13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමෙන් රටට සිදුවන්නේ කුමක්ද? – ආචාර්ය ගුණදාස අමරසේකර පැහැදිළි කරයි
Posted on February 2nd, 2023

Lanka Lead News

පසුගිය දා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන බව පවසා එමගින් රට නොබෙදෙන බව ප්‍රකාශ කළ ද එය සිදුවන්නේ කෙසේදැයි නොපැවසූ බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ලබන 08 වැනිදා ජනාධිපතිවරයා 13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  බව කියා ඇති බවත්, ඔහු මෙයින් විශාල ප්‍රයෝගයක් කිරීමට උත්සාහ දරන බවත් ගුණදාස අමරසේකර මහතා සදහන් කරයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් අද(02) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

කලකට ඉහත මාක්ස්වාදීන් බොහෝ දෙනෙකු මෙම 13 වැනි සංශෝධනය බලාත්මක කළාට රට බෙදීමක් සිදු නොවන බව හේතු දෙකක් උඩ පළිගත් බව ඔහු සදහන් කරයි. එනම් උතුරට බලතල ලබාදී වෙනම රාජ්‍යක් බවට පත් කළ ද ඔවුන්ට එය පවත්වාගෙන යාම සදහා ආර්ථික ශක්තියක් නොමැති බව හා ඉන්දියාව කිසිසේත්ම උතුරේ වෙනම රාජ්‍යයක් ඇති කිරීමට කැමැත්තක් නොදැක්වීම යන කාරණා දෙක උඩ එකල මාක්ස්වාදීන් මෙම කාරණය නොපිළි ගන්නා ලද බව ඒ මහතා පවසයි.

එහෙත් මෙම මත දෙකම අද වන විට මිත්‍යාවක් බවට පත්වී ඇති බව ඉන්දියාව හැසිරෙන ආකාරයෙන් සනාථ වන බවයි අමරසේකර මහතා පවසන්නේ.

13 සංශෝධනය හරහා බෙදී වෙන්වී ගිය පසුව උතුරේ වෙනම රාජ්‍යයක් පාවත්වාගෙන යාමට අද ඔවුන්ට ආර්ථික ශක්තියක් ඇති බවද, ඉන්දියාව විසින් උතුරේ විවිධ ව්‍යාපෘති මේවන විට ආරම්භකර ඇත්තේ තමන්ට වාසි අත්වන ආකාරයටම බවද ගුණදාස අමරසේකර මහතා සදහන් කරයි.

උතුරේ ඊළාම් ආර්ථිකය ශක්තිමත්කර ගැනීම සදහා කන්කසන්තුරේ හා ත්‍රිකුණාමල වරායන් ඔවුන් මේ සදහා අනිවාර්යයයෙන්ම යොදාගන්නා බවත්, ශ්‍රී ලංකාවේ දකුණට සියලු ආර්ථික සම්පත් මේ නිසා අහිමිවන බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress