යයයි සළකන, සතා සිව්පාවා, ගස් ගල් වලට පවා සුවපත්වේවා යයි පවසන බෞද්ධ දිවි පැවැත්මට අනුව කිසිම ජනවර්ගයකට  හානි කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් බෞද්ධයින් අනුමත කර නැත. මේ මතවාදයට තහවුරු කරණා හේතු මෙම ලිපි එකතුවේ නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ පාඨකයාගේ විමසා බැලීම උදෙසාය.

අරගලයේ මුල සිටම එහි යටින් සිටියේ jvp හා පෙරටුගාමි පිරිස් බව ඔවුන් විසින් දැන් අනාවරණය කර ඇත. චන්දයෙන් බලයට ඒමට නොහැකි මෙම පක්ෂ දෙක, පෝර ප්‍රශ්ණය නිසා හා ඩොලර් අර්බුදය නිසා අන්ද මන්දවූ ජනයා කොළඹට ගෙන්වා ගත්තේ අවුරුදු ගණනාවක සිටම නගර හා ගම්වල ගොඩනඟාගත් සංවිධානාත්මක ශක්තිය නිසාය. කොළඹට ලක්ෂ 5 ක් හෝ 10 හෝ 20 ක් ගෙනැවිත් ඉන් ලක්ෂ 69 ක තීන්දුව අහෝසි කල නොහැකිය. එය කල හැකි මීලඟ මැතිවරණයකදීය. අරගලයේ ඉන්නා අවංක පිරිසට මේවා ගැන, යටින් යන කුමණ්ත්‍රන ගැන මේ වනවිට යම් අවභෝධයක් තිබෙන බව නිර්පාක්ෂික පුරවැසි සංවිධානයේ චානක බණ්ඩාර හා නිමේස් සෙනෙවිරත්න යන දෙන්නා සමඟ චැනල් 4 ස්ටෑන්ඩ් බයි චතුරංග විසින් ජූලි 18 දා කල සාකච්චාවෙන් පෙනී ගියේය. රාජ්‍ය පාලන වගකීම වනාහී බස් එකකදී හමුවන තරුණියක් සමඟ පෙම්කරනවා වැනි කාරියක් නොවේ. පවතින සිසිටම් චේන්ජ් කිරීමද ගස් හා වනාන්තරය යන දෙකම දැක, හෙලිකොප්ටරයකින් උඩට ගොස් පොලොව දෙස බලනවා මෙන් සමස්ථය අවභෝධකරගෙන කලයුතු දෙයකි. ගෝඨාභය ජනාධිපතිට යන්න වුණේ පෝර සිස්ටම් එක වැරදි තැනින් අල්ලාගත් නිසාය.

1958 දී ආරියරත්න මහතා ආරම්භකල සර්වෝදය ශ්‍රමදාන සංවිධානය කෙතෙක් දුරට සිස්ටම් එක වෙනස්කිරීමට හේතු උපකාර වූවාද යන්න ගැන සංඛ්‍යා ලේඛන හෝ වාර්තා නැත.  කිරිවන්දෙනිය මහතා විසින් 1977 දී ආරම්භකල සනස සමූපාකාර ව්‍යාපාරය ලෝක මට්ටමින්ම සාර්ථකවු මහජන බලගැන්වීමකි. විප්ලව නොකර විප්ලව කල හැකි බව සනස විසින් පමණක් නොව, මීට පෙර 1930-1940 කාලයේදී කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින්ද (අපරාධ මර්ධන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත වැඩ සටහන), 1999 දී පොලොන්නරුවෙන් ආරම්භකල පක්ෂ දේශපාලනයෙන් තොර  ගැමිදිරිය වැඩසටහන මඟින්ද ක්‍රියාවෙන් පෙන්වා දුන්නේය.

බුදු දහම හා ගෝල්පේස් අරගලය

දැනට අරගලය හා සම්බන්ධ, ලෝභ-ද්වේශ-මෝහ යන ක්ලේශයන්ගෙන් පිරි පංචස්කන්ධ හතර පස් දෙනෙකුගේ හැසිරීම ගැන සිතා බලන්න. සේපාල් අමරසිංහ, පැතුම් කර්නර් හා නාගානන්ද බැකෝ යන්ත්‍ර යොදා ගෙන හෝ  පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අල්ලා ගැනීමට යෝජනා කරයි. අරගලයේ රැට්ටාලා ඊට විරුද්ධය. සේපාල් එලිපිටම jvp-පෙරටුගාමී රජයක් වෙනුවෙන් පෙනී සිටී. ඔහුට අනුව අරගලය ගබ්සාවී ඇත. නාගානන්ද, අනුර කුමාරලාගේ වංක හැසිරීම එලිදරව් කරයි. පැතුම් කර්නර් නිරාගමික රටක් පතයි. නිරාගමික කියන්නේත් ආගමකි! සංඝ සමාජයේ දොස්ම දකිණ නාගානන්ද එම දොස් වලට විසඳුම ගැන කතා නොකර, ශ්‍රී සද්ධර්මය ගැන, කරණීය මෙත්ත සූත්‍රය පිළිපැදීම ගැන දේශනා කරයි. ලංකාවට අවුරුදු 75 ක් පුරා සිදුවූ විනාශයද මෙවැනිම පංචස්කන්ධ වල ලෝභ-දේවේෂ-මෝහ වල ආදිනවය.

මීට පෙරද ඉදිරිපත්කල බුදු දහම-භූගෝල විද්‍යාව-නීතිය හා තිරසර සංවර්ධනය යන රූප සටහන පෙන්වා දෙන්නේ, මෙතෙක් රටේ සිස්ටම් චෙන්ජ් එකක් සිදු නොවූයේත්, අනාගතයේ එවැන්නක් සිදුවිය හැකිවන්නේත් පුද්ගලයා තුල චේන්ජ් එකක් සිදුවීමෙන් පමණක් බවය. ව්‍යවස්ථා  චේන්ජ් එකකින්වත්, පක්ෂවල එකතුවකින්වත්, jvp-පෙරටුගාමී ආණ්ඩුවකින්වත් එය සිදු නොවේ. බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව, බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති, කතාවෙන් නොව භූමිය මතුපිට ක්‍රියාවට නංවා පමණක් රටේ තිරසර සංවර්ධනයක් ලබාගත හැකිය. ඇමෙරිකාවේ, යුරෝපයේ, චීනයේ, ඕස්ට්‍රේලියාවේ යන හැම තැනකම සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුද දක්නට ලැබෙන්නේ, කොවිඩ් වසංගතයෙන් පෙන්වා දුන්නේ, නව තාක්ෂණය, විද්‍යාව අතහැර දමන ලෙස නොව, ඒවා මඟින් මිනිසා සිතක් නැති කය පමණක් ඇති නරුමයෙක් වීමට ඇති ඉඩකඩ වලක්වා ගතයුතුව ඇති බවය. බුදු දහම තුලින් ලෝකයේ ඇති ප්‍රශ්ණ වලට විසඳුම් සොයාගත හැකියයි ඉන්දියාවට පරමානු බෝම්බය සදාගැනීමට උපකාරවූ, පසුව එරට ජනාධිපතිවූ උපතින් බෞද්ධයෙකු නොවූ අබ්දුල් කලාම් පැවසුවේ මෙම අර්ථයෙනි.

බුදු දහම-භූගෝල විද්‍යාව-නීතිය හා තිරසර සංවර්ධනය යන රූප සටහන, මැස්ලෝගේ මිනිසාගේ අවශ්‍යතා, ආශා හා පරමාර්ථ නමැති ඉණිමඟ (hierarchy of human wants and needs) සමඟ සසඳා බැලීමෙන් පෘතග්ජනයින් වශයෙන් මිනිසාගේ හැසිරීම් දාමය වඩාත් පැහැදිලි කරගත හැකිවෙන්නේය.  යම් පුද්ගලයෙකුගේ ජීවන චක්‍රයේ (life-cycle stages)  තරුණ අවධියේදී, ඝෘජුබව, එඩිතරකම, අවංකකම හා පරාර්ථකාමය උපරිම මට්ටමකින් පවතී. මතවාදය වෙනුවෙන් දිවි පිදීමට වුවද දෙවරක් නොසිතයි. එහෙත් ඔහුට හෝ ඇයට ඇති දැණුම හා දැකුම, ජීවිත අත්දැකීමේ ප්‍රමාණය මදිය.  වයස්ගතවීමත් සමඟ වෙනත් වගකීම් හා පලපුරුදුකම් ඉදිරියේ ඉහතින් සඳහන් කල ගුණාංග ක්‍රමයෙන් දෝලනය වන්නේය. 1971 කැරැල්ලේ නායකයෙකුවූ රාවයේ වික්ටර් අයිවන් විසින් එය මෝඩ ක්‍රියාවක් යයි දැන් පැවසීම මේ පිළිඹඳ කදිම නිදසුණකි.

මැස්ලෝ විසින් බටහිර සංස්කෘතික පසුබිමක් යටතේ ඉදිරිපත්කල මොඩලය පෙරදිග සමාජයේ සිතීමේ ක්‍රමයට වෙනස්ය. කසිප්පු පෙරා විකුණා ජීවත්වන මිනිසාගේ කටුමැටි පැලට,  මිරිස්ගල කොටන්නට ආ මිනිහාට දවල්කෑම දෙනවා මා දැක ඇත. මෙය දියේ වැටුණ අයෙක් ගලවා ගන්නට දියට පනිනවාට වඩා වෙනස්  ගනයකට වැටෙන මානව දයාවකි. මිනිසා තුල බාහිර මෙන්ම සන්තානගත විප්ලවයක්ද සිදුවිය යුතුයයි මහාචාර්ය කරුණාරත්න 1960-70 දශක වලදී චන්ද රැස්වීම්වලදී සරල බසින් කියා සිටියේද මේ ගැඹුරු ධර්මයමය. කළු සුද්දන්ගේ පාලන සමය තුල ලෝභ-ද්වේෂ-මෝහ යන ක්ලේශයන්ගෙන් පිරි පක්ෂ දේශපාලකයින් කලේ චන්ද දායකයින්ට සිය මූලික ජීවත්විමේ අවශ්‍යතා සපයාදීමේ කාරිය පමණය (යැපුම් මානසිකත්වයක් පැටවීම). 2022 මැද වනවිට මේ සේවාවත් සපයා දීමට දේශපාලකයාට නොහැකි විය. අලි-මිනිස් ගැටුම, පෝර දියව්, ගෑස් දියව්, භූමිතෙල් දියව් පෙලපාලි නිසා චන්දයකින් පරිබාහිරව රාජ්‍ය බලය අල්ලා ගත හැකියයි සිතූ කුමන්ත්‍රණයකට ජනතාව කොළඹට ගෙන්වා ගැනීමට හැකිවූයේ බඩගින්න ට වඩා පවතින අලස ජීවන රටාව අවුල්වී යාම නිසාය! ආහාර, නින්ද, කාමාශාව හා බිය මිනිසාටත් සතුන්ටත් පොදු  ගති ලක්ෂණ යයි සංස්කෘත ශ්ලෝකයක්ද තිබේ. කුස ගින්නට මිනීමස් වුනත් කන්නේ කාන්තාරයක, මුහුදක අතරමංවූ විටය.

මැස්ලෝ දක්වන මානසික අවශ්‍යතා හා පිරමිඩයේ ඉහළින්ම ඇති මිනිසත්බව ලැබීමෙන් යමෙකුට මෙලොවදී ලබාගත හැකි උත්තරීතර තලය වශයෙන් බෞද්ධයින් සළකන්නේ සංසාර ගමන අවසන්කර ගැනීම හෝ කෙටිකර ගැනීමය. ආරණ්‍යගතව වසන සමහර භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට පත්ව සිටිනවා යයි සිතිය හැකිය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය (ආර්ය අෂ්ටාංගික මාර්ගය) යන බුදු දහමේ චතුරාර්ය සත්‍යය අනුව මා පිළියෙලකල බුදු දහම හා තිරසර සංවර්ධනය යන රූප සටහන (මොඩලය) හා මැස්ලෝගේ මොඩලය අතර ඇති වෙනස නම් උසස් මිනිස් යුතුකම් ඉටු කිරීමට ආශා ඉණිමගේම ඉහළට නැඟීයාම අවශ්‍ය නොවන බවය. යමෙක් හිඟන්නෙක් හෝ ගනිකාවක් හෝ වුනත්, නූනත් මානුෂික සේවයක් කල හැකිය. ඒ කෙසේ වුවත් ලැජ්ජාව හා භය ශිෂ්ට මිනිස් සමාජයක පදනමය.

ගාන්ධි හෝ අබ්දුල් කලාම් ගතකල අල්පේච්ච (සරල) දිවි පැවැත්ම කෙසේ වෙතත් යම් ප්‍රමාණයක හෝ අවංක භාවයකින් රටේ සිංහල බෞද්ධ යයි කියා ගන්නා පක්ෂ දේශපාලකයින් පසුගිය වර්ෂ 75 තුල ක්‍රියා කලා නම් ලංකාව මෙවැනි අඝාධයකට වැටෙන්නේ නැත. මේ අඝාධයෙන් ගොඩ ඒම සඳහා අවංකවම ඊට සහභාගී වන අය බුදු දහමේ පෙන්වන මඟ සළකා බැලීමට සූදානම්ද? jvp හා පෙරටුගාමීන් ඊට සූදානම් නැතිබව ප්‍රසිද්ධියේ පවසයි. ඔවුන් දැන් දැන් බුදුහාමුදුරුවන්ගේ චරිතයෙන්, ධර්මයෙන්, උදාහරණ දක්වමින් කතා කරණ උපනතියක් පෙනේ! ඔවුන්ට වුවද එකඟවිය හැකි විප්ලවයක් නොවන ජන සභා විප්ලවයක් මෙම පොතේත්, ඊට පෙර ලියූ සුද්දගෙ නීතිය අපිට එපා හා  රට කැබලි නොකර සිස්ටම් චේන්ජ් කිරීම යන පොත් වලත් දීර්ග වශයෙන් පැහැදිලි කරදී ඇත.

අරගලයෙන් දිනූ දෙන්නා

මෙතාක් දුරට අරගලය නිසාවෙන්ම ජයග්‍රහණයක් ලැබු අය වශයෙන් ඉන්නේ පුද්ගලයින් දෙන්නෙක් පමණය. එක් අයෙක් නම් රංජන් රාමනායකය. අනිත් තැනැත්තිය ඇමෙරිකන් තානාපතිනියය. 1917 සිටම සෝවියට් රුසියන් විප්ලවය බිඳදැමීමට ක්‍රියාකල ඇමෙරිකාවට එය කල හැකිවූයේ 1989 දීය. එහෙත් 1965 සිටම ඇමෙරිකන් විරෝධී යයි සිටි jvp එක, තානාපති මන්දිරයට කැඳවා කේක් කවා මිත්‍ර කරගන්නට අළුත් තානාපතිනිය ඉතා කෙටි කාලයකින් සමත්විය. ඇය ඔවුන් ගැන පැහැදී ඇතිසේය. ඇමෙරිකාවට ලෝකයේ සිටින නා නා මාදිලියේ යාළුවන් අතර පරණ හා පණගිය මාක්ස්වාදීන්ද සිටී.  අනිත් අතට Theodore H. Von Laue විසින් The World Revolution of Westernization: The Twentieth Century in Global Perspective (1987) යන පොතේ පෙන්වා දෙන අයුරු නේරු, නිකෘමා, ස්ටාලින්, මාවෝ සේතුන් පවා බටහිරීකරණයවීමේ විප්ලවයට ගොදුරුවූ අයය. ලව්-හේට් ධර්මතාවයය! 

එක රටක්-එක නීතියක්

අරගලයට කුමක් වුවත්, කවුරු මීලඟ ජනාධිපති වුනත්, දිග යෝජනා ලැයිස්තුව වෙනුවට,  අරගලකරුවන් විසින් පහත සඳහන් කරුණු ක්‍රියාවට නංවා ගැනීම සඳහා 225 දෙනාට කොන්දේසි විරහිතව බලකර සිටිය යුතුය.

*1.  මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම

*2.  දූෂණ, පගා, කොමිස්, අපරාධ මර්දනය සඳහා දැඩි නීතී පැනවීම

*3. දේශපාලකයින්, චන්ද අපේක්ෂකයින්, රාජ්‍ය සේවකයින් සිය වත්කම් වර්ෂයක් පාසා වාර්තාකිරීම අනිවාර්ය කලයුතුය. යම් සුළු මුදලක් ගෙවා ඒවා පරීක්ෂාකිරීමට මහජනයාට ඉඩදිය යුතුය

 *4. එක රටක්-එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම

*5.  පක්ෂ දේශපාලනයෙන් තොරව ජන සභා සංකල්පය ක්‍රියාවට නැඟීම

ජූලි 19, 2022

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress