ඉන්ධන පරිභෝජනය අඩු කිරීම සඳහා හවුල් ගමන් සහ බුද්ධිමත් ප්‍රවාහන ක්‍රම
Posted on June 2nd, 2026
ආචාර්ය සරත් ඔබේසේකර
ඉන්ධන මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් පවුල්වලටත් ව්‍යාපාරවලටත් විශාල ආර්ථික බරක් එල්ල වී තිබේ. මේ තත්ත්වය හමුවේ ලොව බොහෝ රටවල් ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා පවත්වාගෙන යමින් ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා නවෝත්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. සංවර්ධිත රටවල සාර්ථකව ක්‍රියාත්මක වන මෙවැනි ක්‍රමවේදයන්ගෙන් ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනවත් පාඩම් රැසක් උකහා ගත හැකිය.
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ යුරෝපයේ රටවල් කිහිපයක් විසින් හඳුන්වා දී ඇති සාර්ථක වැඩසටහනක් වන්නේ High Occupancy Vehicle (HOV) Lanes හෙවත් බහු මගී වාහන මංතීරු ක්‍රමයයි. මගීන් දෙදෙනෙකු හෝ වැඩි පිරිසක් රැගෙන යන වාහන සඳහා පමණක් වෙන්කර ඇති මෙම මංතීරු හරහා ගමන් කාලය අඩු වන බැවින් ජනතාව එකම වාහනයකින් ගමන් කිරීම සඳහා උනන්දු කරවයි. එමගින් මාර්ග තදබදය, ඉන්ධන පරිභෝජනය සහ කාබන් විමෝචනය සැලකිය යුතු ලෙස අඩු වේ.
නගරීය ප්‍රවාහනයේ තවත් වැදගත් ප්‍රවණතාවක් වන්නේ Ride Sharing හෙවත් හවුල් ගමන් ක්‍රමයයි. එකම දිශාවට ගමන් කරන පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණය හරහා එකම වාහනයක් භාවිතා කර ගමන් වියදම් බෙදා ගැනීමට අවස්ථාව ලැබේ. බොහෝ ආයතන තම සේවකයන් අතරද මෙම ක්‍රමය දිරිගන්වයි. එමගින් ඉන්ධන ඉතිරි වීමත් මාර්ගවල වාහන සංඛ්‍යාව අඩු වීමත් සිදු වේ.
ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ත්‍රිරෝද රථ ද මෙම වැඩපිළිවෙළේ කොටසක් විය හැකිය. වර්තමානයේ එක් මගියෙකු සඳහා එක් ගමනක් සිදු කරන ත්‍රිරෝද රථ සේවාව වෙනුවට, සමාන මාර්ගවල ගමන් කරන මගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු අතර ගාස්තුව බෙදා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දිය හැකිය. ආසියාවේ නගර කිහිපයක මෙවැනි ක්‍රම සාර්ථකව අත්හදා බලා ඇති අතර මගීන්ගේ ගමන් වියදම් අඩු කිරීමට එය උපකාරී වී ඇත.
නිවසේ සිට වැඩ කිරීම (Work From Home) සහ නම්‍යශීලී සේවා ක්‍රමද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. COVID-19 වසංගත සමයේදී බොහෝ කාර්යාලීය කටයුතු දුරස්ථව සිදු කළ හැකි බව ඔප්පු විය. එබැවින් සතියේ දින එකක් හෝ දෙකක් නිවසේ සිට වැඩ කිරීම සඳහා සේවකයන්ට අවස්ථාව ලබා දීමෙන් දෛනික ගමන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කළ හැකිය.
අධ්‍යාපන ක්ෂේත්‍රයද මේ සඳහා දායක විය හැකිය. පන්තිකාමර අධ්‍යාපනය අත්‍යවශ්‍ය වුවද, තෝරාගත් විෂයයන් හෝ ක්‍රියාකාරකම් සඳහා මාර්ගගත ඉගෙනුම් ක්‍රම භාවිතා කිරීමෙන් සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ දෛනික ගමන් සංඛ්‍යාව අඩු කළ හැකිය.
එමෙන්ම පොදු ප්‍රවාහන පද්ධති නවීකරණය කිරීමද අත්‍යවශ්‍යය. බස් හා දුම්රිය කාලසටහන් ඒකාබද්ධ කිරීම, ඩිජිටල් ප්‍රවේශපත්‍ර ක්‍රම හඳුන්වා දීම, නවීන බස් රථ සේවා සහ Park-and-Ride පහසුකම් සැපයීම