“අරගලයේ තරුණයින් අතර මානසික ව්‍යාකුලතා ඉතා ඉහලයි. හීනමානය නිසා යතාර්ථය වැසි ගිහින්. ඔවුන් පුනුරුථාපනය කළ යුතුයි – විශේෂඥ මනෝවෛද්‍ය පි.කේ. කඳපොලආරච්චි
Posted on August 3rd, 2022

Lankalead

මාස හතරකට වැඩි කාලයක් තිස්සේ අරගල බිමේ ඉන්න තරුණ තරුණියන් බහුතරයකට අවිවේකි බව, මත්ද්‍රව්‍ය භාවිතාව ඉතා ඉහල විම, ස්ථිර වාසස්ථාන නොමැතිව අව්වෙන් වැස්සෙන් පීඩා විඳීම, පෝෂණ ආහාර නොමැතිකම, නින්ද නොලැබීම, සනීපාරක්ෂාව නොමැතිකම, ලිංගික කටයුතු සිදු නොවීම, අභ්‍යන්තර කාන්ඩායම් අතර ගැටුම්, අපේක්ෂා බංගත්වය ආදී මානසික ආතතිය වැඩි කරන විෂාදය සඳහා වන සියලු නරක සාධක සියල්ල එකවිට දැන් අරගල බිමේම තියෙනවා. ඒ තත්වය ඔවුන්ට නොදැනීම ඔවුන්ගේ විචාර බුද්ධිය නැතිකොට මනස විකෘති කරන තැනකට ගෙනත් ඉවරයි.

අරගලේ ඉන්න ගොඩක් තරුණයෝ කොන්ඩේ රැවුල් වවාගෙන අමුතු ඇඳුම් පැළඳුම් ඇඳගෙන හිටියේ ඔවුන්ගේ තියෙන යම් යම් මානසික ව්‍යාධි නිසයි. බොහෝ තරුණයින් දුෂ්කර දුප්පත් ගම් වලින් පැමිණෙන අය නිසාත් හීනමානය නිසාත් ඒ බය ඔවුන්ට ඇතිවෙන්නේ. ගෝට ගෝ ගම කියන නම ඇතුලේම ඒ පසුගාමී සිතුවිලි තියනෙවා. අද ඒ පරිසරය ගමකට වඩා මුඩුක්කු පේලියක් තරමට ම වැටිලා තියෙන්නේ ඔවුන්ගේ ඉහත කී සිතිවිලි වල පිළිබිඹුවක් ලෙසයි.

ජාන විද්‍යාවත්, පවතින වටාපිටාවත්, මානසික සහ සමාජයීය ක්‍රියාවලිත් මෙයට බලපාන්නා වූ සැලකිය යුතු සාධක. විනෝදය සඳහා භාවිතා කරනු ලබන සමහර මත්ද්‍රව්‍ය මෙම අබාධ ඇති කිරීමටත් එහි රෝග ලක්ෂණ තව දුරටත් වැඩි කිරීමටත් හේතු කාරක වෙනවා. මෙම අබාධ විවිධ ලක්ෂණ සංකලනයන් පවතින බැවින් මෙහි රෝග විනිශ්චය ලෙස තනි අබාධයක් පෙන්නුම් කරන්නේද නැතහොත් වෙන් වෙන් වශයෙන් විවිධ සහලක්ෂණයන් කිහිපයක් පෙන්නුම් කරන්නේදැයි නිශ්චිතව කියන්න අමාරුයි. භාෂාවෙන් skhizein (විභේදනය කිරීමට”) සහ phrēn (මනස”) යන මූල පද වලින් Schizophrenia (හින්නෝන්මාදය”) වචනයේ නිදානය ගොඩ නැගී ඇත්තේ.

අරගලයේ විවිධ කණ්ඩායම් සහ පුද්ගලයෝ ඉන්න නිසා ඔවුන්ට සිදුවෙනවා තමන් අනෙක් අයට වෙනස් කියල පෙන්වන්න. බාහිරව ඇඳුමෙන් පෙන්වන අතර අභ්‍යන්තරයෙන් මත්ද්‍රව්‍ය අරගෙන මානසික බිය තාවකාලිකව නැති කරගන්න උත්සාහ දරනවා. අන්තිමට තමන්ගේ අනන්‍යතාවය නැතිවෙලා අස්ථානයකට වැටෙනවා. අපට අනාගතය කෙසේ වෙයිද? සාර්ථක විය හැකි ද? රැකියාවක් ලබාගත හැකිද? යනාදීන් හීනමානය නිසා තමන් ගේ යහපත පිණිස කළ යුතු සියල්ල ම අත්හැර හැකිළී සිට කුඩා එසමාන සිතුවිලි ඇති කල්ට් එකකට සම්බන්ධ වෙනවා.

සමාජය වෙනුවෙන් සටන් කරනවා කියල කිව්වට ඇත්තටම අරගලය තියන්නේ පුද්ගලික මට්ටමෙන් ඔවුන්ගේ පටු රාමුගත මනස් තුල. අවාසනාවකට මේ තරුණ තරුණියන්ට තේරෙන්නේ නැහැ ඔවුන් පෞද්ගලික මට්ටමෙන් සාර්ථක උනොත් තමයි පවුලක්, සමාජයක්, රටක් සාර්ථක වෙන්නේ කියලා. ව්‍යාපාරික අරමුණු ඇතුව සම්බන්ධ පිරිස් හැර මගේ මනෝ විශ්ලේෂණය නම් මේ අරගල බිමේ ඉන්න බහුතරයක් තරුණ තරුණියෝ පුද්ගලික මට්ටමෙන් අන්තිම අසාර්ථක අය. තමන්ගේ ජීවිත වල වගකීමක් ගන්න බැරි ඒ අය කොහොමද රටේ ජනතාවට වගකියන වඩා හොඳ පාලනයක් ගේන්නේ කියන ප්‍රශ්නය අහන්න වෙනවා. මම අරගලයට සම්බන්ධව කටයුතු කල කෙනෙක් නිසා ඒ ගැන මට අවබෝධයක් තියෙනව.

මේ අයට අරගලයට මිනිස්සු එන්නේ නැතිවෙනකොට තමන්ට තිබෙන පිලිගැනීම නැතිවෙයි කියන බයට තවත් තත්වය උග්‍ර වෙලා විෂාදයට පවා පත්වෙන්න පුළුවන්. ඒ තත්වයේදී ආර්ථික දේශපාලන හෝ ව්‍යුහාත්මක වෙනස් කම් කිරීමට හැකි නිරවුල් මනසක් අරගල බිමේ තරුණ තරුණියන්ට කොහෙත්ම නැහැ.

තවත් අවුලක් තමයි සෙය්‍යමානය හෙවත් අන්‍යයන්ට වඩා තමා උසස් යයි සිතන පිරිස් ද අරගලයට එකතුවී සිටීම. අන්මත නොඉවසන අන් මත පමණක් නොව පුද්ගලයින්ද විනාශකල යුතුයි කියන විෂම මනසක් හැදෙන්නේත් එම මත ප්‍රසිද්ධියේ කියන්නෙත් ඒකයි. අපි කියන විදිහට විතරයි වැඩ කරන්න ඕනේ කියල තර්ජනය කරන්නේ එහෙම අය. රුපවාහිනියට කඩා වැදුන අයත් අරගලයේ ඉන්න අයගේ දේශපාලන ලියවිල්ල හැර වෙන කිසිවක් කරන්න බැහැ කියන අයත් ඉන්නේ එවැනි මානසික ව්‍යාධියක. නමුත් ලංකාවේ බහුතර ජන මනස මේ අන්තවාදී ස්වරූපය පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනවා.

තව පිරිසක් ඉන්නවා රංචු මනසක් තුල. තනි තනිව ගත්තහම ඉතා බියගුළු පුද්ගලයෝ. නමුත් මත්ද්‍රව්‍ය වලට අමතරව පිරිසක් එක්ක ඉන්නකොට හයියක් එනවා.මන්දිර ඇල්ලුවේ පාරේ මිනිස්සු ගහල ගිනිතියලා මරල දැම්මේ එහෙම අය. ආරක්ෂක අංශවලට ඉතාම පහත් ආකාරයෙන් බැන වදින්නේ පහර දෙන්නේ එහෙම අය.

හැබැයි අපි සතුටු වෙන්න ඕනේ ගෞරව කරන්න ඕනේ ලංකාවේ ආරක්ෂක අංශවල සිටින තරුණ තරුණියන්ගේ ඉවසීම සහ පරිණත බුද්ධිමත් ආවේග කළමනාකරණය ගැන. තමන්ගේ වෘත්තීයට සහ නිල ඇඳුමට ඉතා අශිලාචාර ලෙස බැන වදිමින් මාරාන්තිකව පහර දෙමින් ඉන්න මොහොතක පවා ඔවුන් ප්‍රතිප්‍රහාරවලට නොයාම ගැන.

අරගල භුමිය තුල ගොඩනැගෙන මේ විෂම මනස සමාජය කෙරෙහි වෛරය සහ ක්‍රෝධය පතුරවනවා. මැයි 09 දා ප්‍රතිප්‍රහාර, මන්දිර අල්ලා ගැනීම, ඒවායේ තිබුන වටිනා දේ පැහැර ගැනීම, ස්විමිං පූල් එකට පැනලා නෑම, අරලියගහ මැදුරේ ඒසී කාමරවලට ගහමරා ගැනීම, සමාන්ත්‍රණ ශාලා නිදන කාමර විනාශ කරමින් ඒවා භාවිතා කිරීම, අරලියගහ මැදුරු බිමේ හට්ටි මුට්ටිවලට ඉවීම කොටින්ම කිව්වොත් ගමේ චර්යාරටාවන් සියල්ල මේ විෂම මනස සහ හීනමානයන් විසින් ගෙනාවා. මේ සියල්ල කලාට පස්සේ විසඳුමක් හෝ අවසානයක් නැතිවෙනකොට ඊලඟට ජීවිතේ හැම දෙයක් එපා වෙන තැනකට පත්වෙලා තමන් සහ සමීප අය අතර තියෙන සම්බන්ධතාවයන් පවා එපා කරවන තැනට පත්වෙන්න පුළුවන්.

තව දෙයක් කියන්න ඕනේ. විදේශගතව හෝ ලංකාවේ සුවපහසු ජීවිත ගෙවමින් තමන්ගේ දරුවෝ කිසි දවසක මෙවැනි අරගල බිමකට එවන්නේ නැති ආත්මාර්ථකාමී පිරිස් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු වලට සහ ඊගෝ වලට මේ තරුණ තරුණියන්ගේ උසි ගන්වමින් මේ වටිනා ජීවිත බිල්ලට නොදීමටත් වග බලා ගතයුතුයි.මොකද පරිණත වැඩිහිටියෝ විදිහට නෙමෙයි මේ ආත්මාර්ථකාමී පිරිස් කටයුතු කලේ. ඩොලර් පනහක් හැටක් කාට හරි දාල මාලුපාන් වතුර බෝතල් ගෙනත් දීලා මේ තරුණයෝ අවුස්සලා කුලප්පු කලා. ගහපන් මරපන් කියලා සමාජ ජාල වල පෝස්ට් දාලා තරුණයෝ ප්‍රචණ්ඩව හැසිරෙනකොට ආයේ බොරුවට නිවෙන්න කියලා එයාලම පෝස්ට් share කරනවා. ඒක ඉතාම නින්දිත වැඩක්. තමන්ගේ දරුවා එහෙම ප්‍රචන්ඩ ක්‍රියාවකට තබා එවැනි රටකටවත් නොයවන අය ලංකාවේ අහිංසක දෙමව්පියන්ගේ දරුවෝ බිල්ලට දෙන්න උසි ගැන්නුවා.

මම කිසිම දේශපාලන පක්ෂයකට හෝ නායකයෙකුට ලබැඳියාවක් නැහැ. නමුත් අපිට ශාරීරික සහ මානසික නිරෝගී තරුණ පරපුරක් රටට අවශ්‍යයි මේ රට ආයේ හදන්න නම්. මොකද ගැටුමකට ගිහින් සිදුවන ජීවිත හානියකට වඩා මේ මානසික බිඳවැටීම ඉතා බරපතලයි. දීර්ඝ කාලීනයි.

Eastern Mediterranean Health Journal විසින් 2020 ලිබියාවේ සමීක්ෂණ වාර්තාවක් එලි දැක්වුවා, ගඩාෆි ඉවත් කිරීමට බෙන්ගාසි මෙහෙයුමට පාරට ඇවිත් උද්ගෝෂණ කරපු තරුණ තරුණියන් පිළිබඳව. එහිදී ඉතා පැහැදිලි උනා ඒ අයගෙන් 90% ට වඩා තමන් සිදුකල ක්‍රියාවලිය ගැනත් රට අරාජිකවීම ගැනත් දැඩි පශ්චතාපයකට පත්වී තිබෙන බවත් තමන් රැවටීමකට ලක්වූ බවත්. එසේම එම හේතු මත අරගලයට සම්බන්ධ වූ සෑහෙන පිරිසක් සියදිවි නසාගෙන තිබෙනවා. විශාල පිරිසක් මත්ද්‍රවය වලට ඇබ්බැහි වී ඇති බවත් රටේ අතිබහුතර තරුණ තරුණියන් පිරිසක් ශාරිරික සහ මානසික සෞඛ්‍ය අතින් පිරිහී ඇති බවත් පැවසෙනවා.

අරගල ඇතිවූ යේමනය සහ ටියුනිසියාවේ ඇතිවූ තත්වයන් ගැන Journal of injury and violence research වාර්තා කල ආකාරයට තරුණ තරුනියන් මේ විෂම මානසික චක්‍රයට අසුවීමේ නරක ප්‍රතිපලයක් ලෙස රැකියාව සහ විවාහය මෙන්ම සාමජිය ජීවිතයේත් දැඩි කලහකාරී විදිහට හැසිරෙන බවත් සඳහන්. සමාජීය යහ පැවැත්ම උදෙසා අත්‍යවශය වන social peace හෙවත් සමාජීය සාමය කෙරෙහි දැඩිව බලපාන බවයි.

ඒ නිසා මගේ අදහස නම් මේ විඩාබර අපේක්ෂබංග මානසික ආතතියක ඉන්න තරුණ තරුණියෝ ගැන අනුකම්පා සහගත වෙමින් අපි ඔවුන්ට මනෝ ප්‍රතිකාර සහ උපදේශන සේවා සහ ආගමික නායකයින්ගේ මාර්ගයෙන් ධර්මානුකුල ප්‍රවේශ හරහා වහාම පුනුරුථාපනය කල යුතුයි කියන එකයි”

– විශේෂඥ මනෝවෛද්‍ය පි.කේ. කඳපොලආරච්චි
ලංකා ටෘ නිව්ස් හබ් සාකච්චාවක උපුටා ගැනීමකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress